සිංහල සිනමාව: කුලී වැඩ කර උපයන ආදායමින් 'සිනමා කෞතුකාගාරයක්' පවත්වාගෙන යන ෂෙල්ටන්

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

කොළඹ 02, ඩබ්ලිව් ඒඩී රාමනායක මාවතේ ගොස් හුණුපිටිය හරස් මාර්ගයට හැරුණු විට හමු වන මාර්ගයේ දකුණු පස පිහිටි සියඹලා ගසක් යට අපූරු කුටියක් තිබේ.

එහි සුවිශේෂත්වය වන්නේ, එම කුඩා කුටිය තුළ සිනමාවේ අතීතය විදහාපාන එක්තරා ආකාරයක සිනමා කෞතුකාගාරයක් පැවතීමය.

වයස අවුරුදු 66ක් වන එහි හිමිකරු ෂෙල්ටන් පෙරේරා සිංහල සිනමාව යම් පසුබෑමක පවතින මොහොතක කිසිදු ආදායමක් හෝ ප්‍රතිපාදනයක් නොමැතිව අතීත සිනමාව අනාගත පරපුරට හඳුන්වා දීමේ කාර්යයක නිරතව සිටී.

"මට බඩගින්නට කන්න කෑම නැත්නම් මේ ෆොටෝ එකක් බලල වතුර ටිකක් බිව්වා ම බඩ පිරෙනවා," ෂෙල්ටන් පෙරේරා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

BBC

රන් මුතු දූව

ෂෙල්ටන් පෙරේරාට සිංහල සිනමාව පිළිබඳ ඇල්මක් ඇති වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන ලෝක ප්‍රකට විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක්ගේ නිෂ්පාදන දායකත්වයෙන් යුතුව නිර්මාණය වූ 'රන් මුතු දූව' චිත්‍රපටය නැරඹීමෙන් පසුවය.

ඔහු සිනමා රසිකයෙකු පමණක් නොවේ. සිනමාව සමග සම්බන්ධ වීමට ෂෙල්ටන් පෙරේරාට තවත් හේතුවක් බලපෑවේය. එවක වික්ටෝරියා උද්‍යානය ලෙස හැඳින්වූ කොළඹ විහාර මහා දේවී උද්‍යානයට එන සංචාරකයින් වෙනුවෙන් යෙදවූ අශ්වයින් අයත්ව තිබී ඇත්තේ, ඔහුගේ පියාටය.

ඒ අනුව ඔහු දක්ෂ අසරුවෙකු වූ අතර ජාතික හැඳුනුම්පතේ ඔහුගේ වෘත්තිය වශයෙන් සඳහන් වන්නේ, 'අසරුවා' යන්නය.

BBC
BBC

"තාත්තා, අයියා, මම ඔක්කොම අසරුවෝ. ඉස්සර චිත්‍රපටි හැම එකකට ම අශ්වයෝ දුන්නේ අපි. චිත්‍රපටි දර්ශනවල වේගයෙන් අශ්වයො පදවන්න ඕන තැන්වල නළුවා වෙනුවට මමයි රඟපෑවේ. ඒ වගේ ම සටන් ජවනිකාවල ප්‍රධාන නළුවාගෙන් ගුටි කන්නත් වුණේ අපිට," සිනමාව සමග පැවති සබඳතාව ගැන ෂෙල්ටන් කීවේ එසේය.

BBC

'සියඹලා ගහ යට කළූ'

ෂෙල්ටන් පෙරේරාට ඔහුගේ හිතවතුන් ආමන්ත්‍රණය කරන්නේ, 'සියඹලා ගහ යට කළූ' යනුවෙනි. ඒ, සියඹලා ගහ යට ඔහු පවත්වාගෙන යන 'සිනමා කෞතුකාගාරය' නිසා ඔහු ලැබූ ජනප්‍රියත්වයය.

මෙම කෞතුකාගාරයේ පැරණි චිත්‍රපට පෝස්ටර්, අත් පත්‍රිකා, සංයුක්ත තැටි, චිත්‍රපට සම්බන්ධයෙන් පළවූ පුවත්පත් ලිපි විශාල සංඛ්‍යාවක් පවතී. ඔහු මෙම කෞතුකාගාරයෙන් කිසිදු ආදායමක් නොලබයි. යමෙකු සිය කුටියට පැමිණ ඒවා නරඹා සිනමා තොරතුරු ගැන තමන්ගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම ඔහුගේ එක ම තෘප්තියයි.

