මැන්හැටන් ව්‍යාපෘතිය: සැබෑ රොබර්ට් ඕපන්හයිමර් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එය 1945 වසරේ ජුලි 16 වන දා මුල් පැය කිහිපය වූ අතර, සියල්ලෙහි පාලන කටයුතු සිදු වූ බංකරයට වී ඕපන්හයිමර් බලා සිටියේ ලෝකය වෙනස් කිරීම සඳහා වන මොහොත එළඹෙන තුරු ය. එතැනට කිලෝමීටර් 10ක් පමණ දුරින්, එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ හොර්නාඩා ඩෙල් මුවෙර්තෝ කාන්තාරයේ සුදු වැල්ලෙහි දී "ට්‍රිනිටි" යන සංකේත නාමයෙන් හැඳින්වෙන ලොව ප්‍රථම පරමාණු බෝම්බ අත්හදා බැලීම සිදු කිරීමට නියමිතව තිබිණි.
ඕපන්හයිමර් දැඩි ආතතියකින් පසුවන බවක් පෙනෙන්නට විය. ඔහු කේඩෑරි සිරුරකට හිමිකම් කී නමුත්, බෝම්බය සැලසුම් කර නිපදවූ "මෑන්හැටන් ඉන්ජිනියර් දිස්ට්‍රික්ට්හි" විද්‍යාත්මක අංශය වන "ප්‍රොජෙක්ට් වයිහි" අධ්‍යක්ෂවරයා ලෙස තෙවසරක කාලයක් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ බර කිලෝග්‍රෑම් 52ක් දක්වා පහත වැටිණි. අඩි 5යි අඟල් 10ක් (සෙන්ටිමීටර 178) උසැති ඔහුට ඒත් සමග ලැබුණේ අතිශය කෙට්ටු පෙනුමකි. අවුල්සහගත මනස ත්, අධික දුම් පානය හේතුවෙන් හටගෙන ඇති කැස්ස ත් හේතුවෙන් ඔහු එදින රාත්‍රියේ නිදාගෙන තිබුණේ පැය හතරක් පමණි.
1945 වසරේ උදාවූ එම දිනය ඕපන්හයිමර්ගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා කිහිපයකින් එකක් බව, ජූලි 21 වන දා එක්සත් ජනපදයේ නිකුත් කරන ලද නව චිත්‍රපටයක් වන 'ඕපන්හයිමර්' චරිතාපදාන චිත්‍රපටය සඳහා පදනම සැපයූ, ඉතිහාසඥයන් වන කයි බර්ඩ් සහ මාර්ටින් ජේ ෂර්වින් විසින් 2005 වසරේ දී ප්‍රකාශයට පත් කරන චරිතාපදානයක් වන American Prometheusහි සඳහන් කර තිබේ.
බර්ඩ් සහ ෂර්වින්ගේ වාර්තාවට අනුව, බෝම්බය පුපුරුවා හැරීමට පෙර ගතවූ අවසන් මිනිත්තු කිහිපයේ දී යුද්ධ හමුදා ජෙනර්ල්වරයෙකු ඕපන්හයිමර්ගේ මුහුණේ තිබූ හැඟීම් සමීපව නිරීක්ෂණය කර ඇත: "ඩොක්ටර් ඕපන්හයිමර්... අන්තිම තත්පර කීපය ගතවෙද්දී වැඩි වැඩියෙන් ආතතියට පත්වෙමින් හිටියේ. ඔහු හුස්ම ගත්තේ නැති තරම්..."
