විදුලි කාර් : පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට ආයුබෝවන් කියන දවස

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් පැදවීමට තවම ඔබට අවස්ථාවක් නොලැබුණා විය හැකියි. විදුලි මෝටර් රථයක් මිල දී ගැනීමට මෙතෙක් ඔබට සිතුවිල්ලක් හෝ පහළ නොවූවා විය හැකියි. එවැනි තත්ත්වයක් යටතේ මේ අනාවැකි දෙස ඔබ සරදම් බැල්මක් හෙළන්නේනම් එය පුදුමයක් නොවේ.

හෙන්රි ෆෝර්ඩ් විසින් 1913 දී මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව මෝටර් රථ ලෝකයේ සිදු වෙමින් පවතින විශාලතම විප්ලවය දැන් සිදුවෙමින් තිබේ.

එය ඔබ සිතුවාට වඩා ඉක්මණින් සිදුවන හැඩක් පවතී.

පෙට්‍රල් සහ ඩීසල් වාහන අභිබවා විදුලි වාහන නැගී සිටීම දැනටමත් ආරම්භ වී හමාර බව මෙම කර්මාන්තය දෙස විමසිල්ලෙන් සිටින ඇතැම් විශේෂඥයෝ පවසති.

මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයන් දරන මතය ද එයමය.

ජගුවාර් මෝටර් රථ සමාගම සැලසුම් කර ඇත්තේ 2025න් පසු විදුලි මෝටර් රථ පමණක් අලෙවි කිරීමට ය. වොල්වෝ සමාගම 2030න් පසු විදුලි වාහන පමණක් අලෙවි කරනු ඇත. ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ලෝටස් සමාගම ද කියා සිටියේ 2028න් පසුව තමන් ද ඒ අඩි පාරේ ගමන් කරනු ඇති බවය.

මේ පියවර ගෙන ඇත්තේ ලොව මිල අධික මෝටර් රථ නිපදවන්නන් පමණක් නොවේ.

2035 වසරේ පටන් විදුලි වාහන පමණක් නිෂ්පාදනය කිරීමට ජෙනරල් මෝටර්ස් සමාගම (GM) තීරණය කර තිබේ. ෆෝර්ඩ් සමාගම ප්‍රකාශ කළේ 2030න් පසුව යුරෝපා රටවල අලෙවි කරන සියලුම ෆෝර්ඩ් වාහන විදුලි බලයෙන් පමණක් ක්‍රියා කරනු ඇති බවය. 2030න් පසුව තම නිෂ්පාදනයෙන් 70%ක් විදුලි වාහන වනු ඇති බව වොල්ක්ස්වැගන් (VW) සමාගම ද නිවේදනය කළේය.

මෙය ස්ව කැමැත්තෙන් සිදුවන්නක් ම නොවන බව සැබවි.

ඔව්; පෙට්‍රල් සහ ඩීසල් වාහන තහනම් කිරීම සඳහා ලොව පුරා රටවල බොහෝ ආණ්ඩු ඉලක්ක නිවේදනය කිරීමෙන් මීට තල්ලුවක් ලැබුණි. ක්‍රියාවලිය වේගවත් විණි.

නමුත් ඉන්ධන දැවී යන එන්ජිමට තිත තැබීමට නම් තාක්ෂණික විප්ලවයක් ඇති විය යුතුමය. ඒ තාක්ෂණික විප්ලවය ඉතා වේගයෙන් සිදුවන බවක් පෙනෙන්නට තිබේ.

මෙය විදුලි වේගයෙන් සිදුවන විප්ලවයක් වනු ඇත

අන්තර්ජාලය පිළිබඳව මදක් සිතන්න.

90 දශකයේ හෝ 2000 වසර ආරම්භයේ දී අන්තර්ජාලය පිළිබඳව තිබුණේ ද මෙවැනිම කතාබහකි.

ගතවූයේ කෙටි කලකි. පරිගණක අතර සන්නිවේදනය සිදුවන මේ විශ්වකර්ම අන්තර්ජාලය එකවරම ලොව පුරාම ව්‍යාප්ත විය.

ජෙෆ් බේසොස් විසින් ඇමසන් නමැති අන්තර්ජාල වෙළෙඳපොළ පිහිටවනු ලැබිණ. ආස්ක්, ජීව්ස්, සහ යාහූ පරයා යමින් ගූගල් තම අධිපත්‍යය පිහිටුවා ගත්තේය. අන්තර්ජාලය පදනම් කොටගත් බොහෝ ආයතනවල වටිනාකම අදහාගත නොහැකි තරමින් ඉහළ ගියේය.

අදටත් අන්තර්ජාලය භවිත නොකරන්නන් සිටීම එහි ව්‍යාප්තියට අදාළ කාරණයක් නොවීය. ඒ සියල්ල අවසානයේ අප අතට ජංගම දුරකථනය ලැබිණ.

ලොව ජයගත් බොහෝ තාක්ෂණයන්ට කලින් සැලසුම් කළ ගමන් පථයක් විය. නමුත්, ලෝකය ජය ගැනීම සඳහා කලින් සැලසුම් කළ ගමන් මාර්ගයක් අන්තර්ජාලයට නොවීය. එය ලොව පුරා ක්‍රමානුකුලව සිදු වූවක් ද නොවේ.

එය එකවර පුපුරා ගියාක් වැනිය. ඇතැම් විට, එවකට පැවති බොහෝ දේට බාධා ගෙන දෙමින් එය වේගයෙන් ව්‍යාප්ත විය. පැවතුණු ව්‍යාපාර පොඩිපට්ටම් කර දැමුණි. අප කරන කියන සෑම දෙයක්ම වෙනස් වුණි.

මෙය අලෙවිකරණ විෂයේ දී 'S නැම්ම හෝ S වක්‍රය' (S-curve) ලෙස හැඳින්විය හැකිය. ප්‍රස්ථාරයක ආරම්භයේ දී මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර, එකවරම ශීඝ්‍ර වර්ධනයකට අවතීර්ණ වී නැවතත් පෙර පරිදි ස්ථාවර වීම මෙහිදී දැකිය හැකිය. එම වක්‍ර ප්‍රස්ථාරය ඉංග්‍රීසි හෝඩියේ S අකුරේ හැඩය ගනී.

අන්තර්ජාලයේ S නැම්ම

මෙය ඇත්ත වශයෙන් ම දිගටි හැඩයක් ගත් S අකුරකි.

එහි තේරුම මෙසේ සරලව විග්‍රහ කළ හැකිය. නවෝත්පාදන ආරම්භ වන්නේ ඉතා සෙමින් ය. විදුලි වාහන ද අද පවතින්නේ S අකුරේ පහළම නැම්මේ ය.

අන්තර්ජාලයේ ව්‍යාප්තිය දැක්වෙන ප්‍රස්ථාරය ආරම්භ වන්නේ 1969 ඔක්තෝම්බර් 29 වැනිදා රාත්‍රී 10.30ට ය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණකයක් ඊට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තිබූ පරිගණකයක් සමඟ සම්බන්ධතාවක් ඇති කර ගත්තේ ඒ මොහොතේ ය.

මේ පර්යේෂකයන්ට සටහන් කළ හැකි වූයේ L, O සහ G යන අකුරු තුන පමණි. "login" යන වචනය සම්පුර්ණ කිරීමට පෙර පද්ධතියේ සම්බන්ධතාව බිඳ වැටුණි.

එවක් පටන් දශකයක් ගෙවී ගිය ද මෙම ජාලයට සම්බන්ධ වී තිබුණේ පරිඝනක සිය ගණනක් පමණි. නමුත් එම තාක්ෂණය වෙනස් වෙමින් පැවතුණේ ඉතා වේගයකිනි.

90 දශකයේ මුල් අවධිය වන විට තාක්ෂණික මෙවලම් භාවිතයට ඇල්මක් දක්වන බොහෝ පිරිසක් පරිගණක මිලදී ගන්නට පෙළඹුණි.

වෙළෙඳපොළ වර්ධනය වීමත් සමඟ පරිගණකයේ මිල ද පහළ බසින්නට විය. නමුත් පරිගණක තාක්ෂණය ඉතා වේගයකින් දියුණු වන්නට පටන් ගත්තේය. ඉන් ධෛර්යමත් වූ තව තවත් පිරිස අන්තර්ජාලයට සම්බන්ධ විය.

දිගටි හැඩයක් ගත් S අකුරේ තීව්‍ර බෑවුමක් සහිත නැම්ම ඉහළට ගමන් කරන්නට පටන් ගත්තේ මෙතැන් පටන් ය. ඇදහිය නොහැකි මට්ටමින් මෙය වර්ධනය විය.

1995 වනවිට අන්තර්ජාලයට සම්බන්ධවී සිටි පිරිස මිලියන 16ක් විය. 2001 වන විට එම පිරිස මිලියන 513ක් දක්වා වර්ධනය වී තිබුණි.

