මස්ක්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක වැටුපක් ගෙවීමට ටෙස්ලා කොටස් හිමියෝ එකඟ වෙති

    • Author, ජොආ ද සිල්වා සහ නැටලි ෂර්මන්
    • Role, ව්‍යාපාරික පුවත් වාර්තාකරුවන්

ටෙස්ලා කොටස් හිමියන් තම ආයතන ප්‍රධානියා වන ඊලෝන් මස්ක් වෙනුවෙන් වාර්තාගත වේතන පැකේජයක් ගෙවීමට එකඟතාව පළ කර ඇති අතර සමාගමේ නීති කටයුතු පිළිබඳ මූලස්ථානය ටෙක්සාස් වෙත ගෙන යාමේ සැලැස්මක් සඳහා ද අනුමැතිය ලබා දී තිබේ.

කොටස් හිමියන්ට අසාධාරණයක් යැයි සැලකිල්ලට ගනිමින් ඩෙලවෙයාර්හි විනිසුරුවරයෙකු විසින් මෙම පැකේජය වසර මුලදී අවහිර කරන ලදී.

ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක (පවුම් බිලියන 43.9) වටිනාකමකින් යුතු මෙම වේතන පැකේජය සඳහා සමාගමේ කොටස් හිමියන්ගේ කැමැත්ත ලැබීම, එය ලබා ගැනීම වෙනුවෙන් වෙහෙසී කටයුතු කළ මස්ක්ට ජයග්‍රහණයකි. නමුත් ඔහුට හිමිවන මුදල නිශ්චිත වශයෙන් කොපමණ ද යන්න ටෙස්ලා සමාගමේ කොටස්වල මිල මත රඳා පවතී.

"හොට් ඩෑම්, අයි ලව් යූ ගායිස්," සමාගමේ වාර්ෂික රැස්වීම සඳහා ටෙක්සාස්හි රැස්ව සිටි උද්යෝගයකින් යුතුව සිටි කොටස් හිමියන් කණ්ඩායමකට ඔහු පැවසීය.

මෙම වේතන පැකේජය එක්සත් ජනපදයේ ඉහළ ම වේතන පැකේජය ලද ආයතන ප්‍රධානියා වෙත ගෙවූ වටිනාකම මෙන් 3,000 ගුණයකට වඩා වැඩි ය.

කෙසේ වෙතත්, ඔහුට මෙම වේතන පැකේජය ගෙවීමට කොටස් හිමියන් පළ කළ කැමැත්ත සඳහා නෛතික බලයක් නොමැති අතර විශේෂඥයින් පවසා ඇත්තේ, මෙම පැකේජය මීට පෙර අවහිර කළ අධිකරණය නැවත එම කැමැත්ත පළ කිරීම පිළිගෙන වේතන පැකේජය යථා තත්ත්වයට පත් කිරීමට සමාගමට ඉඩ දෙන්නේ ද යන්න අපැහැදිලි බව ය.

"මේ කැමැත්තෙන් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ," නීති සමාගමක් වන Obermayer Rebmann Maxwell & Hippelහි කළමනාකාර හවුල්කරුවෙකු වන මැතිව් ෂපීරෝ පැවසීය.

"ඒකෙන් ටෙස්ලා සමාගමට ලැබෙන්නේ ඉදිරියට වඩා හොඳ තීරණයක් ගන්න ඡන්දය භාවිත කරන්න උත්සහ කරන්න අවස්ථා විතරයි.

"වෙනත් අධිකරණයක්, අධිකරණ තීන්දුවට පස්සේ තියපු මේ ඡන්දේ වලංගුයි කියලා සලකාවි ද කියලා බලන එක සිත්ගන්නාසුලු දෙයක් වේවි."

ඇස් පොපියන මෙම මුදල සම්බන්ධයෙන් විවේචන එල්ල වී ඇති අතර ටෙස්ලා අධ්‍යක්ෂ මණ්ඩලය මස්ක්ට ඕනෑවට වඩා යටහත් පහත්ව සහ සමීපව කටයුතු කළේ ද යන සැකය මතු වී ඇත.

ජනවාරි මාසයේදී අධිකරණය ලබා දුන් තීන්දුවේදී ඩෙලවෙයාර් විනිසුරු කැතලින් මැකෝමික් මෙම මුදල "අසාධාරණ" බව ත් මස්ක් විසින් ආධිපත්‍යය දරුණු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පැකේජය නිර්ණය කිරීමේ ක්‍රියාවලිය "ගැඹුරු දෝෂ සහිත" බව ත් සඳහන් කළා ය.

