ජනපති අනුරගේ ආණ්ඩුව තානාපතිවරුන් පිරිසක් යළි කැඳවූයේ ඇයි?

- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල් සඳහා පත්කර ඇති තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අතුරින් 15 දෙනෙක් වහාම දිවයිනට කැඳවීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඒ, ජනාධිපති ලේකම්වරයාගේ නියෝගය අනුවය.
එම නියෝගයට අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් එම තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් නැවත දිවයිනට කැඳවීමට ලිපි නිකුත් කර ඇතැයි බීබීසී සිංහල කළ සොයා බැලීමකදී අනාවරණය විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තානාපතිවරු පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය.
ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන තානාපතිවරු හෝ දේශපාලන හිතවත්කම්, නෑ හිතවත්කම් මත පත්කර යවන ලද විදෙස් තානාපති කාර්ය මණ්ඩල නැවත කැඳවීමට පියවර ගන්නා බව වත්මන් රජය මීට පෙර අවධාරණය කළේය.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, දේශපාලන හිතවත්කම් හා ඥාති සංග්‍රහය මත පත්කර යවන ලද නිලධාරීන්ගේ ලැයිස්තුවක් ඉදිරියේදී එළිදක්වන බව ය.
මෙම තානාපතිවරුන් පිරිස යළි දිවයිනට කැඳවීමට පියවර ගෙන ඇත්තේ එම පසුබිම තුළ ය.
කෙසේවෙතත්, කැඳවනු ලැබූ රාජ්‍යතාන්ත්‍රිකයින් අතරට, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු හෝ විශ්‍රාම ගොස් යළි පත්වීම් ලද නිලධාරීහු ද සිටිති.
‘චෝදනා පිළිබඳ විමර්ශනය කරනවා’
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ මෙම තානාපතිවරුන් සිය කාර්යයන් නියමිත පරිදි ඉටු කර තිබේ ද යන්න පිළිබඳව ඇගයීමක් කරන බවය.
“දේශපාලන පත්වීම් ලබා දීලා තියෙන තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු කැඳවන්න අපි තීරණය කළා. දෙසැම්බර් 1 වැනිදා වෙනකාට ලංකාවට එන්න කියලා තමයි අපි දැනුම් දීලා තියෙන්නේ. ඒ වගේ ම විදේශ තානාපති කාර්යාලවල දේශපාලන පත්වීම් ලබපු, හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරුගේ පුතාලා, භාර්යාවෝ, දුවලා, ඥාතීන් ප්‍රමාණයකුත් ඉන්නවා. ඒ අයටත් අපි දැනුම් දීලා තියෙනවා, වහා ම මාසයක් ඇතුළත ලංකාවට එන්න කියලා.”
“දැනට නැවත කැඳවීම තමා කරලා තියෙන්නේ. ඒ අයගේ කාර්යභාරය ගැන ඇගයීමක් කරනවා. තානාපති සේවයේ අදාළ කාර්ය මැනවින් ඉටුකළා ද නැද්ද කියලා හොයලා බලනවා.”
“සමහර අය ගැන චෝදනා ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී විභාග කරනවා.”
“සමහර තානාපතිවරු, මහ කොමසාරිස්වරු අසීමිත විදිහට වියදම් කරලා, නාස්තිකාර විදිහට රජයේ මුදල් අවභාවිත කරා කියලා චෝදනා තියෙනවා. තාම ඔප්පු කරලා නැහැ. ඔප්පු කරන තෙක් අපි විනය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නමුත් කැඳවීම කරනවා,” අමාත්‍ය විජිත හේරත් මාධ්‍ය වෙත පැවසීය.
ආපසු කැඳවා ඇති තානපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කවුද?