දැන්, ලොවපුරා බිලියන තුනක ජනතාවක් අන්තර්ජාලයේ සැරිසරති. මේ වන විට S අකුරේ අවසන් නැම්ම තිරස් අතට නැමී පවතී.

දැන්, වර්ධක අනුපාතිකයේ වේගය අවම වී ඇත. සරලව කියතොත් අන්තර්ජාලයේ අවශ්‍යතාව ඇති සියලු දෙනාම පාහේ දැන් ඊට සම්බන්ධ වී හමාරය.

ජංගම දුරකථන, ඡායාරූප ශිල්පය සහ ප්‍රති ජීවක ඖෂධ පිළිබඳව ද වෙළෙඳපොළ වර්ධනය සටහන් වූයේ මෙවැනිම වූ ප්‍රස්ථාර හැඩයකි. මන්දගාමී ආරම්භයකින් පසු අධිවේගී වර්ධනයක් පෙන්නුම් කර නැවතත් වේගය අඩු විය.

ඉන්ධන දවාලන එන්ජිම ද පසුගිය සියවස ආරම්භයේ දී මෙවැනිම ගමන් පථයක් පෙන්නුම් කළේය.

වාෂ්ප එන්ජිම සහ මුද්‍රණ යන්ත්‍රය ද එසේම විය; විදුලි වාහන ද එසේම වනු ඇත.

පළමු අසම්පුර්ණ විදුලි වාහනය නිෂ්පාදනය කරන ලද්දේ ස්කොට්ලන්ත ජාතික රොබට් ඇන්ඩර්සන් විසිනි. ඒ එක්දහස් අටසිය තිස් ගණන්වලදී ය.

නමුත් එවකට පැවති තාක්ෂණය අනුව ඊට අධික වියදමක් දරන්නට සිදු වීම හේතුවෙන් තරඟකාරී වෙළෙඳපොළට එය අවතීර්ණ නොවීය.

විදුලි බලයෙන් දිවෙන මෝටර් රථයේ කාර්යක්ෂමතාව පිළිබඳව මුල් වකවානුවේ දී බොහෝ දෙනෙකු දැක්වුයේ අප්‍රසාදයකි.

නමුත් එහි තාක්ෂණික වර්ධනය පිළිබඳව ප්‍රසාදය දිනා ගැනීමට එතරම් කාලයක් ගත නොවුණි. තවදුරටත් එය වේගයෙන් වෙනස් වෙමින්, දියුණු වෙමින් පවතී.

වඩාත්ම සිත්ගන්නාසුලු වෙනස සිදු වී ඇත්තේ විදුලි වාහනයක් වෙනුවෙන් වැයවන මුදලට ය.

"මීට දශකයකට පෙර කිලෝවොට් පැයක බැටරි බලයක් සඳහා ඩොලර් 1000ක් වැය වුණා. දැන් ඒකට වැය වෙන්නේ ඩොලර් 100යි." පිරිසිදු බලශක්ති සඳහා එක්සත් ජනපදයේ පවතින පර්යේෂණ ආයතනයක් වන RMI ආයතනයේ මැඩලින් ටයිසන් පැවසුවාය.

ඉන්ධන සහ නඩත්තු සේවා සඳහා යන වියදම ගත්කල විදුලි වාහනයක් වෙනුවෙන් වැයවන මුදල ඉතා අඩු බව ද ඇය පෙන්වා දුන්නාය. ඉන්ධන දැවෙන වාහනයකට වඩා ඇතැම් විදුලි වාහනවල මිල ද දැනටමත් අඩුවී ඇත.

එමෙන්ම විදුලි වාහනයක පවතින බැටරියක ගබඩා කළහැකි බලශක්ති ප්‍රමාණය ද එන්න එන්නම වැඩි වෙමින් පවතී.

එහි කල්පැවැත්ම ද වැඩි වෙමින් පවතී.

සැතපුම් දශ ලක්ෂයක් ධාවනය කළ හැකි නව බැටරියක් හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය වසරේ දීය. ඒ CATL නමැති චීන සමාගමක් විසිනි.

වාහන විශාල සංඛ්‍යාවක් සහිත උබර් වැනි සමාගම් විදුලි වාහන සඳහා ඉක්මණින් නැඹුරුවෙමින් සිටින්නේ සැතපුමකට වැයවන මුදල අවම කර ගැනීමෙන්, ලැබිය හැකි ලාභය ඉතා විශාල බැවිනි.

