'මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ': කැසට් පට ගීත යුගය වර්ණවත් කළ නිහාල් නෙල්සන් ජීවන වේදිකාවට සමුදෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Nihal Nelson|Facebook
වේග රිද්ම ගීත කලාව නව මානයකට රැගෙන ගිය ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අද (දෙසැම්බර් 13 වැනිදා) උදෑසන අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 76 කි.
ශ්‍රී ලාංකීය වේග රිද්ම ගීතයේ රජු..!
නිහාල් නෙල්සන් වාර්තා අතරට එක්ව සිටියේ වැඩිම කැසට් පට සංඛ්‍යාවක් එළිදැක්වූ ගායන ශිල්පියා ලෙසය.
ඔහු එළිදක්වා ඇති කැසට් පට ගණන 113 කි.
මෙරට ප්‍රසංග වේදිකාවට නැතිවම චරිතයක් වු නිහාල් නෙල්සන් සමාජයේ කතා බහට ලක්වු මෙන්ම අඳුරු පැතිකඩ විදහා දක්වන තේමාවන් මුල් කරගනිමින් ගීත ගායනා කිරීම හේතුවෙන් වඩාත් ජනාදරයට පාත්‍රවිය.
1978 දී ‘ගුණේ අයියගේ කාමරේ’ සමඟින් ඔහු පළමු කැසට් පටය එළි දක්වනු ලැබීය.
එවකට කැසට් පටයක් නිකුත් කළ ශ්‍රී ලාංකේය ගායන ශිල්පීන් අතර ඔහු දෙවැනි ස්ථානයේ පසු විය. සංයුක්ත ගී තැටියක් නිකුත් කළ පළමු ගායන ශිල්පීන් අතරට නිහාල් නෙල්සන් ද එක්විය.
තමාටම අනන්‍ය වූ ශෛලියකින් ප්‍රසංග වේදිකාවට ප්‍රවිශ්ට වූ ඔහු, ප්‍රසංග වේදිකාවේ අපරාජිත තරුවක් ලෙස සැලකෙයි.
දශක 6කට අධික කාලයක් ප්‍රසංග වේදිකාව තුළ වැජබී සිටිමට ඔහුට හැකි විය.
1946 ජනවාරි 9 වැනිදා මොරටුවේ උපන් නිහාල් නෙල්සන් පාසල් වියේ සිටම ගායනයට දක්ෂතා ප්‍රදර්ශනය කළේය. මොරටුව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු 1963 වසරේදී ලස්සනට පිපුණු වන මල් ගීතය තුළින් ගායන ලෝකයට ප්‍රවිශ්ට විය.
1963 මාර්තු 31 වන දින දහවල් 12.20ට එවකට ගුවන් විදුලියෙන් ‘ලස්සනට පිපුණු වනමල්' ගීය මුල්වරට ප්‍රචාරය කරමින් එවකට කරුණාරත්න අබේසේකර විසින් මුල්වරට නිහාල් නෙල්සන්ව හඳුන්වාදුන් අවස්ථාවේදී “ඔබට මම අද ගෙනාව මල් වෙඩිල්ලක්. මල් ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වීසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ" යනුවෙන් පැවසු බව කියවේ.

ඡායාරූප මූලාශ්‍රය, Tharindu Uduwaragedara| Facebook
ඔහු ගායනා කළ “සල්ලි මිටි ගණන්, කිරි දුන්නේ දරුවන්ටයි” වැනි ගීත සමාජයට දැඩි බලපැමක් එල්ල කළ හැකි ගීත බවට පත්විය. ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගී පද රචකයෙකු ලෙස ඔහු මෙරට සංගීත කේෂත්‍රයට අතිවිශාල මෙහෙවරක් ඉටු කරනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, Nihal Nelson| Facebook
ඔහු ගායනා කළ ගීත සංඛ්‍යාව සිය ගණනකි.
නෙල්සන් බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ ප්‍රථම පසුබිම් ගායනය පෙම් කුරුල්ලෝ චිත්‍රපටිය තුළින් වාර්තා අතරට එක්විය.
සක්විති සුවය, ලෝක හොරු,හරි යනකොට ඔහොම තමයි, සඳ වට රන්තරු, ලොකු තාත්තා, මල් වරුසා, වාලම්පුරි, දියමන්ති යන චිත්‍රපටවලට ද ඔහු පසුබිම් ගායනයෙන් දායක විය.

ඡායාරූප මූලාශ්‍රය, ඉයන්න| Facebook Page
කෙතරම් නව ගීත එළි දැක්වුවත්, නිහාල් නෙල්සන් ගායනා කළ ගීත අදටත් ප්‍රසංග වේදිකාවක, සාදයක, විනෝද චාරිකාවකදී නිතැතින්ම මතකයට නැගෙන්නේ එම ගීත එතරම්ම මෙරට සංගීත ලෝලීන්ගේ සිත්තුළ කාවැදී පැවතීම හේතුවෙනි.
නිහාල් නෙල්සන් ජීවන වේදිකාවට සමුදෙනු ලැබුවද ඔහු ගායනා කළ ගීත ප්‍රසංග වේදිකාව තුළ සදා අමරණීය වනු ඇත.











