ලාල් සරත් කුමාර: 'බැරි දෙයක් නැති' දැවැන්තයෙකුගේ 45 වසරක හඬ පෞරුෂය නිහඬ වෙයි

දශකයකට අධික කාලයක් සිරස FMහි සේවය කළ ඔහු එහිදී, නිවේදකයෙකු, ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු, හඬකැවීම් ශිල්පියෙකු, රූපවාහිනී නිවේදකයෙකු ආදී විවිධ භූමිකාවලට දායක විය.

ඡායාරූප මූලාශ්‍රය, Priyantha Wijesinghe

"ලාල් සරත් කුමාර කියන්නේ බැරි දෙයක් නැති සුවිශේෂී කලාකරුවෙක්. එයාට ගුවන් විදුලියේ ඩී.ජේ. වැඩ ත් පුළුවන්, නිෂ්පාදන වැඩ ත් පුළුවන්, හඬ කැවීම්වලට ත් දක්ෂ යි, රඟපාන්න ත් පුළුවන්. එයාට හැම දේ ම පුළුවන්," එසේ පැවසුවේ, ලාල් සරත් කුමාරගේ සමකාලීන ප්‍රවීණ ගුවන් ශිල්පියෙකු වූ රංජිත් ජයමහ ය.

එවන් දක්ෂතා ගොන්නකට හිමිකම් කී ලාල් සරත් කුමාර අඟහරුවාදා (අගෝ: 01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 69කි.

ගුවන් විදුලි ක්ෂේත්‍රයෙන් කලා ලොවට පිවිසි ඔහු ඊට සීමා වී නොසිටි අතර, රූපවාහිනී මාධ්‍යය ද ජය ගත්තේ ය.

1978 වසරේදී ගුවන් විදුලි ශිල්පියෙකු ලෙස සේවය ඇරඹූ ඔහුගේ වෘත්තීය දායකත්වය වසර 45කි.

ලාල් සරත් කුමාර පැමිණි ගමන්මග

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි කර්මාන්තයේ දැවැන්තයෙකු වූ නිමල් ලක්ෂපතිආරච්චි, ලාල් සරත් කුමාර සහ රංජිත් ජයමහ ගුවන් විදුලි ශිල්පීන් ලෙස සිය වෘත්තිය ඇරඹුවේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයන් ලෙස ය. ඒ, 1978 වසරේදී ය.

සහන නිවේදකයෙකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් සේවය කළ ලාල් සරත් කුමාර ඇතුළු පිරිසේ සේවය 1980 වසරේදී ස්ථිර කෙරිණි.

ඒ අනුව, ලාල් සරත් කුමාර ගුවන් විදුලි සංස්ථාවේ මැදිරිවල පටිගත කිරීම්, නිවේදන කටයුතු, වැඩසටහන් නිෂ්පාදනය පමණක් නොව හඬකැවීම්වල ද නිරත විය.

පසුව, ඔහු ගුවන් විදුලි සංස්ථාවේ සංවර්ධන අංශයට අනුයුක්ත කෙරුණු අතර, ඔහුට සහ රංජිත් ජයමහට පැවරුණු රාජකාරිය වූයේ, එවකට ජනාධිපතිවරයා සහභාගි වූ ගම්උදාව, ඇඟලුම් කම්හල් විවෘත කිරීම ආදී උත්සව ආවරණය කිරීම ය.

ඒ අතරතුර ලාල් සරත් කුමාර එම උත්සවවල රඟ දැක්වූ වේදිකා නාට්‍යවලට රංගන ශිල්පියෙකු ලෙස දායක විය.

1994 වසර ඔහුගේ වෘත්තිය ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් වූයේ, ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි කලාව උඩුයටිකුරු කළ නිමල් ලක්ෂපතිආරච්චි සමග සිරස FM සේවයට එක්වීම හේතුවෙනි.

දශකයකට අධික කාලයක් සිරස FMහි සේවය කළ ඔහු එහිදී, නිවේදකයෙකු, ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු, හඬකැවීම් ශිල්පියෙකු, රූපවාහිනී නිවේදකයෙකු ආදී විවිධ භූමිකාවලට දායක විය.

ඔහු එහි සහකාර කළමනාකාරවරයෙකු ලෙස කටයුතු කළේ ය.

පසුව ඔහු මැක්ස් FM සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාර ධූරයට පත් විය.

ඉන්පසු, ඉන් ඉවත්වූ ලාල් සරත් කුමාර නිදහස් කලාකරුවෙකු ලෙස හඬකැවීම් ශිල්පියෙකු මෙන් ම ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ද කටයුතු කළේ ය.

දශකයකට අධික කාලයක් සිරස FMහි සේවය කළ ඔහු එහිදී, නිවේදකයෙකු, ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු, හඬකැවීම් ශිල්පියෙකු, රූපවාහිනී නිවේදකයෙකු ආදී විවිධ භූමිකාවලට දායක විය.