බෝම්බය පුපුරායෑමේ දී පිටවුණු ආලෝකයෙන් සූර්යයාලෝකය මුවාවිය. TNT (එනම් පුපුරන ද්‍රව්‍ය) කිලෝටොන් 21කට සමාන බලයක් තිබූ එය එකල දැක තිබුණු විශාලතම පිපිරීම විය. එය කිලෝමීටර් 160ක් ඈතට දැනුණු කම්පන තරංගයක් නිර්මාණය කළේ ය. පිපුරුම් හඬින් මුළු ප්‍රදේශය ම වැසී යාම ත්, බිම්මලක හැඩය ගත් වළාකුලක් ඉහළ අහසට ඇදී යාම ත් සමග ඕපන්හයිමර් තුළ දිස්වූයේ "මහත් සහනයක්" ලද බවකි. ඉන් මිනිත්තු කිහිපයකට පසු, ඕපන්හයිමර් දුර සිට දුටු ඔහුගේ මිතුරා සහ සගයා වන ඉසිඩෝර් රාබි, "ඔහු ඇවිදන් ගියපු විදිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ; ඔහු කාර් එකෙන් බැහැපු විදිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ... ඔහු ඇවිදන් ගියේ හරියට 'හයි නූන්' එකේ වගේ (එනම් කව්බෝයි චිත්‍රපටයක්)...අහංකාර විදියට ඇවිද්දේ. ඔහු ඒක [සාර්ථකව පරමාණු බෝම්බය නිපදවීම] කළා,"යි ප්‍රකාශ කළේ ය.
1960 ගණන්වල පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවල දී ඕපන්හයිමර් ඔහුගේ ක්‍රියාවට තවත් ආනුභාවයක් එකතු කරමින්, පිපිරීමෙන් මොහොතකට පසු හින්දු ආගමෙහි පූජනීය ග්‍රන්ථයක් වන භගවත් ගීතාවේ පේළියක් ඔහුගේ මනසට පැමිණි බව ප්‍රකාශ කළේ ය: "දැන් මම මරණය වෙමි, ලෝක විනාශ කරන්නා වෙමි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනතුරුව උදාවූ දින කිහිපය තුළ ඔහු දැඩි මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු බව ඔහුගේ මිතුරෝ පැවසූහ. "ඒ සති දෙකේ රොබර්ට් හිටියේ වැඩි කතා බහක් නැතුව, කල්පනාවේ ගිලිලා," එක් මිතුරෙක් සිහිපත් කළේ ය. "මොකද එයා දැනගෙන හිටියා මොකක්ද වෙන්න යන්නේ කියලා." එක් උදෑසනක අසන්නට ලැබුණේ, ඔහු ජපන් වැසියන්ට අත්වීමට යන ඉරණම පිළිබඳව (පහත්කොට සලකන ස්වරයකින්), "අනේ ඒ අසරණ පොඩි මිනිස්සු, අනේ ඒ අසරණ පොඩි මිනිස්සු," යනුවෙන් තැවෙන ආකාරය යි. නමුත් දින කිහිපයකට පසු නැවතත් ඔහුගේ නොසන්සුන්කාරී, මානසික ඒකාග්‍රයෙන් යුතු, සියලු දේ නිවැරදිව සිදුවිය යුතු ස්වභාවය මතු විය.
ඔහුගේ හමුදා සගයන් සමග පැවති හමුවක දී, ඔහුට "අසරණ පොඩි මිනිසුන්" අමතක වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබිණි. බර්ඩ් සහ ෂර්වින්ට අනුව, ඔහු ඒ වෙනුවට බෝම්බ හෙළීමට සුදුසු තත්ත්වයන්හි වැදගත්කම පිළිබඳව මුළුමනින් ම අවධානය යොමු කර ඇත. "ඇත්තට ම ඒක වැස්සෙ දී හරි මීදුම තියෙන වෙලාවක හරි අතාරින්න හොඳ නෑ. ඕනෑවට වඩා උඩ දී ඒක පුපුරුවන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා. දීලා තියෙන අගය හරියට ම හරි. ඒකට ඕනෑවට වඩා [උඩට යන්න] දෙන්න එපා, එහෙම වුණොත් ඉල්ලක්කෙට ලොකුවට හානි වෙන එකක් නැහැ," ඔහු පවසා තිබේ. ට්‍රිනිටි අත්හදා බැලීමෙන් මාසයකට ත් අඩු කාලයකින් හිරෝෂිමා වෙත සාර්ථකව බෝම්බ හෙළූ බව ඔහු ඔහුගේ සගයන් පිරිසකට ප්‍රකාශ කළ අවස්ථාවේ, ඕපන්හයිමර් "මහා ජයග්‍රහණයක් ලබපු සටන්කාරයෙක් වගේ අත මිට මොලවලා ඔලුවට උඩින් ඉස්සූ"බව, ඔහු දෙස බලා සිටි අයෙකු දුටුවේ ය. එම අවස්ථාවේ දී ලද අත්පොළසන් නාදයෙන් "වහල ගලවගෙන ගියා වගෙ වුණා."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෑන්හැටන් ව්‍යාපෘතියේ චිත්තවේගීය හා බුද්ධිමය හදවත ඕපන්හයිමර් විය: අනෙකුත් සියලු දෙනාට වඩා බෝම්බය යථාර්ථයක් බවට පත් කළේ ඔහු ය. ඔහු හැර වෙනත් අයෙකුට එය කළ නොහැකි බව, යුද්ධයෙන් පසු ඔහු සමග රාජකාරියේ නිරත වූ ජෙරමි බර්න්ස්ටයින් දැඩි ලෙස විශ්වාස කළේ ය. ඔහු 2004 වසරේ දී ලියූ චරිතාපදානය වන A Portrait of an Enigmaහි ලියා තිබුණේ, "ඕපන්හයිමර් ලොස් ඇලමෝස්හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු නොකළේ නම්, න්‍යෂ්ටික අවි භාවිතයෙන් තොරව දෙවන ලෝක යුද්ධය හොඳට හෝ නරකට අවසන් වනු ඇති බව මම දැඩිව විශ්වාස කරන" බව ය.
