ලෙස්ටර්ගෙන් පසු කාන් සිනමා උළෙලේ ජූරි සභාවකට ශ්‍රී ලාංකිකයෙක්

සංජීව පුෂ්පකුමාර

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රංශයේ කාන් සිනමා උළෙලට සමාගාමීව පැවැත්වෙන සිනමා ව්‍යාපෘතියක ජූරි සභිකයෙකු ලෙස සම්මානනීය ශ්‍රී ලාංකික සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර තෝරාගෙන තිබේ.

කාන් සිනමා උළෙලේ ජූරි සභාවකට ආරාධනා ලැබූ දෙවන ශ්‍රී ලාංකික සිනමාකරුවා වන්නේ, ඔහු ය.

මීට පෙර 1992 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කාන් සිනමා උළෙලේ ප්‍රධාන කාණ්ඩයක් වන වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩයේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළේ ය.

"ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇත්තට ම සාමාජිකත්වය දැරුවේ ප්‍රධාන කාණ්ඩයේ ජූරි සභාවක. ඒක මගේ කාණ්ඩයට වඩා වෙනස්. ඒක ප්‍රධාන ජූරියක්. නමුත් මේක ශ්‍රී ලාංකිකයෙකු ලෙස මට ලැබුණු වටිනා අවස්ථාවක්," සංජීව පුෂ්පකුමාර බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙත ත්, කාන් සිනමා උළෙලේ ජූරි සභාවක මෙතෙක් සාමාජිකත්වය හිමි වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සංජීව පුෂ්පකුමාර යි.

ඒ අනුව, කාන් සිනමා උළෙලේ එවන් ගෞරවයක් ශ්‍රී ලංකාවට මෙවර හිමි වී ඇත්තේ, වසර 21කට පසුව ය.

කාන් සිනමා උළෙලේ සංජීවගේ කාර්ය භාරය

ප්‍රංශයේ පැවැත්වෙන 76 වන කාන් සිනමා උළෙලේ Cannes Residence Pitching Jury මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සංජීව පුෂ්පකුමාර තෝරාගෙන තිබේ.

එහි සෙසු සාමාජිකයින් වන්නේ, බර්ලින්, කාන් සහ ලොකාර්නෝ සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍ර වූ ඊශ්‍රායෙල් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ නඩාව් ලපීඩ් (Nadav Lapid) සහ ප්‍රංශ ජාතික චිත්‍රපට නිෂ්පාදිකාවක වන ජූලී පරාතියන් (Julie Paratian) ය.

කාන් සිනමා උළෙලේ නේවාසික චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහ අප්‍රිකානු, කැරිබියානු සහ පැසිෆික් කලාපයේ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ නිර්මාණය කිරීමට නියමිත ප්‍රථම සහ දෙවන චිත්‍රපට ව්‍යාපෘති අතරින් හොඳ ම ව්‍යාපෘතිය තෝරා ගැනීම සංජීව ඇතුළු ජූරි සභාවට පැවරී ඇති වගකීම යි.

මැයි මස 16 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වෙන කාන් සිනමා උළෙලට සමගාමීව මෙම ව්‍යාපෘති ඉදිරිපත් කිරීම සිදු කෙරේ.

ලෙස්ටර්ගේ භූමිකාව සංජීව දකින හැටි

"ලෙස්ටර් තමයි කාන් සිනමා උළෙලේ ප්‍රධාන ජූරියකට ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා සහ දකුණු ආසියාතිකයා. ඉන්පසු කාන් සිනමා උළෙලේ කුමන හෝ ජූරියකට ශ්‍රී ලාංකිකයෙකුට ඇරයුම් ලැබුණේ මේ වතාවේ තමයි. ඒ නිසා මේක ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් වැදගත් දෙයක්. හැබැයි මම කියන්නේ නෑ ලෙස්ටර්ගේ තැන මට ලැබුණා කියලා," සංජීව පුෂ්පකුමාර පැවසීය.

"Le Domaine" Photocall At The 56th International Cannes Film Festival

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2003 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් 56 වැනි කාන් සිනමා උළෙලට සහභාගීවූ අයරු

කවුද මේ සංජීව පුෂ්පකුමාර?

සංජීව පුෂ්පකුමාර 1977 වසරේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කන්තලේ ප්‍රදේශයේ උපත ලැබූවෙකි.

2005 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය හිමි කර ගත් සංජීව, 2008 වසරේදී ජන සන්නිවේදනය විෂය යටතේ සිය ශාස්ත්‍රපති උපාධිය නිම කළේ ය.

ඔහුගේ සිනමා ආගමනය සිදුවූයේ, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මෙහෙයවන ලද චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව ය.

ගුවන් විදුලි නිවේදකයෙකු, පුවත්පත් කලාවේදියෙකු සහ ඉන්පසු රූපවාහිනී නිවේදකයෙකු ලෙස සේවය කළ සංජීව පුෂ්පකුමාරට 2007 වසරේදී චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ ඉගෙනීමට දකුණු කොරියාවේ සංස්කෘතික සහ සංචාරක අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබිණි.

මේ වන විට ඔහු දකුණු කොරියාවේ Chung-Ang විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටී.

Peacock Lament

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ'විහඟ ප්‍රේමය' (Peacock Lament) 35 වන ටෝකියෝ සිනමා උළෙලේදී හොඳ ම කලාත්මක දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය

සංජීවගේ සිනමා නිර්මාණ

'ඉගිළෙන මාළුවෝ' (Flying Fish) චිත්‍රපටයෙන් වෘත්තාන්ත චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ඔහු එම සිනමා නිර්මාණය වෙනුවෙන් ජාත්‍යන්තර රොටර්ඩෑම් සිනමා උළෙලේදී හ්‍යුබර්ට් බාල්ස් මූල්‍ය ප්‍රතිපාදන ත්‍යාගය දිනා ගත්තේ ය.

ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වූ 'දැවෙන විහඟුන්' (Burning Birds) චිත්‍රපටය බූසාන් සිනමා උළෙල නියෝජනය කළේ ය.

'දැවෙන විහඟුන්'

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

තෙවන නිර්මාණය වූ 'විහඟ ප්‍රේමය' (Peacock Lament) 35 වන ටෝකියෝ සිනමා උළෙලේදී හොඳ ම කලාත්මක දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.