- රෝහිත බෝගොල්ලාගම - බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් (හිටපු විදේශ අමාත්‍ය)
- මොහාන් පීරිස් - නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත (හිටපු නීතිපති හා හිටපු අගවිනිසුරු)
- චිත්‍රාංගනී වාගීෂ්වර - ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ මහ කොමසාරිස් (හිටපු විදේශ ලේකම්)
- රොඩ්නි පෙරේරා - ජපානයේ ශ්‍රී ලංකා තානාපති (විදේශ අමාත්‍යංශෙය් හිටපු අතිරේක ලේකම්)
- අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ - ඉන්දුනීසියාවේ තානාපති
- එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් - මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් (හිටපු ගුවන් හමුදාපති)
- ක්ෂෙනුකා සෙනෙවිරත්න - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් (හිටපු විදේශ ලේකම්)
- අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර විජේගුණරත්න - පකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති
- මොහොමඩ් ෂාහිඩ් - ඉරානයේ ශ්‍රී ලංකා තානාපති
- එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුදර්ශන පතිරණ- නේපාලයේ ශ්‍රී ලංකා තානාපති (හිටපු ගුවන් හමුදාපති)
- බී.කනනාදන් - කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
- ශ්‍රීමාල් වික්‍රමසිංහ - සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස්
- අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උලුගේතැන්න - කියුබාවේ ශ්‍රී ලංකා තානාපති (හිටපු නාවික හමුදාපති)
- රංග ගුණවර්ධන - මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති
- උදය ඉන්ද්‍රරත්න - එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශ්‍රී ලංකා තානාපති
රාජපක්ෂ පාලන සමයේ විදේශ අමාත්‍ය ධූරය දැරූ රෝහිත බෝගොල්ලාගම මේවන විට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය දරයි. ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙකි.
හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්ද සමරසිංහ තවදුරටත් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරන අතර මොහාන් පීරිස් - නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධුරය දරයි. ඔහු හිටපු නීතිපතිවරයෙකු වන අතර රාජපක්ෂ පාලන සමයේ ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු අගවිනිසුරු ධුරයට පත් කෙරුණේ මොහාන් පීරිස් ය.
කැඳවන ලද පිරිස අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බිරිඳගේ සහෝදරයාවන ශ්‍රීමාල් වික්‍රමසිංහ ද වන අතර ඔහු සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය දරයි.ගෝඨාභය රාජපක්ෂ ජනපති සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරූ අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ ඉන්දුනීසියාවේ තානාපති ධූරය දරයි.
කැඳවා ඇති සෙසු තානාපතිවරු අතර හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු සහ විදෙස් සේවයෙන් විශ්‍රාම ලැබූ පිරිස් හා ව්‍යාපාරිකයෝ ද වෙති.
‘දක්ෂ යුද නිලධාරියෙක් වුණා කියලා තානාපතිවරයෙක් වෙන්න බැහැ’
කොළඹ විශ්වවිද්‍යාලයේ සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සසංක පෙරේරා බීබීසී සිංහල වෙත කියා සිටියේ, කිසිදු දේශපාලන පත්වීමක් කිරීම නුසුදුසු බව ය.
“යමෙක් දක්ෂ යුද නිලධාරියෙක් වුණා කියලා තානාපති වරයෙක් වෙන්න බැහැ නේ. මම ඒක දකින්නේ නුසුදුසු කමක් කියලා. ඒ විතරක් නෙමෙයි, විදේශ සේවයේම ඉදලා විශ්‍රාම ගත්ත අයත් යවන්න නරකයි.”
එමගින් සිදුවන හානි දායක තත්ත්වය ගැන ද ඔහු පැහැදිලි කළේ ය; “එහෙම යැව්වහම වෙන්නේ සේවයේ ඉන්න තරුණ සහ කණිෂ්ට නිලධාරීන්ට ඒ ස්ථානයට එන්න කාලය ලැබෙන්නේ නැහැ. අන්තිමට හුඟක් අයට විශ්‍රාම යන්න වෙන්නේ කවදාවත් තානාපති කෙනෙක් හෝ මහ කොමසාරිස්වරයෙක් වෙලා නෙවෙයි.
“හමුදා නිලධාරීන්ගේ වගකීම තියෙන්නේ යුද්ධ කරන්න. ඒගොල්ලෝ යුද්ධ කරලා ඉවර වුණා ම රිටයර් වෙලා අපි වගේ ම ගෙදර යන්න ඕනේ.”
“තරුණ අයට තියෙන අවස්ථාව නැතිවෙලා යනවා. ඉන්දියාව වගේ රටවල කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ,” සසංක පෙරේරා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ වෘත්තීමය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවා ද?
- මූලික උපාධිය
- ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත්වීම
- සම්මුඛ පරීක්ෂණය සමත්වීම (ව්‍යුහාත්මක)
බඳවා ගන්නා නිලධාරීන්ට යහපත් මහජන සබඳතා, පෞර්ෂත්වය, නායකත්ව කුසලතා මත ඉදිරියට යාමට අවස්ථාව පවතී. ඒ සඳහා ඔවුන් පහත දැක්වෙන සුදුසුකම් ද සපුරාලිය යුතුය.