ඔහුගේ ශ්‍රමයේ ප්‍රතිලාභ දකින විට ඕපන්හයිමර් ඊට දැක්වූ බව පැවසෙන විවිධ ආකාරයේ ප්‍රතිචාරත්, ඒ ප්‍රතිචාර වෙනස්වූ ඉක්මනත් සිත අවුල් කරවනසුළු විය හැකි ය. ඉක්මනින් කලබලයට පත්වන ස්වභාවය, අභිලාෂය, නොමනා උඩඟුකම සහ අශුභවාදී දෑ කෙරෙහි ඇති ඇල්ම යන සියල්ලෙහි සංකලනය තනි පුද්ගලයෙකු තුළට කොටු කිරීම අපහසු කාර්යයකි - විශේෂයෙන් ම, එම පුද්ගලයා මෙවැනි ප්‍රතිචාර ජනිත කරවන ව්‍යාපෘතියකට අත්‍යවශ්‍ය ම වූ විට.
බර්ඩ් සහ ෂර්වින් ඕපන්හයිමර් හඳුන්වන්නේ, "ප්‍රහේලිකාවක් වැනි පුද්ගලයෙකු" හෙවත් "ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ චමත්කාරජනක ගුණාංග ප්‍රදර්ශනය කළ න්‍යායික භෞතික විද්‍යාඥයෙකු මෙන් ම සංකීර්ණ විසඳුම් සොයා ගිය සෞන්දර්යවාදියෙක්," ලෙසිනි. විද්‍යාඥයෙකු පමණක් නොවූ ඔහු ගැන ඔහුගේ මිතුරෙකු වරෙක විස්තර කළේ, "පරිකල්පනය මනා සේ හැසිරවිය හැකි අයෙකු" ලෙස ය.
බර්ඩ් සහ ෂර්වින් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, ඕපන්හයිමර් ගැන විස්තර කිරීමට නොහැකි තැනට මිතුරන් සහ චරිතාපදානකරුවන් පත්කළ, ඔහුගේ චරිතයේ වූ පරස්පර විරෝධී ලක්ෂණ ඔහු තරුණ අවධියේ සිට ම පැවති බව පෙනේ. 1904 වසරේ දී නිව් යෝර්ක් නගරයේ උපත ලද ඕපන්හයිමර් රෙදිපිළි වෙළෙඳාමෙන් ධනවත් වූ පළමු පරම්පරාවේ ජර්මානු යුදෙව් සංක්‍රමණිකයෙකුගේ දරුවා විය. ඔහුගේ පවුල ජීවත් වූයේ, ගෘහ සේවිකාවන් තිදෙනෙකු, රියැදුරෙකු සහ යුරෝපීය චිත්‍රවලින් හැඩවුණු බිත්තිවලින් සමන්විත අපර් වෙස්ට් සයිඩ්හි පිහිටා තිබුණු නිවස විශාල මහල් නිවාසයක ය.