BBC

"මට මේකෙන් කිසි ම ආදායමක් නෑ. මම වතුවල වැඩ කරලා හම්බ කරන සල්ලිවලින් වැඩි කොටසක් යන්නේ, මේ ලිපි ලැමිනේට් කරන්න. කීයක් ගියත් මම පත්තර ලිපි ලැමිනේට් කරනවා. නැත්නම් ඒවා සත්තු කාලා විනාශ වෙනවා."

"සති අන්තයේ බංගලා දෙකක වැඩ කරනවා"

ෂෙල්ටන් පෙරේරා සිය සියලු වියදම් පියවා ගන්නේ, කොල්ලුපිටියේ පිහිටි 'බංගලා දෙකක' සති අන්තයේ වතු වැඩ කිරීමෙනි. දින දෙකක් වැඩ කළ විට ඔහුට එක් නිවසකින් රු. 2000 බැගින් රු. 4000ක් ලැබේ. ඔහුගේ එක ම ආදායම එයයි. සතියේ ඉතිරි දින පහ ම ඔහු සිය කෞතුකාගාරය වෙනුවෙන් වැය කරයි.

"මෙතන කඩයක් දාගත්තා නම් මට සල්ලි හම්බ කරන්න තිබුණා. ඒ වගේ ම මේකෙ තියෙන ඒවා සල්ලිවලට ගෙනියන්න සමහර අය ඉල්ලනවා. ඒත් මම කැමති නෑ මම ආදරයෙන් එකතු කරපුවා විකුණං කන්න," ෂෙල්ටන් පෙරේරා එතරම් සිය වත්කමට ගරු කරයි.

සිංහල සිනමාවට වෙච්ච දේ

සිංහල සිනමාව කඩා වැටීමකට ලක්වීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස ඔහු දකින්නේ, ඊට සුදුසු ප්‍රධාන නළුවන් නොමැති වීමය.

"ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ වගේ හොඳ නළුවෝ රඟපාපු චිත්‍රපටි මම කොච්චර බලලා තියෙනවා ද? එක ම චිත්‍රපටිය හත් අට සැරයක් බැලුවා. දැන් ඒ වගේ නළුවො නෑ. සමහර චිත්‍රපටි බලන්න යනකොට හෝල් එකෙන් ගැලවිලා ඉවරයි," ඔහු පැවසීය.

Provided

ඡායාරූප මූලාශ්‍රය, Provided

කෙසේ වෙතත්, වත්මන් සිනමාවේ නළුවන් තිදෙනෙකුට ඔහු ගරු කරයි.

රන්ජන් රාමනායක, අර්ජුන් කමලනාත් සහ ජැක්සන් ඇන්තනි ඒ නළුවන් තිදෙනා ය.

"රන්ජන් ඉන්න චිත්‍රපටි ආසාවෙන් බලන්න පුළුවන්. එයා විතරයි නළුවෙකුට කියල ඉන්නේ. අර්ජුන් කමලනාත් විජය වගේ නිසා මම කැමතියි. ජැක්සන් ඇන්තනි දක්ෂ විදිහට රඟපානවා. එයා හරි දක්ෂ විදිහට මූණෙන් හැඟීම් පෙන්නනවා," ඔවුන්ට කැමති වීමට හේතු වූ කරුණු ෂෙල්ටන් ඉදිරිපත් කළේ එසේය.

"භාර දෙන්න සූදානම්"

රජයේ ආයතනයක් ඉදිරිපත් වී යම් ස්ථානයක් සකස් කිරීමට ඉදිරිපත් වන්නේ නම් සිය කෞතුකාගාරයේ ඇති සියලු සැමරුම් එම ආයතනයට භාර දීමට තමන් සූදානම් බව ෂෙල්ටන් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.

BBC

ඔහුගේ කුටියෙහි ලෑල්ලක් මත අලවා ඇති දැන්වීමක සඳහන් කර ඇත්තේ, තමා මිය ගිය පසු එහි ඇති සියලු දේ ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුර රත්නායකට භාර දෙන ලෙසය.

"මේවා මං වගේ ලස්සනට ප්‍රදර්ශනය කරන, මටත් ගිහිං බලන්න පුළුවන් තැනකට භාර දෙන්න මං අද වුණත් කැමතියි."

එම විශේෂ කෞතුකාගාරය නැරඹීමට පැමිණ සිටි නිමල් චන්ද්‍රසිරි බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන් මෙම කෞතුකාගාරය දැකීමෙන් "පුදුමයට පත් වූ" බවය.

"මේක ඉතා ම හොඳ දෙයක්. මේ වගේ දෙයක් කළ නිසා අනාගත පරම්පරාවට සිංහල සිනමාව ගැන ඉගෙන ගන්න හැකියාවක් ඇති වෙනවා. මේක අගය කළ යුතු දෙයක්," නිමල් චන්ද්‍රසිරි පැවසීය.