ඊලොන් මස්ක්ගේ SpaceX රොකට්ටුව සඳ සමග ගැටීමට නියමිත යි

ඊලොන් මස්ක්ගේ අභ්‍යවකාශ ගවේශන සමාගමෙන් දියත් කළ රොකට්ටුවක් සඳ හා ගැටී පුපුරායාමට නියමිත ය.

2015 වසරේ දී දියත් කෙරුණු මෙම ෆැල්කන් 9 බූස්ටර රොකට්ටුව සිය මෙහෙයුම අවසන් කළත්, ආපසු පෘථිවිය බලා ඒමට තරම් ප්‍රමාණවත් ඉන්ධන එය සතුව නොතිබූ බැවින් අභ්‍යවකාශයේ නතරවිය.

තාරකාවිද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් BBC News වෙත ප්‍රකාශ කළේ, පාලනයෙන් ගිලිහුණු රොකට්ටුවක් අප දැනුවත්ව සඳ හා ගැටෙන ප්‍රථම අවස්ථාව මෙයබව යි.

කෙසේ වෙතත්, එහි හානිය බරපතල නොවනු ඇතැ යි ඔහු කියයි.

කාලගුණ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීමේ සැතපුම් මිලියනයක ගමන අවසන් කළ මෙම රොකට්ටුව, මින් වසර හතකට එපිට දී පෘථිවියේ ඉහළ කක්ෂයේ දී අතහැර දමනු ලැබුණි.

මෙය ඊලොන් මස්ක්ගේ අභ්‍යාවකාශ ගවේශන වැඩසටහන වන SpaceXහි කොටසකි. වාණිජ අරමුණක් ඇති සමාගමක් වන SpaceXහි අරමුණ වන්නේ වෙනත් ග්‍රහලෝකයන් ද ජනාවාස පිහිටුවීමයි.

එක්සත් ජනපදයේ පිහිටි තාරකා භෞතිකවිද්‍යාව පිළිබඳ හාවර්ඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ සේවය කරන මහාචාර්ය මැක්ඩොවෙල් එහි සිට පැහැදිලි කරන්නේ, 2015 වසරේ සිට මෙම රොකට්ටුව පෘථිවියේ, සූර්යයාගේ, සහ චන්ද්‍රයාගේ වෙනස් ගුරුත්වාකර්ෂණ බලයන්ට හසුවූ බැවින් එහි ගමන්මඟ "ව්‍යාකූල" වූබව යි.

"ඒක අක්‍රීය වෙලා - ගුරුත්වාකර්ෂණයේ නීතිවලට අනුගත වෙලා තිබුණේ."

එය තවත් මිලියන ගණනක් වූ අභ්‍යවකාශ කසළ කැබලිවලට එකතු විය. 'අභ්‍යවකාශ කසළ' යනු, සිය මෙහෙයුම් නිමකිරීමෙන් පසු නැවත පෘථිවියට පැමිණීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිව අභ්‍යවකාශයට අත්හැර දමන ලද යන්ත්‍රසූත්‍ර යි.

"දශක ගණනාවක් තිස්සේ අපේ නිරීක්ෂණයෙන් සම්පූර්ණයෙන් ගිලිහුණු විශාල වස්තූන් ඕනේ නම් 50ක් විතර ඇති. මේක මීට කලින් දුසිම් ගාණක් වතාවන්වල සිද්ධ වෙලා ඇති, නමුත් ඒවා අපට නිරීක්ෂණය වෙලා නැහැ. මේක තමයි තහවුරු වෙලා තියෙන පළමු සිද්ධිය," මහාචාර්ය මැක්ඩොවෙල් කියයි.

ෆැල්කන් 9හි ප්‍රක්ෂේපිත විනාශය පිළිබඳව මුලින්ම හඳුනාගැනුනේ, මාධ්‍යවේදී එරික් බර්ගර් විසින් අභ්‍යවකාශය පිළිබඳ Ars Technica වෙබ් අඩවිය හරහාත්, දත්ත විශ්ලේෂක බිල් ග්‍රේ විසින් ඔහුගේ පුද්ගලික බ්ලොග් එක හරහාත් ය.