සුඛෝපභෝගීව හැදී වැඩුන ද ඕපන්හයිමර් මානයෙන් උදම් නොවුණු, ත්‍යාගශීලි දරුවෙකු වූ බව ඔහුගේ ළමාකල මිතුරෝ සිහිපත් කළහ. ඔහුගේ පාසල් මිතුරියක වූ ජේන් ඩිඩිස්හයිම්ගේ මතකයේ රැඳී තිබුණේ, ඔහු "අසාමාන්‍ය ලෙස ඉක්මනින් රතු පැහැ ගැන්වෙන මුහුණක් ඇති, ඉතාමත් සියුමැලි, රෝස පැහැයෙන් පිරී ගිය කම්මුල් ඇති, ඉතා ලැජ්ජාශීලී..." නමුත් "ඉතා බුද්ධිමත්" අයෙකු ලෙස ය. "හරි ඉක්මනට හැමෝම වටහා ගත්තා ඔහු අනෙක් අයට වඩා වෙනස් කියලා සහ දක්ෂයි කියලා," ඇය පැවසුවා ය.
වයස අවුරුදු නවය වන විට, ඔහු ග්‍රීක සහ ලතින් භාෂාවලින් ලියැවුණු දර්ශනවාදය පිළිබඳ ග්‍රන්ථ කියවූ අතර ඛනිජ විද්‍යාව ගැන උමතුවෙන් පසුවිය. ඔහු සෙන්ට්‍රල් පාර්ක් පුරා ඔබමොබ ඇවිදිමින් ඔහු සොයාගත් දෑ පිළිබඳව නිව් යෝර්ක් ඛනිජ සමාජය වෙත ලිපි ලිවී ය. ඔහු එම ලිපි කෙතරම් දක්ෂ ලෙස ලියා තිබුණේ ද යත්, ඔහු වැඩිහිටියෙකු බව වරදවා වටහාගත් නිව් යෝර්ක් ඛනිජ සමාජය, ඉදිරිපත් කිරීමක් සඳහා ඔහුට ආරාධනා කළේ ය. මෙම බුද්ධිමත් ස්වභාවය තරුණ ඕපන්හයිමර්ගේ හුදෙකලා බවට හේතු වූ බව බර්ඩ් සහ ෂර්වින් ලියයි. "ඔහු සාමාන්‍යයෙන් ඔහු කරන දේ, එහෙමත් නැතිනම්, හිතන දේ ඇතුළෙ ගිලිලා ඉන්නේ," ඔහුගේ මිතුරෙක් සිහිපත් කළේ ය. ලිංගභේදය අනුව අනුගත විය යුතු බවට අපේක්ෂා කරන කාර්යයන් කෙරෙහි ද උනන්දුවක් නොදැක්වූ ඔහු, ඔහුගේ ඥාති සහෝදරයා පවසන පරිදි, "ඒ වයස් කාණ්ඩයේ අනෙක් අය වගේ පොරකන්න, රළු සෙල්ලම් කරන්න" හෝ ක්‍රීඩා කටයුතු කෙරෙහි ද ඇල්මක් දක්වා නැත; "එයා අනිත් අය වගේ නෙවේ නිසා ගොඩක් වෙලාවට සරදමට, සමච්චලේට ලක් වුණා." එසේ වුව ද, ඔහුගේ බුද්ධිප්‍රභාව ගැන ඔහුගේ මව සහ පියා තුළ දැඩි විශ්වාසයක් විය.
"අම්මලා මං ගැන තියපු විශ්වාසෙ මම ආපිට ගෙව්වේ, මං තුළ අප්‍රසන්න අහංකාරකමක් ගොඩනගාගෙන," පසුව අදහස් දක්වමින් ඕපන්හයිමර් පැවසීය. "ඒකෙන්, මාව හම්බවෙන්න තරම් අවාසනාවන්ත වෙච්ච ළමයින්ට යි වැඩිහිටියන්ට යි අවමානයක් දැනෙන්න ඇතැ,"යි ද සඳහන් කරමිනි. ඔහු වරෙක තවත් මිතුරෙකුට පැවසූ පරිදි, "පොතක පිටු පෙරළලා බලලා, 'ඔව්, ඔව්, නැතුව, මං ඒක දන්නවා ඒක' කියලා කියන එකේ කිසි විනෝදයක් නෑ."