- මව් බස සහ ඉංග්‍රීසි භාෂා දැනුම - දෙමළ හෝ වෙනත් විදේශීය භාෂාවල ප්‍රවීණතාව
- කාර්යක්ෂමතා කඩඉම් තුන සමත්වීම
- ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හෝ ඒ සමාන පශ්චාත් උපාධිය
බඳවා ගන්න නිලධාරීන් පළමුව විදේශ කටයුතු අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ නිලයට බඳවා ගැනෙයි. අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්ෂක, අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක ලේකම් හෝ ලේකම් ලෙස ඉහළට යාමේ හැකියාව පවතී.
එම නිලධාරීන් විදෙස් තානාපති කාර්යාලයකට හෝ මහ කොමසාරිස් කාර්යාලයක සේවයට යන්නේ නම්,
- තුන්වන ලේකම්
- දෙවන ලේකම්
- පළමු ලේකම්
- උපෙද්ශක
- අමාත්‍ය උපදේශක (Minister Counsellor) - මෙය කැබිනට් මණ්ඩලයට සම්බන්ධ ධූරයක් නොවන අතර තානාපති කාර්යාල නිලයකි.
- අමාත්‍ය (Minister) - මෙය කැබිනට් මණ්ඩලයට සම්බන්ධ ධූරයක් නොවන අතර තානාපති කාර්යාල නිලයකි.
- තානාපති හෝ මහ කොමසාරිස් යන නිලයන්ට පත්විය හැක.
සහකාර අධ්‍යක්ෂ නිලයට පළමුව බඳවා ගන්නා නිලධාරීන් විදේශ සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස බඳවා ගැනෙයි. එම ශ්‍රේණියේ වසර 10ක් සේවය කිරීමෙන් පසු ඔවුන් දෙවන ශ්‍රේණියට උසස් වීම් ලබයි.
දෙවන ශ්‍රේණියේ වසර 7ක් සේවය කිරීමෙන් පසු, පළමු ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස පත්වීම් ලැබිය හැකිය.
වසර 17කට පසුව එම නිලධාරීන්ට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයකට හෝ විදෙස් තානාපති කාර්යාලයක සේවය කරන්නේ නම්, අමාත්‍ය (Minister) නිලයට පත්විය හැකිය.
තවත් වසර 5ක් සේවය කිරීමෙන් පසු ඔවුන්ට විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස පත්වීම් ලැබීමේ අවස්ථාව පවතී.
‘දේශපාලන පත්වීම් බරපතළ ගැටලුවක්’
සසංක පෙරේරා කියා සිටියේ, විදේශ සේවය තුළ දේශපාලන පත්වීම් බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව පැහැදිලිව තේරුම් ගත යුතු බව ය.
දේශපාලන අනුග්‍රහය මත, කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයන් තානාපති කාර්යාලවලට පත් කිරීම නිසා, ගෝලීය මට්ටමින් ගැටලු මතුවන විට රටේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීමේ හැකියාව ඇති නිලධාරීන් ලෝකයේ ප්‍රධාන නගරවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සිටින්නේ ඉතා සුළු වශයෙන් බව ද ඔහු පෙන්වා දෙයි.
තවද, 'දේශපාලන හෙංචයියන් ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ යන දෙඅංශයේ ම තනතුරුවලට පත් කිරීම නිසා සිදු වී ඇත්තේ වෘත්තීය විදේශ සේවා නිලධාරීන්ගේ වෘත්තීය දියුණුව අනිසි ලෙස ප්‍රමාද කිරීමෙන් ඔවුන් පුද්ගලිකව ඉච්ඡාභංගත්වයට පත්වීම' බව ද ඔහු සඳහන් කළේය.
ජනපති දෙවරක් ඉන්දීය මහ කොමසාරිස් හමුවීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජනාධිපති අනුර කුමාර දිසානයක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අවස්ථා දෙකකදී කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවීම ද කොළඹ විශ්වවිද්‍යාලයේ සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සසංක පෙරේරා විවේචනයට ලක්කර සිටියේ ය.
"ජනාධිපති කෙනෙක් ඉන්දීය මහ කොමසාරිස්වරිස්ව ඔච්චර හමුවෙන්නේ මොනවටද? ඒකට අවසරවත් දෙන්න නරකයි. ඒ මහ කොමසාරිස් ම ඊට පස්සේ ගිහිල්ලා මිලින්ද මොරගොඩව හම්බ වුණා. මිලින්ද මොරගොඩයි අනුර කුමාරයි කියන්නේ එකම මට්ටමේ දෙන්නෙක්ද?" ඔහු විමසා සිටියේය.