රොකට්ටුව සඳ හා ගැටීමට නියමිතව ඇත්තේ මාර්තු 4 වන දා වන අතර, ගැටුමේ දී රොකට්ටුව පුපුරා යනු ඇත.

"සරලවම කිව්වොත්, ඒක පිටිපස්සෙන් රොකට් එන්ජිමක් හයිකරපු ටොන් හතරක හිස් ලෝහ ටැංකියක්. ඉතින්, ඒ වගේ එකක් පැයට සැතපුම් 5000ක වේගෙන් පර්වත කුට්ටියක් වෙතට වීසිකරනවා හිතෙන් මවාගෙන බලන්නකෝ. ඒක සතුටින් සමාදානෙන් පර්වතේ වැදෙන්නේ නෑනේ," මහාචාර්ය මැක්ඩොවෙල් කියයි.

එය සඳ මතුපිට කුඩා, කෘත්‍රිම ආවාටයක් සාදනු ඇත.

පෘථිවියට ආසන්න අභ්‍යවකාශ වස්තූන් 'ලුහුබැඳීම සඳහා' මෘදුකාංගයක් භාවිතා කරන බිල් ග්‍රේ, රොකට්ටුව ජනවාරි 5 දා පෘථිවියට ඉතා සමීපව පියාසර කළ බව ප්‍රක්ෂේපණය කළේ ය. මාර්තු 4 දා එය සඳෙහි ඈත පැත්තේ ගැටීමට ඉඩ ඇතිබව ඔහු පවසයි.

2009 දී, මහාචාර්ය මැක්ඩොවෙල් සහ තවත් තාරකාවිද්‍යාඥයින් පිරිසක් මීට සමාන ප්‍රමාණයේ රොකට්ටුවක් චන්ද්‍රයා සමග ගැටීමට සලස්වමින් පරීක්ෂණයක් සිදුකළෝ ය. සංවේදකයන් මඟින් ඝට්ටනය පිළිබඳ සාක්ෂි එකතු කෙරුණේ, එයින් ඇතිවූ ආවාටය අධ්‍යයනය කිරීමේ අරමුණෙනි.

මෙනිසා, මේ නව ඝට්ටනය හරහා විද්‍යාඥයින්ට උගත හැකි තොරතුරු අල්පබව මහාචාර්ය මැක්ඩොවෙල් පැහැදිලි කරයි.

අභ්‍යවකාශයේ පාවෙමින් සහ ඉඳහිට එහෙ මෙහෙ ගැටෙමින් පවතින පරිදි අපද්‍රව්‍ය අත්හැර දැමීමෙන් දැනට අප ප්‍රතිවිපාක නොලබන නමුත්, අනාගතයේ දී එවන් විපාක ඇතිවිය හැකිබව ඔහු වැඩිදුරටත් පවසයි.

"හඳ මත මූලස්ථාන පිහිටුවන, නගර පිහිටුවන අනාගතේට අපි ගියොත්, අපි දැනගෙන ඉන්න ඕනේ අපි අවට අභ්‍යවකාශයේ තියෙන්නේ මොනවා ද කියන එක. [අභ්‍යවකාශ අපද්‍රව්‍ය] ගැටලුවක් වෙනකල් ඉන්නේ නැතුව, අභ්‍යාවකාශ ගමන්බිමන් අඩු මේ කාලේ දී ඒ දේවල් පිළිවෙලක් කරගන්න එක ලේසියි."

අදත්, මාර්තු 4 දාත් අතරේ දී සිදුවනු ඇත්තේ කුමක් ද? රොකට්ටුව සඳ මතට කඩා වැටී විනාශවන තෙක්ම එය ගුරුත්වාකර්ෂණ නියමයන්ට අනුකූලව අභ්‍යාවකාශය හරහා පාවෙමින් තිබෙණු ඇත.