ජනපති බුද්ධගයාව වැඳ පුදා ගනී

ඡායාරූප මූලාශ්‍රය, PMD
ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (දෙසැම්බර් 17 වැනිදා) පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ මහා විහාරයත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.
ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් පූජ්‍ය පැලවත්තේ සීවලි ස්වාමීන්වහන්සේ සහ සාරනාත් මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපතිවරයාට ආශිර්වාද කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ඡායාරූප මූලාශ්‍රය, PMD
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලි නුවර දී (දෙසැම්බර් 16 වැනිදා) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.
ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් පැවති මෙම සාකච්ඡාවේදී ඩිජිටල් ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ඒ අනුව දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
මෙහිදී ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.
ජනපතිගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පොරොන්දු වී තිබේ.
ඉන්දීය අග්‍රමාත්‍යවරයා සමග අද (දෙසැම්බර් 16 වැනිදා ) ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
"ඉන්දියාවේ ආරක්ෂාවටත්, කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට පොරොන්දු වුණා. සහතික වුණා." ජනාධිපතිවරයා පැවසීය.
ඔහු කියා සිටියේ, "එළඹෙන් වසර ගණනාව තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට කිසිදු සැකයක් නැති ඉන්දියාව සමග ඇති සහයෝගීතාවය අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරනවා."
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කළ බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මෙහිදී සිය සතුට පළ කළේය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග "සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණය"පිළිබඳව සාකච්ඡා කළ බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජය දෙමළ ජාතීන්ගේ අභිලාෂයන් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
අද්විතීය ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව සහයෝගයෙන් කටයුතු කරන බව ද අගමැති මෝදි මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉන්දියාවේ ශක්තිමත් සහයෝගය ලබා දෙන බව ඉන්දීය අගමැතිවරයා සිය ප්‍රකාශයේදී අවධාරණය කළේය.
සාම්පූර් හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව එහි ධාරිතාව තවදුරටත් වැඩි කිරීම, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ස්වභාවික ද්‍රව ගෑස් සැපයීම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතා විදුලි ජාල අන්තර් සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීම, සත්ත්ව හා වෘක්ෂලතා ඇතුළු පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පෝක් සමුද්‍ර සන්ධියේ අක්වෙරළ සුළං බල ශක්තිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම වැනි කරුණු ගැනද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර සාකච්ජා පවත්වා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය හරහා වසර පහක කාලයක් තුළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු හරහා ශ්‍රී ලාංකික සිවිල් සේවකයන් 1500කට කේන්ද්‍රගත පුහුණුවක් සංවිධානය කිරීමට එකඟ වි තිබේ.
ඉන්දිය - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) දෙරට අතර වෙළඳ හවුල්කාරිත්වය වැඩිදියුණු කර ඇති බවත්, ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ වේගය සහ අවස්ථාවන් අවධාරණය කරමින් වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට විශාල හැකියාවක් ඇති බව දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවධානයට යොමු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හවුල් ආරක්‍ෂක අවශ්‍යතා හඳුනා ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ විනිවිදභාවය මත පදනම් වූ නිරන්තර සංවාදයේ වැදගත්කම සහ එකිනෙකාගේ ආරක්‍ෂක අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම රාජ්‍ය නායකයන් දෙදෙනාම අවධාරණය කළ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ට්‍රපති භවන්හීදී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (දෙසැම්බර් 16 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක , අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගනු ලැබිණි. අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.
ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවයට රාජ්‍ය තාන්ත්‍රකයෝ රැසක් එක්ව සිටියහ.
පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාජ්ඝාට්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක අමුත්තන්ගේ පොතේ ද අත්සන් තබනු ලැබීය.
අද (16) දිනයේ දී පළමුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව අද රාත්‍රියේ පැවැත්වේ.
එසේම අද දිනයේදී ජනාධිපතිවරයා ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සහ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන්, සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී නද්දා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
තවද ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ මෙරට ආයෝජන සිදු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ.
ජනපති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි

ඡායාරූප මූලාශ්‍රය, PMD
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවිය.
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එසේම ඉන්දියානුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද සාකච්ඡා විය.

