30 වසරකට පසු පළමු වරට න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් නියෝග කරයි

A US nuclear missile, seen inside a silo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මැක්ස් මැට්සා

රුසියාව සහ චීනය වැනි රටවල් සමග තරගකාරී ලෙස ඉදිරියට යාම සඳහා න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද හමුදා නායකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

"වෙනත් රටවල් වැඩසටහන් අත්හදාබලන නිසා, අපේ න්‍යෂ්ටික අවි සමාන පදනමක් මත අත්හදා බැලීම ආරම්භ කරන ලෙස මම යුද්ධ දෙපාර්තමේන්තුවට උපදෙස් දීල තියෙනවා," යනුවෙන් පවසමින් දකුණු කොරියාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං හමුවීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබිණි.

ලෝකයේ වැඩි ම න්‍යෂ්ටික අවි ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සතුව බවත්, දෙවනුව රුසියාව සහ ඉන්පසුව චීනය සිටින බවත් ට්‍රම්ප් පැවසීය. 1992 වසරේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදුකර නොමැත.

මෙය සිදු වූයේ, ට්‍රම්ප් රුසියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මිසයිලයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් විවේචනය කිරීමෙන් දින කිහිපයකට පසුව ය.

න්‍යෂ්ටික අවි සතු "අතිමහත් විනාශකාරී බලය" පිළිබඳව ට්‍රම්ප්ගේ සටහනින් පිළිගෙන ඇති නමුත් ඔහුගේ පළමු ධුර කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපද අවි ගබඩාව යාවත්කාලීන කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම හැර "වෙනත් විකල්පයක්" නොමැති බව සඳහන් කර තිබේ.

චීනයේ න්‍යෂ්ටික වැඩසටහන "වසර පහක් ඇතුළත යථා තත්ත්වයට" පත් වන බව ද ඔහු පැවසීය.

ට්‍රම්ප්ගේ සටහනේ පරීක්ෂණ සිදු කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර නැත, නමුත් "ක්‍රියාවලිය වහා ම ආරම්භ වේ" යනුවෙන් සඳහන් විය.

එය දිගුකාලීන එක්සත් ජනපද ප්‍රතිපත්තියක පැහැදිලි ආපසු හැරීමක් සනිටුහන් කරයි. අවසාන එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම 1992 දී සිදුවූ අතර ඒ හිටපු රිපබ්ලිකන් ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සීතල යුද්ධය අවසන් වීමත් සමග තාවකාලික තහනමක් පැනවීමට පෙර ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2019 වසරෙන් පසු පළමු පෞද්ගලික හමුවීම සඳහා චීන ජනාධිපතිවරයා දකුණු කොරියාවට පැමිණීමට මද වේලාවකට පෙර ට්‍රම්ප්ගේ සටහන පළ විය. ගිම්හේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී චීන ජනාධිපති හමුවීම සඳහා Marine One හෙලිකොප්ටර් යානයේ පියාසර කරමින් සිටියදී ජනාධිපති ට්‍රම්ප් එය පළ කළේ ය.

නායකයින් දෙදෙනාගේ හමුවීමෙන් පසුව, න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා ස්ථාන පසුව තීරණය කරන බව ට්‍රම්ප් පැවසීය. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය අනෙකුත් රටවල් සමග ඉදිරියට යාම "සුදුසු" බව අවධාරණය කළේ ය.

රුසියාව සති අන්තයේ ප්‍රකාශ කළේ, න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි නව අවි දෙකක් සාර්ථකව අත්හදා බැලූ බව ය.

ක්‍රෙම්ලීනය පවසන පරිදි ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පද්ධතිය මග හැරිය හැකි මිසයිලයක් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළට ළඟා වී විකිරණශීලී තරංග නිර්මාණය කළ හැකි පොසෙයිඩන් නම් දිය යට ඩ්‍රෝන යානයක් ඊට ඇතුළත් විය.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණවලදී කිසිදු න්‍යෂ්ටික අවි පුපුරුවා හැරීමක් සිදු නොවීය.

ඇමරිකානු උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (CSIS) පවසන්නේ, චීනය පසුගිය වසර පහ තුළ සිය න්‍යෂ්ටික අවි දෙගුණ කිරීමට ආසන්න වී ඇති බව සහ 2030 වන විට එය 1,000 කට වඩා තිබිය හැකි බව ය.

අවි පාලන සංගමය වාර්තා කරන පරිදි ඇමරිකා එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික යුධ අවි 5,225ක් පමණ ඇති අතර රුසියාව සතුව න්‍යෂ්ටික අවි 5,580 ක් පමණ තිබේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය පැමිණෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර අවසන් න්‍යෂ්ටික අවි ගිවිසුම වන (නව START) ගිවිසුම 2026 පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වීමට දින 100කට පමණ පෙර ය.

ගිවිසුම මගින් සෑම රටකට ම මහාද්වීප හරහා ගමන් කළ හැකි මිසයිල මත වූ න්‍යෂ්ටික යුධ අවි ගණන 1,550 කට සීමා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය අවසන් වරට න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුවේ, 1992 සැප්තැම්බර් 23 වන දින ය. මෙම පරීක්ෂණය බටහිර නෙවාඩා ප්‍රාන්තයේ භූගත ස්ථානයකදී සිදු විය.

පළමු පරමාණු බෝම්බය සංවර්ධනය කිරීමට උපකාරී වූ ලොස් ඇලමොස් ජාතික රසායනාගාරයට අනුව, ඩිවයිඩර් ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය, එක්සත් ජනපදයේ 1,054 වන න්‍යෂ්ටික අත්හදා බැලීම විය.

ලාස් වේගාස් සිට සැතපුම් 65 (කිලෝමීටර් 105) උතුරින් පිහිටි නෙවාඩා පරීක්ෂණ භූමිය තවමත් ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් මෙහෙයවනු ලැබේ.

ස්මිත්සෝනියන් ආයතනයට සම්බන්ධ ජාතික න්‍යෂ්ටික විද්‍යා හා ඉතිහාස කෞතුකාගාරය පවසන්නේ "අවශ්‍ය නම් එම ස්ථානය නැවත න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා භාවිතා කළ හැකි" බව ය.

1945 ජූලි මාසයේදී නිව් මෙක්සිකෝ කාන්තාරයේදී ට්‍රිනිටි නමින් හැඳින්වෙන පළමු පරමාණු බෝම්බ අත්හදා බැලීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික යුගයට පිවිසියේ ය.

පසුව, දෙවන ලෝක යුද්ධ සමයේදී 1945 අගෝස්තු මාසයේදී ජපන් නගර වන හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළීමෙන්, යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කළ එක ම රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්විය.