ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'වේදිකාවල කී පරිදි' ඉන්ධන මිල අඩු කළ හැකි ද?
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
ජනාධිපති අනුර කුමාර දිසානායක ධූරයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කළ පළමු ඉන්ධන මිල සූත්‍රය අනුව, ඔක්තෝබර් 01 වන දා සිට ඉන්ධන මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු විය.
ඒ අනුව, අඩුවූ ඉන්ධන මිල ගණන් මෙසේ ය.
කෙසේ වෙතත්, අනුර ජනාධිපති බවට පත් වීමට පෙර ප්‍රචාරක රැලිවලදී දුන් පොරොන්දු අනුව මිල සංශෝධනයක් නොකිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමෙකු ප්‍රශ්න කර තිබිණි.
ජනපතිවරණයට පෙර අනුර කියපු කතා
ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක ප්‍රචාරක රැලිවලදී පැවසුවේ, ඉන්ධන සඳහා විවිධ බදු පනවා ඇති අතර, එම බදු අඩු කළ පසු ඉන්ධන අඩු මිලකට ලබා දිය හැකි බව ය.
“තෙල් මිල අඩු කරන්න පුළුවන්. තෙල්වලට රුපියල් 50ක බද්දක් ගහනව අමතරව. තව බදු ගොඩක් තියෙනවා. සීයට වැඩිය බද්දක් තියෙනවා. තෙල් සංස්ථාවේ ණය පවර ගත්තා භාණ්ඩාගාරයට. දැන් තෙල් සංස්ථාව ණය නෑ. දැන් මොක ද කරන්නෙ? දැන් හැම ලීටරයකට ම රුපියල් 50ක බද්දක් ගන්නවා භාණ්ඩාගාරය ණයට හිලව් වෙන්න. මරු වැඩේ.” (අනුර කුමාර දිසානායක - අගෝස්තු 19 වන දා ගල්ගමුව ප්‍රචාරක රැලියේදී පැවසූ අදහසක්)
‘කියපු දේවල් කරයි කියලා හිතනවා’
මේ අතර, හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ සැප්තැම්බර් 28 වන දා, එනම්, ඉන්ධන මිල සංශෝධනයට දින දෙකකට පෙර අනුර දිසානායක දුන් පොරොන්දු සිහිපත් කළේ ය.
“එතුමන්ලා මැතිවරණ කාලේ දීපු පොරොන්දු අනුව අර රුපියල් 150ක් විතර වගේ තියෙන බද්ද ඉවත් කරනවා කියන එක තමයි නිරන්තරයෙන් කිව්වෙ වේදිකාවල. රුපියල් 100කට වගේ මුදලකට ඩීසල් ලබා දෙන්න පුළුවන් කියන එක, ඒක ඉවත් කළොත්. මමත් පිළිගන්නවා, සියලු බදු ඉවත් කළොත් ඒ කටයුත්ත කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා, ඒ බදු ඉවත් කරලා, ලබා දෙනවා කියපු සහනය දෙන්න කටයුතු කරයි කියලා.”
‘මාලිමාව යන්නෙත් රනිල්ගේ මාවතේ’
මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, වත්මන් ජනාධිපතිවරයාත්, “රනිල් වික්‍රමසිංහ ගිය ඉන්ධන මිල සූත්‍ර මාවතේ ගමන් කරමින් සිටින,” බව ය.
“මම සංතෝෂ වෙනවා අනුර කුමාර මහත්මයත්, මාලිමාවේ ආණ්ඩුවත් මේ මිල සූත්‍රය ම ක්‍රියාත්මක කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන්. පහුගිය කාලේ වේදිකාවල කතා කළා, ඉන්ධන මිල විශාල ගාණකින් අඩු කරනවා, ඒ වගේ ම යම් සහන දෙනවා කියලා යම් යම් දේවල් කතා කළා. අන්තිමට රනිල් වික්‍රමසිංහගේ මාවතේ ම හැම කෙනාට ම යන්න වෙලා තියෙනවා. ඒ වගේ ම සිද්ධ වෙමින් තියෙනවා.”
බදු ඉවත් නොකළේ ඇයි?
මෙම චෝදනා සම්බන්ධයෙන් වත්මන් රජයේ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය උදයංග හේමපාලගෙන් විමසීමක් කළෙමු.
“අපි දැනට කරල තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රොෆිට් මාර්ජින් එක අඩු කරපු එක,” ඔහු පැහැදිලි කළේ ය.
ලේකම්වරයා පෙන්වා දුන්නේ, මහ මැතිවරණයෙන් පසු ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ය.
“ඉන්ධනවලට පනවලා තියෙන බදු ගොඩක් පාර්ලිමේන්තුව හරහා දාලා තියෙන්නේ. ඒවා ඉවත් කරන්න නම් අනුමැතියක් අවශ්‍ය යි. ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ තමයි ඒ ගැන තීන්දුවක් ගන්න වෙන්නේ. විශේෂයෙන් අයවැයක් හරහා තමයි ඒවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ,” බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසීය.
මීළඟ අයවැය හරහා ඉන්ධනවලට පනවා ඇති බදු ඉවත් කරන්නේ ද යන ප්‍රශ්නයට ලේකම්වරයා දුන් පිළිතුර වූයේ, “ඒක දැන් ම කියන්න අමාරු යි,” යන්න ය.
‘ඉන්ධන මිල අඩු කළොත් වාසිය යන්නේ ධනවතුන්ට’ - මහාචාර්ය වසන්ත අතුකෝරළ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා බදු ආදායම වැඩි කර ගත යුතු බවත්, ඉන්ධන මිල අඩු කිරීමෙන් දිළිඳු ජනතාවට ඍජු සහනයක් නොලැබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න නම් බදු ආදායම ඉහළ දමා ගත යුතු යි. බදු ඉවත් කරලා ඉන්ධන මිල පහළ දැම්මොත් ඒකේ වාසිය යන්නෙ ධනවතුන්ට. මොක ද ඉන්ධන පරිභෝජනය වැඩියෙන් කරන්නේ, දිළිඳු ජනතාව නෙවෙයි. දිළිඳු ජනතාවට යම් වක්‍ර ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ඒත්, වැඩි වාසිය හිමි වෙන්නේ, පොහොසතුන්ට.”
කෙසේ වෙතත්, ඉන්ධන මිල ගණන් ප්‍රවාහනය, ආහාර ඇතුළු කරුණු රැසකට බලපායි.