දශක දෙකකට පසු ඊශ්‍රායලය බටහිර ඉවුරේ සිය විශාලතම හමුදා මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායල සන්නද්ධ හමුදා විසින් සිදු කරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස අත්පත් කර ගෙන ඇති බටහිර ඉවුරේ අවම වශයෙන් පලස්තීනුවන් නව දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
"ත්‍රස්ත විරෝධී මෙහෙයුමක්" ලෙස හඳුන්වා, ඊශ්‍රායලය විසින් නගර හතරකට හමුදා යවනු ලැබ ඇත.
එය පසුගිය වසර 20 තුළ ඊශ්‍රායලය බටහිර ඉවුරේ ක්‍රියාත්මක කළ විශාලතම මෙහෙයුම ලෙස සැලකේ.
බටහිර ඉවුර පිහිටා ඇත්තේ කොහේද සහ එය පාලනය කරන්නේ කවුද?

බටහිර ඉවුර ජෝර්දාන් නදියට බටහිරින් සහ ජෙරුසලමට නැගෙනහිරින් පිහිටා ඇත.
පලස්තීන මධ්‍යම සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, මිලියන 3.2ක ජනතාවක් මෙම ප්‍රදේශයේ ජීවත් වෙති. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පලස්තීනුවන් වුව ද ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී වුව ත් යුදෙව්වන් බොහෝ දෙනෙකු ද එහි ජනාවාසවල දිවි ගෙවති.
නූතන ඊශ්‍රායලයේ නිර්මාතෘවරු 1947දී බටහිර ඉවුරෙන් වැඩි කොටසක් අනාගත පලස්තීන රාජ්‍යයක කොටසක් විය යුතු බවට එකඟ වූහ. කෙසේ වෙතත් අරාබි රටවල් විසින් ඊශ්‍රායලයට පහර දෙනු ලැබීමෙන් පසු ඊශ්‍රායලය මෙම සැලසුම අත්හැර දැමුවේ ය.
සටන් විරාමයකින් පසුව, ජෝර්දානය 1950දී මෙම ප්‍රදේශය අත්පත් කර ගත්තේ ය. ඊශ්‍රායල හමුදා 1967 සය දින යුද්ධයේදී එම ප්‍රදේශය අල්ලාගෙන එය මිලිටරි පාලනයක් යටතට ගත්තේ ය.
1970 සහ 1980 දශකවලදී ඊශ්‍රායලය එහි ජනාවාස පිහිටුවා ගැනීම අරාබි ජනතාව අතර අමනාපයක් ඇති කිරීමටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධයටත් හේතු විය.
පලස්තීනුවෝ බටහිර ඉවුරේ 1987 සිට 1993 දක්වා සහ 2000 සහ 2005 සිට කැරලි ගැසූහ.
ජෝර්දානය 1988 වසරේදී බටහිර ඉවුරට හිමිකම් කීම අත්හැර දැමුවේ ය. 1993 ඔස්ලෝ සම්මුතියෙන් පසුව, පලස්තීන අධිකාරිය එහි කොටසක් පාලනය කර ඇති අතර ඉතිරිය ඊශ්‍රායලයේ ඍජු පාලනය යටතේ පවතී.
ඊශ්‍රායලය සහ පලස්තීනුවන් යන දෙපිරිස ම එම ප්‍රදේශයට හිමිකම් කියන නමුත් දශක ගණනාවක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව එහි අවසන් තත්ත්වය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත.
ඊශ්‍රායලය වැටලීම් සිදු කළේ කොහේද, වැටලීම් අවශ්‍ය බව පවසන්නේ ඇයි?

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ අත්පත් කරගෙන සිටින කලාපයේ ඇති පලස්තීන නගරවලින් අවම වශයෙන් හතරක්වත් වටලා තිබේ: ජෙනින්, තුල්කාර්ම්, නැබ්ලස් සහ ටූබාස් සහ ඒ අසල පිහිටි සරණාගත කඳවුරු ඒවා අතර වෙයි.