මැඩලින් ටයිසන් තවදුරටත් කියා සිටියේ මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතින හෙයින් සාමාන්‍ය ජනතාව ද විදුලි වාහනවලට නැඹුරු වනු ඇති බවය.

කෙතරම් ඉක්මණින් මෙය සිදුවේ ද?

90 දශකයේ දී අන්තර්ජාලය ව්‍යාප්ත වූ ආකාරයෙන් ම විදුලි වාහන වෙළෙඳපොළද අධිවේගී මට්ටමින් වර්ධනය වෙමින් පවතී.

කොවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය මෝටර් රථ අලෙවිය පස් ගුණයකින් පහත වැටුණු නමුත් විදුලි මෝටර් රථ නිෂ්පාදන තරඟය 2020 දී ඉදිරියට ගියේය. ප්‍රතිශතයක් වශයෙන් එය 43%ක වර්ධනයක් පෙන්නුම් කළේය.

එය සමස්ත මෝටර් රථ අලෙවියෙන් 5%ක් පමණක් වුවද ඉන් පෙන්නුම් කෙරෙන්නේ, ප්‍රස්ථාරයේ S අකුරේ තීව්‍ර සිරස් නැම්ම කරා දැනටමත් අප පැමිණ ඇති බවය.

2025 වන විට ගෝලීය වශයෙන් සමස්ත මෝටර් රථ අලෙවියෙන් 25%ක් ම විදුලි වාහන වනු ඇති බවට UBS ආයෝජන බැංකුව ඇස්තමේන්තු කර ඇත.

එය 2030 වන විට 40% දක්වා වැඩි වන බවත් 2040 වන විට ලොව පුරා අලෙවිවන සියලුම වාහන විදුලි බලයෙන් ක්‍රියාත්මක වනු ඇති බවත් UBS බැංකුව පවසයි.

යමක් වැඩි වැඩියෙන් නිෂ්පාදනය වන තරමට එහි ගුණාත්මකභාවය ඉහළ යන අතර එහි මිලගණන් අඩු වනු ඇත. පරිගණකයක් මිලදී ගැනීම මෙන්ම මුළුතැන්ගෙයට අවශ්‍ය කරන උපකරණයක් මිලදී ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබුණේ එබැවිනි. පෙට්‍රල් සහ ඩීසල් වාහන ද සාමාන්‍ය ජනතාව අතර සාමාන්‍ය දෙයක් බවට පත් වූයේ ද එබැවිනි.

"තීරණාත්මක තැනක"

විදුලි වාහන සඳහා අවශ්‍ය වන බැටරියක මිල පහත වැටීම හේතුවෙන් අදාළ වාහනයේ මිල ද පහත වැටුණි.

"අපි ඇවිත් ඉන්නේ තීරණාත්මක තැනකට." කැලිෆෝනියාවේ සින්ගියුලැරිටි විශ්වවිද්‍යාලයේ බලශක්ති හා පාරිසරික අංශයේ සම ප්‍රධානි රමේස් නාම් පැවසීය.

ඔහු විශ්වාස කරන්නේ පොසිල ඉන්ධන දහනය වන වාහනයක් සඳහා වැයවන මුදලට විදුලි වාහනය තරඟකාරී වූ වහාම තරඟය ආරම්භවන බවය.

ටෙස්ලා සමාගමේ අයිතිකරු ඉලෝන් මස්ක් ගේ විශ්වාසය ද එයමය.

"විදුලි වාහන පිළිබඳව පාරිභෝගිකයාගේ අවබෝධයේ විශාල වෙනසක් ඇතිවෙමින් පවතිනවා. ඒ සඳහා මෙතෙක් නොවූ මට්ටමේ ඉල්ලුමක් දැන් පවතිනවා." ඔහු පවසා තිබුණි.

කෙසේ වෙතත් පෙට්‍රල් සහ ඩීසල් වාහන සම්පුර්ණයෙන් ම මහා මාර්ගයෙන් ඉවත්වීමට පෙර තව කළයුතු දෑ බොහෝය.

වැදගත්ම දෙය වන්නේ තමන්ගේ වාහනයේ බැටරිය ආරෝපණය කර ගැනීමේ පහසුකම සියලු දෙනාටම ලැබීම ය. එය ලාභදායී විය යුතුය.

ඒ සඳහා ඉදිකිරීම් සහ ආයෝජන අවශ්‍ය වනු ඇත. නමුත් එය සිදුවනු නියතය. මීට සියවසකට පෙර පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා ලොව පුරා ඉන්ධන පිරවුම් හල් ඉදිවීම අධිවේගයෙන් සිදුවිය.