"ජනාධිපති කෙනෙක් කියන්නේ ගෞරවාන්විත කෙනෙක්."
"අපේ මහ කොමසාරිස්ට ඔහොම ලේසියෙන් ඉන්දිය අගමැති මෝදිව හම්බවෙන්න පුළුවන් ද?"
“ජනාධිපතිගේ ජෝබ් එක නෙමේ තානාපතිලා හම්බ වෙන එක. ජූනියර් මිනිස්ටරස්ලා කරන්න ඕනේ ඒක.” සසංක පෙර්රා අවධාරණය කළේය.
සසංක පෙරේරා මීට පෙර වසර කිහිපයක් සේවය කළේ නවදිල්ලි නුවර ය.
“මිලින්ද මොරගොඩ ලංකාවේ තානාපති හැටියට මට කවදාවත් දැනුණේ නැහැ, ශ්‍රී ලාංකීය රට වැසියෙක් හැටියට. මට දැනුණේ ඔහු ඉන්දියාවෙන් පත් කරපු, ඉන්දියාව වෙනුවෙන් කතා කරන ලංකාවේ කාර්යාලයේ හිටපු තානාපති කෙනෙක් හැටියට,” ඔහු කියා සිටියේ ය.
ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටින්නේ භූ දේශපාලනිකව ඉතාමත් වැදගත් වූ කාල පරිච්ඡේදයක ය.
රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල දායකත්වයක් ලබා දෙනු ලැබුවේ චීනයයි. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඇතුළු ව්‍යාපෘති ඉන් කිහිපයකි.
2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වූ සමයේ ශ්‍රී ලංකාවේ පිහිටට පැමිණියේ අසල්වැසි ඉන්දියාව ය.
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ ඉන්ධන සඳහා ඩොලර් බිලියන 4කට අධික ආධාර ප්‍රමාණයක් ඉන්දියාව විසින් සපයන ලදි.
කොවිඩ් වසංගත සමයේ පළමුව ශ්‍රී ලංකාවට කොවිෂිල්ඩ් එන්නත් සැපයීමට ඉදිරිපත් වූයේ අසල්වැසි ඉන්දියාව ය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා IMF වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවිය යුතු අතර ඒ සඳහා ණය ප්‍රතිව්‍යුගතකරණය සාර්ථක කර ගැනීම සඳහා මෙම රටවල් දෙක පමණක් නොව ජපානය ප්‍රමඛ පැරිස් සමාජයේ සමාජික රටවල ද සහය ලබා ගැනීමට සිදුවනු ඇත.
ඉදිරියේදී කළ යුත්තේ කුමක් ද?
සසංක පෙරේරා පෙන්වා දෙන්නේ පැහැදිලිව ම මේ තත්ත්වය වෙනස් විය යුතු බව ය. ජාතික ජන බලවේගය රජයක් යටතේ මෙවැනි පත් කිරීම් නතර කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් ගත යුතු අනිවාර්ය හා මූලික තීරණයක් විය යුත්තේ, විදේශ සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන් ද ඇතුළුව සෑම තරාතිරමක ම සිටින සියලු ම දේශපාලන පත්වීම් ලැබූවන් අප්‍රමාදව නැවත කැඳවීම බව ඔහු පෙන්වා දෙයි.
ඔහු කියා සිටියේ විදේශ සේවා නිලධාරීන්ට නිසි පුහුණවක් සහ ඒ සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ය.
"වෘත්තීමය තත්ත්වය ඇති කළහොත් සම්බන්ධතා තියෙන පුද්ගලයෝ අපේ සේවයේ ඉන්නවා. ඒ වගේ අය යවන්නේ නැහැ."
අනාගතය ගැන සිතීමේදී, 2024 නොවැම්බර් 14 න් පසු පත්වෙන රජයට ප්‍රමාණවත් ජනතා සහයෝගයක් ලබා ගත හැකි නම්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ දේශීය තනතුරු හා තානාපති කාර්යාලවල කණිෂ්ඨ තනතුරු සඳහා පටු දේශපාලනික පදනම් මත පුද්ගලයින් පත් කිරීම නීතිමය වශයෙන් තහනම් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.














