ටෙස්ලා: ඉන්දුනීසියාව ස්පේස්එක්ස් රොකට් දියත් කිරීමේ නව මධ්‍යස්ථානය ලෙස සලකයි

ඊලෝන් මස්ක්ගේ ස්පේස්එක්ස් (SpaceX) ව්‍යාපාරය යටතේ නිපදවන රොකට් දියත් කළ හැකි ස්ථානයක් ලෙස ඉන්දුනීසියාව ඉදිරිපත් වී තිබේ.

ගිනිකොනදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව දැනටමත් විදුලි බැටරි හවුල්කාරිත්වයක් පිළිබඳ ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගම සමග සාකච්ඡා පවත්වමින් සිටියි.

ඉන්දුනීසියාවේ සමුද්‍රීය හා ආයෝජන කටයුතු සම්බන්ධීකරණ අමාත්‍යාංශයට අනුව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ, ඊලෝන් මස්ක් සමග සාකච්ඡා පවත්වමින් සිටියි.

ආයෝජන මාර්ග සොයා බැලීම සඳහා ටෙස්ලාහි කෝටිපති ව්‍යාපාරිකයා ජනවාරි මාසයේ දී සිය කණ්ඩායමක් ඉන්දුනීසියාවට යවන බව එහි වැඩිදුරටත් දැක්වේ.

සාකච්ඡාවට බඳුන් කළ යුතු එක් කරුණක් වන්නේ ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවාහි බලාගාරයක් ඉදිකිරීමය.

තඹ, නිකල් සහ ටින් විශාල නිධි වලින් සමන්විත ඉන්දුනීසියාව ලොව විශාලතම විද්‍යුත් වාහන බැටරි නිෂ්පාදකයා බවට පත්වීම අරමුණ වී තිබේ.

"ඉහළ පරිමාවකින් යුත් දිගු කාලීන බැටරි සඳහා විශාලතම අභියෝගය වන්නේ නිකල්! ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ඉතා හොඳින් මේ දේ සිදු කරනවා. එක්සත් ජනපදයේ නිකල් නිෂ්පාදනය බිඳ වැටී තිබෙනවා. ඉන්දුනීසියාව විශිෂ්ඨයි!," ඊලෝන් මස්ක් මෙම වසර මුලදී ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

ටෙස්ලා සමඟ ආයෝජන හවුල්කාරිත්වයකට අමතරව, ඉන්දුනීසියාව තුළ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනපති ජෝකෝ විඩෝඩෝ ඊලෝන් මස්ක්ගෙන් ඉල්ලා තිබේ.

"ස්පේස්එක්ස් යානා දියත් කිරීමේ අංගයක් ලෙස ඉන්දුනීසියාව සලකා බැලීමට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (ඊලෝන් මස්ක්ට) ආරාධනා කරනවා," අමාත්‍යාංශය පැවසීය.

ඉන්දුනීසියාවේ ජාතික ගුවන් හා අභ්‍යවකාශ ආයතනය (LAPAN) සිය පළමු අභ්‍යවකාශ තොටුපළ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එය පැපුවා දූපතේ බියාක් හි ඉදිකරනු ඇත.

මෙම මහා පරිමාණ අභ්‍යවකාශ ව්‍යාපෘතියට ජාත්‍යන්තර ආයෝජකයින් අවශ්‍ය වන අතර ස්පේස්එක්ස් ඉන් එක් හවුල්කරුවෙකු ලෙස යොදා ගැනීමට අපේක්ෂා කරයි.

ටෙස්ලා සමාගම දැනටමත් ෂැංහායිහි පිහිටි ඔවුන්ගේ අති විශාල කර්මාන්තශාලාව හරහා කලාපයේ නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටියි. එම චීන කම්හල තුළ මේ වන විට වසරකට කාර් 250,000 ක් පමණ නිෂ්පාදනය කෙරේ.

ෂැංහායි කම්හලේ ඉදිකරන ලද මොඩල් 3 මෝටර් රථ යුරෝපයට අපනයනය කිරීම ආරම්භ කරන බව ඊලෝන් මස්ක් පැවසීය.

මෙම එක්සත් ජනපද ව්‍යවසායකයා පසුගිය සතියේ ටෙක්සාස්හි සිට සිය 'ස්ටාර්ෂිප්' අභ්‍යවකාශ යානයේ නවතම මූලාකෘතිය එළිදැක්වීය.

මීටර 50 ක් උසැති Codenamed SN8 යානය ගොඩබැස්සවීමේ දී විනාශ වී ඇති නමුත් පරීක්ෂණ කෙතරම් දුරට සාර්ථක වී ඇත්ද යන්න පිළිබඳව ඊලෝන් මස්ක් සතුට පළ කර තිබේ.

මේ තොරතුරුද කියවන්න: