IMF: 'ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ නොවෙනස්ව පවත්වාගෙන යාම වැදගත්'

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනට ද අද (ඔක්තෝබර් 4 වැනිදා) ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ණය වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අරමුණ වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජූලි කොසෑක් ඇමරිකා එක්සත් ජනපදයේ ඊයේ (ඔක්තෝබර් 03) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යාම ඉතා වැදගත් බව ය.

'සැලකිය යුතු අවදානම් සහගතභාවයන් සහ අවිනිශ්චිතතාවයන් තවමත් තියෙනවා'

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජූලි කොසෑක් පැවසුවේ, "[ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ] වැඩසටහන් කාර්යයසාධනය ශක්තිමත් අතර, ආර්ථික වර්ධනය නැවත ප්‍රාණවත් වීම, උද්ධමනය අඩු කිරීම, සංචිත ඉහළ නංවා ගැනීම සහ ආදායම් බලමුළු ගැන්වීම අතින් උත්සහයන් ඵල දරා ඇති," බවයි.

කෙසේවෙතත්, "අපි කලින් පැවසූ පරිදි සැලකිය යුතු අවදානම් සහගතභාවයන් සහ අවිනිශ්චිතතාවයන් තවමත් තියෙනවා," යැයි ද ඇය සඳහන් කළා ය.

එයින් අදහස් වන්නේ "ප්‍රතිසංස්කරණ නොවෙනස්ව පවත්වාගෙන යාම ඉතා වැදගත් බව," වන්නේ යැයි ජූලි කොසෑක් වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.

IMF තුන්වන ඇගයීම කවදා ද?

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ලබා දී ඇති ණය වාරික සහ ආර්ථික ප්‍රතිසංකරණ සම්බන්ධයෙන් සිදු කරන තුන්වන ඇගයීම සඳහා ඉදිරියේ දී නියමිත කාලය තුළ දින නිවේදනය කිරීමට ද බලාපොරොත්තු වන බව ජූලි කොසෑක් පැවසුවා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් ඇතුළු නියෝජිත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටිති.

විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය ගැන සාකච්ඡා

ඔක්තෝබර් 02 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එදින පස්වරුවේ ම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ නව රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට පත් කර ඇති ආර්ථික කණ්ඩායම හමු විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති සටහනක දැක්වෙන්නේ, IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරය සිදු කරන බව යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද බවත් එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණු බවත් එහි සඳහන් ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ ආර්ථික කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සීතා බණ්ඩාර රණතුංග, සුනිල් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, අමරසේන අතුකෝරළ ඇතුළු පිරිසක් IMF නියෝජිතයන් සමඟ මෙම සාකච්ඡාවට සම්බන්ධ වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ තුන්වන ණය වාරිකය අනුමත කිරීමට පෙර එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් පැවැත් වූ සමාලෝචනය අවසන් කර ශ්‍රී ලංකාවට, තුන්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දීමට ජාත්‍යන්තර අරමුදල විසින් අනුමැතිය ලබා දෙනු ලැබුවේ මෙම වසරේ ජුනි මාසයේදීයි.

'ජනතාව මත පැටවෙන පීඩනය අවම කිරීමට විකල්ප සෙවිය යුතුයි'

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඔක්තෝබර් 3 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ 'ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ගැන' ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට අවධාරණය කළ බවයි.

මෙම හමුවේ දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කෙරුණු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව ජනාධිපතිවරයා විසින් යළිත් තහවුරු කළ බව ද එම නිවේදනයේ සඳහන් ය.

ඉහළ VAT සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා සමඟ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව ඇතුළු පිරිසක් සම්බන්ධ වී ඇත.