ටෙස්ලාහි අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඇන්ටෝනියෝ ග්‍රේසියස්ට "මස්ක්ගේ පවුලේ අය සමග නිතිපතා නිවාඩු ගත කළ ආකාරයේ පෞද්ගලික සම්බන්ධතාවක්" පැවති බවට චාන්සලර් මැකෝමික් පෙන්වා දී තිබිණි.

ඇය ටෙස්ලා සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ටොඩ් මැරන් පිළිබඳව ද සඳහන් කළා ය. ඔහු "මස්ක්ගේ දික්කසාද නඩුවේ නීතඥවරයා ලෙස කටයුතු කළ අතර ඔහු තුළ මස්ක් සම්බන්ධයෙන් පැවති ප්‍රසාදය කොතෙක් ද යත් නඩු විභාගයේ සාක්ෂි විමසන අවස්ථාවේ ඔහුගේ දෑස් කඳුලින් බර වීම පවා සිදුවිණි."

කුඩා පරිමාණ ආයෝජකයෙකු විසින් ගොනු කරන ලද නඩුවක ප්‍රතිඵලයක් ලෙස සිය වේතන පැකේජය ලබා දීම ටෙස්ලා සමාගමේ නීතිකටයුතු පිළිබඳ මූලස්ථානය මේ වන විට පිහිටා ඇති ඩෙලවෙයාර් අධිකරණය මගින් අවලංගු කිරීමෙන් පසු මස්ක් එම මූලස්ථානය ටෙක්සාස් වෙත ගෙන යාමට අවශ්‍ය බව නිවේදනය කළේ ය.

ටෙස්ලාහි කොටස් මිල පහත වැටීම සහ විද්‍යුත් මෝටර් රථ කර්මාන්තයේ එය පැවති ස්ථානය අභියෝගයට ලක්ව ඇති පසුබිමක මෙම නීති කටයුත්ත මස්ක්ගේ නායකත්ව හැකියාව පිළිබඳව සැක මතු කරන්නට විය.

ටෙස්ලා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පැවසුවේ, මෙම මෝටර් රථ නිෂ්පාදකයා මස්ක්ගේ නායකත්වය යටතේ එහි ඉලක්ක සපුරාගෙන ඇති බැවින් ඔහු මෙම පැකේජය ලැබීමට සුදුසු බව ත් සමාගම වෙනුවෙන් ඔහුගේ කැපවීම සහතික කිරීමට එය අවශ්‍ය බව ත් ය.

ඡන්ද ප්‍රතිඵලය මස්ක්ට "ඉතා ශක්තිමත් වලංගුභාවයක්" ලබා දෙන බව එල් පැවසීය.

"ඇත්ත වශයෙන් ම, ඒ හැමදේ ම තනියම නෙවෙයි ඔහු ටෙස්ලා සමාගමේ කරන්නේ. නමුත් අනිවාර්යයෙන් ම න්‍යාය පත්‍රය හදන්නේ ඔහු. යන්න ඕනේ වේගය තීරණය කරන්නෙත් ඔහු. වැඩ කරන්න ලැබෙන අධිෂ්ඨානශීලී පුද්ගලයෙක් ඔහු. ඒකෙ ආයෙත් සැකයක් නැහැ," ඔහු පවසයි.

ටෙස්ලා සමාගමේ විධායක නිලධාරීන් සමාජ මාධ්‍ය පෝස්ට්වල මෙම පැකේජයට සහය පළ කරමින් කියා සිටියේ, සමාගමේ සාර්ථකත්වය සඳහා මස්ක් තීරණාත්මක සාධකයක් වූ බව ය.

මේ අතර, ටෙක්සාස්හි පිහිටි ටෙස්ලා සමාගමට ගොස් තමන් වෙනුවෙන් පක්ෂව ඡන්දය ලබා දුන් කොටස් හිමියන් කිහිප දෙනෙකු හමුවන බවට මස්ක් පොරොන්දු විය.

බ්‍රහස්පතින්දා පැවති රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු නැවත තෝරා පත් කර ගැනීමට ද කොටස් හිමියෝ එකඟ වූහ. මාධ්‍ය අධිපතියෙකු වන රූපට් මර්ඩොක්ගේ පුත් ජේම්ස් මර්ඩොක් සහ මස්ක්ගේ සහෝදරයා වන කිම්බල් මස්ක් ඔවුන් දෙදෙනා වෙති.