ඡායාරූප මූලාශ්‍රය, Priyantha Wijesinghe

ඡායාරූප ශීර්ෂ වැකිය, දශකයකට අධික කාලයක් සිරස FMහි සේවය කළ ඔහු එහිදී, නිවේදකයෙකු, ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු, හඬකැවීම් ශිල්පියෙකු, රූපවාහිනී නිවේදකයෙකු ආදී විවිධ භූමිකාවලට දායක විය.

විශිෂ්ට ප්‍රවෘත්ති නිවේදකයා

ගැඹුරු හඬ පෞරුෂයකට හිමිකම් කී ලාල් සරත් කුමාර විශිෂ්ට ප්‍රවෘත්ති නිවේදකයෙකු වූයේ, හඬ පෞරුෂය නිසා පමණක් නොවේ, නිවැරදි උච්චාරණයන්ගෙන් සමන්විත ඔහුගේ විශිෂ්ට ඉදිරිපත් කිරීම නිසා ය.

"ලාල්, ප්‍රවෘත්ති කියද්දී පිටපත අරගෙන කෙලින් ම මැදිරියට ගිහින් කියෙව්වේ නෑ. ඔහු ප්‍රවෘත්ති සංස්කාරක ළඟ ගිහින් ඔහු ත් එක්ක ඉඳගෙන ප්‍රවෘත්ති පිටපත් ඔක්කොම කියවනවා. සැක තැනක් ආවොත් සංස්කාරකගෙන් අහනවා. සමහර වචන ප්‍රවීණයන්ගෙන් අහලා හරියට උච්චාරණය කරන හැටි දැන ගන්නවා. එයා ප්‍රවෘත්ති වරද්දන්න කැමති වුණේ නෑ. 100%ක් නිවැරදිව ප්‍රවෘත්ති කියවන්න ඕන කියන අදහසේ තමයි එයා හිටියේ. ඒ නිස යි එයා විශිෂ්ට ප්‍රවෘත්ති නිවේදකයෙක් වුණේ," රංජිත් ජයමහ පැවසීය.

රංජිත් ජයමහ ප්‍රකාශ කළේ, ලාල් සරත් කුමාර පසුකාලීන ශිල්පීන් රැසකට සිය දැනුම බෙදා දුන් බව ය.

විශිෂ්ට හඬකැවීම් ශිල්පියා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හඬකැවීම් ශිල්පියෙකු ලෙස ද ලාල් සරත් කුමාර අනන්‍යතාවක් ගොඩනගාගෙන තිබිණි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා රැසක කාටූන්, විදෙස් චිත්‍රපට, විදෙස් ටෙලිනාට්‍ය ආදියෙහි දැවැන්ත හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු සිය දක්ෂතාව තහවුරු කර තිබිණි.

ඔහු හඬකැවීමෙන් ජීවමාන කළ චරිත අතර සූරපප්පා කාටූන් මාලාවේ සීසර් සහ අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍යයේ චානක්‍ය කැපී පෙනේ.

ඊට අමතරව, ගුවන් විදුලි රඟමඩල, ෂර්ලොක් හෝම්ස් ආදියෙහි චරිත රැසකට හඬකැවීමෙන් දායක විය.

ඔහුගෙන් ගුරුහරුකම් ලැබූ පසුකාලීන දක්ෂ හඬකැවීම් ශිල්පියෙකු වන අතුල ජයසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ, ලාල් සරත් කුමාර යනු "වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මනුස්සකම් පෙරදැරි කර ගත් විශිෂ්ට කලාකරුවෙකු බව ය.

"තඹුත්තේගම වගේ ඈත ප්‍රදේශයක ඉපදුණු මට ගුවන් විදුලියෙන් අහල තිබුණ ලාල් සරත් කුමාරගේ කටහඬ අතිශය දැවැන්ත යි. පසුව මම කොළඹට ආවට පස්සේ මට ඔහු මුණගැසුණා ම ඔහු ගැන මගේ හිතේ තිබුණ ප්‍රතිරූපය තව ත් වැඩි වුණා. ඔහු අප වැනි නවකයින්ට ගොඩක් ගුරුහරුකම් දුන්නා. ඒ වගේ ම ඔහුගේ මම දැක්ක සුවිශේෂී ම ගුණාංගය තම යි නිහතමානීකම. ඔහු කාට ත් ඉතා ම ආදරණීය විදිහට සැලකුවා," අතුල ජයසිංහ පැවසීය.

අවසාන වශයෙන් ලාල් සරත් කුමාරගේ සමකාලීනයෙකු වූ රංජිත් ජයමහ මෙසේ පැවසීය.

"ඔහුට ගැස්ට්‍රයිටිස් තිබුණා. තව පොඩි පොඩි අසනීප ටිකක් තිබුණා. ඒත් ඔහු ඒවා ගැන තැකීමක් කළේ නැහැ. හරි ම විනෝදෙන් හිටියේ හැම තැනකදී ම. ඔහුගේ වියෝව අදහගන්න ත් බෑ."