පලස්තීන මාධ්‍ය පවසන්නේ, ජෙනින් වෙත දිවෙන ප්‍රධාන මාර්ග වසා දමා ඇති බව ත් නගරයේ පිහිටා ඇති සරණාගත කඳවුරේ සන්නද්ධ ගැටුම් වාර්තා වී ඇති බව ත් ය. ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ, "හමුදා භටයින් විශාල පිරිසක්" නගරයට ඇතුළු වූ බව ය.
ඊශ්‍රායල හමුදා අලුයම ජෙනින්හි රෝහලකට ඇතුළු වී ඇති බව ත් තුල්කාර්ම්හි රෝහල් දෙකකට ප්‍රවේශ වීම අවහිර කළ බව ත් පලස්තීන ආරංචි මාර්ග පවසයි.
නැබ්ලස්හි ඊශ්‍රායල හමුදා සිදුකළ වැටලීම්වලදී එහි පිහිටා ඇති සරණාගත කඳවුරු දෙකක් කෙරෙහි අවධානය යොමු කළ බවට වාර්තා වේ.
ටූබාස් අසල පිහිටි ෆාරා කඳවුරේ සිටි පුද්ගලයින් ඊශ්‍රායල ඩ්‍රෝන් ප්‍රහාරයක් බව පැවසෙන ප්‍රහාරයකින් තුවාල ලැබූ අතර ඊශ්‍රායල හමුදා එහි පිහිටා ඇති රතු අඩසඳ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළු වූ බවට ද වාර්තා වේ.
ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ, "සන්නද්ධ ත්‍රස්තවාදීන්" වූ පලස්තීන ජාතිකයන් නව දෙනෙකු මරා දැමූ බව ය.
ඊශ්‍රායල හමුදා තුල්කාර්ම්හි නූර් ෂම්ස් සරණාගත කඳවුර වට කළ බවට වාර්තා වන අතර එහි දිවි ගෙවන එක් පුද්ගලයෙකු පැවසුවේ "ගැටුම් සිදු වූ ස්ථාන කිහිපයක්" පැවති බව ය.
පිටව යන සියලු දෙනාගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීම සඳහා හමුදාව කඳවුරෙන් පිටතට මාර්ග අවහිර කළ බව එහි සිටින තවත් අයෙකු පවසයි.
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) "ඊයේ රාත්‍රියේ සිට ජෙනින් සහ තුල්කාර්ම් සරණාගත කඳවුරුවල ස්ථාපිත ඉරාන-ඉස්ලාමීය ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීම සඳහා පූර්ණ බලය යොදා ක්‍රියාත්මක වූ" බව ය.
සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර වැළැක්වීම සඳහා ජෙනින් සහ තුල්කාර්ම්හි සිටින හමුදා "බුද්ධි තොරතුරු මත, ත්‍රස්ත මර්දන මෙහෙයුම්" සිදු කරමින් සිටින බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් නදාව් ෂෝෂානි පවසා ඇත.
ඔක්තෝබර් 7 වන දා දකුණු ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය එල්ල වූ දා සිට ඊශ්‍රායලය සෑම දිනක ම පාහේ බටහිර ඉවුර පුරා වැටලීම් සිදු කර ඇත.
මෙම වැටලීම් ගැන පලස්තීනුවන්ගේ ප්‍රතිචාරය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බටහිර ඉවුරේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ජෙනින්, තුල්කාර්ම් සහ ටූබාස්හි රෝහල් ආරක්ෂා කිරීමට උපකාර කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබේ.
අද උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය "ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ රතු කුරුස සංවිධානයෙන්" උදව් ඉල්ලා සිටියේ, මානුෂීය නීතිය "පැහැදිලිව උල්ලංඝණය කිරීමක් වන," ඊශ්‍රායල හමුදා ගිලන්රථ ප්‍රවේශය අවහිර කරන බවට චෝදනා කරමිනි.
