'බ්‍රිතාන්‍යයේ නැෂනල් පූ මියුසියම්': විවිධ යුගයන්ට අයත් මලපහ දැක ගත හැකි කෞතුකාගාරය

ඡායාරූප මූලාශ්‍රය, National Poo Museum
- Author, බීබීසී සිංහල
මිනිසාගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් සලකා බලන විට මලපහ එක හා සමානව වැදගත් වේ. වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ මිනිස් සිරුරේ පවතින ඇතැම් රෝග නිර්ණය කිරීමේදී මලපහ පරීක්ෂා කිරීමෙන් කරුණු අනාවරණය කර ගැනීම සිදුකළ හැකි බව ය.
'මලපහ' සම්බන්ධයෙන් කතා කරන විට බොහෝ දෙනා ඊට හාස්‍යය හෝ අප්‍රියතාවයෙන් යුතුව ප්‍රතිචාර දැක් වුවත් 'මලපහ' පිළිබඳ අධ්‍යයනය අපගේ සෞඛ්‍යයට ඉතා වැදගත් වේ.
බ්‍රිතාන්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන කවින්ද හේවාවිතාරණ බ්‍රිතානයේ 'මලපහ පිළිබඳ ජාතික කෞතුගාරය' ගැන තොරතුරු අපත් සමග බෙදා ගත්තේ ය.
බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති 'The National Poo Museum' යනු කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Kavinda Hewawitharana
දකුණු දිග බ්‍රිතාන්‍යයේ සැන්ඩ්ටවුන්, අයිල් ඔෆ් වයිට්හි (Isle of Wight) පිහිටා ඇති "නැෂනල් පූ මියුසියම්" හෙවත් මලපහ පිළිබඳ ජාතික කෞතුගාරය 2016 වසරේදී විවෘත කර තිබේ.
Eccleston George නම් කලාකරුවන්ගේ සාමූහිකයේ සාමාජිකයින් විසින් මෙම කෞතුකාගාරය නිර්මාණය කරනු ලැබ ඇත.
මෙම කෞතුගාරය තුළදී මිනිසුන්ගේ මෙන් ම සත්වයින්ගේ මලපහ සාම්පල මෙන් ම විවිධ කාලවකවානුවලදී මිනිසුන් භාවිත කර ඇති වැසිකිළිවල ආකෘති ද දැක ගත හැකිය.
"මේ වෙද්දී ප්‍රධාන කෞතුකාගාරය වහලා තියෙන්නේ. මේ වෙද්දී කෞතුගාරය එයාලගේ මලපහ එකතුව මහජනතාවට ප්‍රදර්ශනය කරන්න සංචාරයක් ආරම්භ කරලා තියෙන්නේ. රයිඩ් කියන ප්‍රදේශයේදී මේක නරඹන්න මට අවස්ථාවක් ලැබුණා. මම දැකපු දෙයක් තමයි ගොඩක් දෙනෙක් මේ දේවල් බලන්න ඇවිත් හිටියා. විශේෂයෙන් ම පාසැල් ළමුන් වගේ ම වැඩිහිටි අයත්," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Kavinda Hewawitharana
'අවුරුදු මිලියන 100කට වඩා පරණ මලපහ කෞතුගාරයේ තියෙනවා'
මීට වසර මිලියන 100කට පෙර පෘථිවියෙන් වඳ වී ගොස් ඇති සතුන්ගේ මලපහ පවා මෙහිදී දැක ගත හැකි ය.
"අවුරුදු මිලියන සියයකට වැඩිය පරණ ඩයිනසෝර යුගයට අයත් සතුන්ගේ මලපහ ෆොසිල කිහිපයක් ද මේ කෞතුගාරයේදී දකින්න ලැබුණා. ඒ වගේ ම සිංහයන්ගේ, සුනඛයින්ගේ වගේ ම ආසියානු අලියෙකුගේ මලපහ පවා ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඒවා සංරක්ෂණය කරලා තියෙන විදිහයි වැදගත් වෙන්නේ," ඔහු පැහැදිලි කළේ ය.
මෙම කෞතුකාගාරයට ලොව පුරා සත්වෝද්‍යානවලින් මෙන් ම පරිත්‍යාග ලෙස මලපහ ලැබෙන බව වාර්තා වේ.
වසර මිලියන 140ක් පැරණි ෆොසිලකරණය වූ ඩයිනසෝර සතුන්ගේ යුගයට අයත් මලපහ ෆොසිල මෙම කෞතුකාගාරයට ලැබී ඇත්තේ ඒ ආකාරයෙන් බව ද පැවසේ.

ඡායාරූප මූලාශ්‍රය, Kavinda Hewawitharana
'ගොඩක් දෙනෙක් කතා කරන්න අකමැති මාතෘකාවක්'

ඡායාරූප මූලාශ්‍රය, National Poo Museum | Facebook
මලපහ යන වචනය බොහෝ දෙනෙකු විවෘතව කතා කිරීමට අකමැති මාතෘකාවක් වුව ද කෞතුකාගාරය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු බොහෝ දෙනෙකුගේ සිත් ඇදගන්නා ආකාරයෙන් සකස් කර තිබේ.
"ගොඩක් දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් නේ මේ මලපහ කියන මාතෘකාව. පොඩි කාලේ ළමයි 'කක්කා' කියලා කිව්වට ලොකු වෙද්දී ඒ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි වෛද්‍ය විද්‍යාවේ සමහර රෝග නිර්ණය කර ගන්න පරීක්ෂා කරන්න යොදා ගන්න එක දෙයක් තමයි මලපහ කියන දේ. බ්‍රිතාන්‍යයේ බොහෝ තැන් තියෙනවා මිනිසුන්ගේ මලපහ එකතු කරලා පර්යේෂණ කරන්න අර ගන්න. අද වෙද්දී ලෝකයේ සමහර රටවල් ඒ වගේ ක්‍රියාමාර්ග අරන් තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, X
"මේ කෞතුකාගාරයේ තියෙන වැදගත් ම දේ තමයි මිනිසුන්ට දකින්න පුළුවන් විදිහට මලපහ වේලලා ඇසුරුම් කරලා තියෙන විදිහ. ඒ වගේ ම මලපහ ගැන විවිධ තොරතුරු මේකේ ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේ ම මේක නරඹන්නන එන හැමෝට ම මලපහ ගැන හොඳ දැනුමක් ලබා දෙනවා."
"හෝමෝ සේපියන්ස් යුගයේ මිනිසුන්ගේ මලපහ වගේ ම කුඩා දරුවන්ගේ මලපහ මේ කෞතුකාගාරයේදී දකින්න පුළුවන්. මලපහ සංරක්ෂණය කරන විදිහ ගැනත් කියලා දෙනවා. ඒ වගේ ම මේක කෞතුකාගාරයක් වගේ ම බ්‍රිතාන්‍යයේ අය මේ දේ සංචාරක කේෂ්ත්‍රයට ආදායම් උපදවන තැනක් බවට පත් කරගෙන තියෙනවා. අවුරුදු 12ට අඩු අයට මුදල් අය කරන්නේ නැහැ. අවුරුදු 12ට වැඩි අයගේ ඉදලා සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය පවුම් 6ක් වගේ අය කරනවා ටිකට් එකකට. මුදල් දීලා හරි මේක බලන්න යන්න ගොඩක් අය පෙළඹිලා තියෙනවා. මොකද ලැබෙන දැනුම වගේම සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන දෙයක් මෙතන තියෙනවා කියලා කියන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් පැවසීය.