ඡායාරූප මූලාශ්‍රය, PMD
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරැදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙරට සංචාරක, ආයෝජන සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය ඒකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්.ජයිශංකර් මෙහිදී කියා සිටියේය.
ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
ඉන් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, PMD
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව ප්‍රථම විදෙස් සංචාරය ලෙස (දෙසැම්බර් 15 වැනිදා) පස්වරුවේ අසල්වැසි ඉන්දියාව බලා පිටත්ව ගියේය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.
ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
මෙහි දී ඉන්දීය අගමැති හමු වී එකඟතා කිහිපයකට ද එළඹීමට නියමිත බවත් මෙම සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු ම මුණ ගැසීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙයි.
නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා විය.
ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන් , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා ව පිළිගනු ලැබූහ.
දෙරට අතර ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දිල්ලි නුවර පැවැත්වෙන ව්‍යාපාරික උත්සවයකට සහභාගිවීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරයා, බුද්ධගයාවේ සංචාරය කිරීමට ද නියමිතව ඇත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය දෙරට අතර බහුවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම සංචාරයේ දී දෙරට ඇති කරගන්නා ගිවිසුම් සහ තීන්දු තීරණ සම්බන්ධයෙන් සංචාරයෙන් පසුව දෙරට විසින් නිකුත් කරනු ලබන ඒකාබද්ධ නිවේදනයක් හරහා දැනුවත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස දෙසැම්බර් 11 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, PMD
පළමුවෙන් සුබ පැතු ඉන්දියාව
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මෙන්ම මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව ජනපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ සුබ පැතුම් පළ කළ මුල්ම රාජතාන්ත්‍රික නියෝජිතයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ය.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණි පළමු විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ය.
එම හමුවේ දී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ද ඉන්දීය විදේශ ඇමැතිවරයා ආරාධනා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, MFA
'අපි ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නෙමෙයි'
ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නොවී ලෝකයත් සමග සාමූහිකව ඉදිරියට යා යුතු බව ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව ජාතිය ඇමතූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අවධාරණය කළේය.
"අපි ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නෙමෙයි. ලෝකයත් එක්ක සාමූහිකව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න අපි කිසිසේත් ම පැකිළෙන්නේ නැහැ,"
ජනපති වීමට පෙර ඉන්දියාවට ගිය ගමන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමට පෙරත් මේ වසරේ පෙබරවාරි මාසයේ ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත විය.
එම සංචාරයට එවක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු තිදෙනෙකු එක්වු අතර එය දින 05ක සංචාරයකි.
එම සංචාරයේ දී ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හා අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුවිය.
ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බව හමුවෙන් අනතුරුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහන් කර තිබුණි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාට අමතරව අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස එරට ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයාත්, ගුජරාට් සහ කේරළ ප්‍රාන්තවල දේශපාලනකයින් ඇතුළු පිරිසක් හමුවී තිබුණි.
"ඉන්දියාවෙන් ආරාධනා කරනකොට බලය බැලුවා නම් ජනාධිපති අපි නෙවෙයි. අගමැති අපි නෙවෙයි. කැබිනට් මණ්ඩලය අපි නෙවෙයි. පාර්ලිමේන්තුවේ ලොකු කණ්ඩායම අපි නෙවෙයි. විපක්ෂය අපි නෙවෙයි. පාර්ලිමේන්තුවේ අපි තුනයි. හැබැයි, එන්න කියනවා අපිට. ඇයි ඒ? බලය කොතන ද? බලය තියෙන්නෙ ජනාධිපති ගාව ද? බලය තියෙන්නෙ කැබිනට් මණ්ඩලයෙ ද? බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට ද? නෑ. බලය තියෙන්නෙ ජනතාව ගාව. ජනතාව වඩාත් වැඩියෙන් පොදු බැඳගෙන එන්නෙ කාට ද? අන්න එතන තමයි බලය. ඒක තමයි ඉන්දියාව මැනපු බලය."
ඉන්දීය සංචාරය අවසන් කර පෙරළා දිවයිනට පැමිණ දින කිහිපයකට පසුව පැවති ජන හමුවක දී එවක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය සංචාරය ගැන පැහැදිලි කරමින් කියා සිටියේය.
ජවිපෙ ඉන්දීය විරෝධය
ජාතික ජන බලවේගයේ ප්‍රධානතම කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම විටින් විට ඉන්දීය විරෝධි ප්‍රතිපත්තියක් දැරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
1987 ජූනි 3 ඉන්දීය ගුවන් ආක්‍රමණයත්, බෝට්ටුවලින් යාපනයට ආහාර හා ඖෂධ තොගයක් එවීමෙන් පසුව "ඉන්දියාව ගුවනින් පරිප්පු දැම්මා. ඊළඟට ගොඩබිමින් ඇවිත් ලංකාව ආක්‍රමණය කරනවා'' යැයි ජවිපෙ අනතුරු ඇඟවීය.
එමෙන් ඉන්දු - ලංකා ගිවිසුම ඇතුළු දෙරට අතර ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගට ම විරෝධය පළ කිරීම එම පක්ෂය ඉන්දීය විරෝධී මතයක් දැරූ බවට සාක්ෂි දරයි.