ඊශ්‍රායල හමුදා ඉබන් සීනා රෝහල වෙත යන මාර්ග වසා දැමූ බව ත්, ඛලීල් සුලෙයිමාන් රෝහල සහ රතු අඩසඳ සහ රෝගීන්ගේ මිතුරන්ගේ සංසදවල මූලස්ථාන වට කළ බව ත් එහි සඳහන් වේ.
පලස්තීන අධිකාරියේ ප්‍රධානී ජනාධිපති මහමුද් අබ්බාස් බටහිර ඉවුරේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞදි අරාබියේ සිදු කළ සංචාරයක් සැලසුම් කළ දිනට පෙර අවසන් කළ බව පලස්තීන මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේ ද?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය (OHCHR), අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ "ඉහළ යන මිලිටරි ප්‍රතිචාරය" හෙළා දැක තිබේ.
OHCHR පවසන්නේ, ඊශ්‍රායල හමුදාවේ බටහිර ඉවුරේ මෑත කාලීන මෙහෙයුම "ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය වන ආකාරයෙන් සහ දැනටමත් පුපුරා යා හැකි තත්ත්වයක් තවදුරටත් අවුළුවාලීමේ අවදානමට ලක් කරන ආකාරයෙන්" සිදු කරන බව ය.
"බටහිර ඉවුරේ IDF සහ සන්නද්ධ පලස්තීනුවන් අතර ඇති ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සන්නද්ධ ගැටුමක් නිර්මාණය නොකරයි," යැයි එම ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ, "බටහිර ඉවුරේ බලය භාවිත කිරීම මානව හිමිකම් සම්මතයන්ට අනුකූල විය යුතු යි" යනුවෙන් ද සඳහන් කරමිනි.
පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, ඔක්තෝබර් 7 වන දා සිට බටහිර ඉවුර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් දරුවන් 26 දෙනෙකු ඇතුළු පලස්තීනුවන් 128 දෙනෙකු මිය ගොස් ඇති බව ය.
එම කාලය තුළ ම ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් 11 දෙනෙකු ඇතුළුව නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුරේ පලස්තීනුවන් 607 දෙනෙකු ඝාතනය කර ඇති බවට එය වැඩිදුරටත් පවසයි.
බටහිර ඉවුරේ සරණාගත කඳවුරුවල ගැටලු උග්‍ර වූයේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බටහිර ඉවුරේ සරණාගත කඳවුරු කිහිපයක් ඇති අතර, දැන් ඊශ්‍රායලය ලෙස හඳුන්වන ප්‍රදේශයේ ජීවත්ව අවතැන් වූ පලස්තීනුවෝ දස දහස් ගණනක් එහි වාසය කරති.
මෙම කඳවුරුවල විශේෂයෙන් ම තරුණයින් අතර දරිද්‍රතාවය සහ විරැකියාව ඉහළ මට්ටමක පවතී.
ඒවා, සහ විශේෂයෙන් ම ජෙනින් කඳවුර බොහෝ නව පලස්තීන සටන්කාමී කණ්ඩායම්වල කඳවුරු බවට පත්ව ඇති බව බීබීසී රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු පෝල් ඇඩම්ස් පවසන අතර මෑතකදී ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුම ඔවුන් මර්දනය කිරීමේ උත්සහයක් විය.
ඊශ්‍රායලය හැකිතාක් සටන් පෙරමුණුවල රඳවා තබා ගැනීම සඳහා, ඉරානය බටහිර ඉවුරේ නව සන්නද්ධ කණ්ඩායම් ගොඩනැගීමට අරමුදල් සහ ආයුධ සපයා උපාකාර කරමින් සිටින්නේ යැයි ඊශ්‍රායලය සිතන බව ඔහු පවසයි.