හාවර්ඩ් විශ්වවිද්‍යාලයයෙන් රසායන විද්‍යාව හැදෑරීම සඳහා නිවස හැර යෑමට සිදු වූ අවස්ථාවේ, ඕපන්හයිමර්ගේ මනෝවිද්‍යාත්මක සැකැස්මේ දුර්වලතාව හෙළිදරව් විය: ඔහුගේ බිදෙනසුළු අහංකාරකම හා සංවේදීතාව වසා ගැනීමට දැරූ ප්‍රයත්නය ඔහුගේ හරහට හිටියේ ය. ඇලිස් කිම්බල් ස්මිත් සහ චාල්ස් වීනර් විසින් සංස්කරණය කර 1980 දී ප්‍රකාශයට පත් කරන ලද එකතුවක අඩංගු වූ, ඔහු 1923 වසරේ ලියූ ලිපියක මෙසේ සඳහන් කර තිබිණි: "මම මහන්සි වෙලා වෙලා ගණන් කරන්න බැරි තරම් නිබන්ධන, සටහන්, කවි, කතා සහ සමහර වෙලාවට වැඩක් නැති දේවල් ලියනවා... මම රසායනාගාර තුනක් ගඳ ගස්සවනවා... මම තේ පිළිගන්වනවා, තනිවෙලා ඉන්න කීපදෙනෙකුට පණ්ඩිත විදියට කතා කරනවා, සති අන්තෙ දී ඉතිරිවෙලා තියෙන පණ ටික අරන් ගිහින් හිනාවටයි මහන්සියටයි හරවනවා, ග්‍රීක පොතපත කියවනවා, ප්‍රසිද්ධියේ වැරදි දේවල් කරනවා, මගේ මේසේ උඩ ලියුම් තියෙනව ද කියලා බලනවා, සහ මම මැරුණා නම් හොඳයි කියලා හිතනවා. ඔය තියෙන්නේ!"

ඡායාරූප මූලාශ්‍රය, Universal
එංගලන්තයේ කේම්බ්‍රිජ්හි දී, ඔහු පශ්චාත්-උපාධි අධ්‍යයන කටයුතු සිදුකළ සමයේ දී ද මේ ගැටලු දිගට ම පැවති බව ස්මිත් සහ වීනර් විසින් එකතුවූ පසුකාලීන ලිපිවලින් හෙළිවේ. ඕපන්හයිමර් එතරම් දක්ෂතාවක් නොදැක්වූ ව්‍යවහාරික රසායනාගාර අධ්‍යයන කටයුතුවලට ඔහු සහභාගී කරවීමට ඔහුගේ ගුරුවරයාට අවශ්‍ය විය. "මම ගත කරන්නේ මහ නරක කාලයක්," 1925 වසරේ දී ඔහු ලිවීය. "ලැබ් එකේ වැඩ හරිම කම්මැලියි, අනික මම ඒකට කොච්චර අදක්ෂ ද කියනවා නම්, මම කිසි දෙයක් ඉගෙන ගන්නවා කියලවත් මට දැනෙන්නේ නැහැ." එම වසරේ අගභාගයේදී ඕපන්හයිමර්ගේ ආවේගශීලී හැසිරීම මහත් ව්‍යසනයක් ඇති කිරීමට ආසන්න වූයේ, ඔහු රසායනාගාරයේ රසායන ද්‍රව්‍ය යොදා විෂ ගැන්වූ ඇපල් ගෙඩියක් හිතාමතා ගුරුවරයාගේ මේසය මත තබා ඒමත් සමග ය. ඔහු ඊර්ෂ්‍යාව සහ තමා පිළිබඳව වූ අනාරක්ෂිත හැඟීම් හේතුවෙන් ඊට පෙළඹෙන්නට ඇති බව, ඔහුගේ මිතුරෝ පසුව අනුමාන කළෝ ය. ගුරුවරයා ඇපල් ගෙඩිය නොකෑ නමුත් කේම්බ්‍රිජ් තුළ ඕපන්හයිමර්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල වූ අතර, ඔහු මනෝ වෛද්‍යවරයෙකු හමුවිය යුතු ය යන කොන්දේසිය මත පමණක් ඔහු එහි රඳවා ගැනුනි. මනෝ වෛද්‍යවරයා ඔහු සයිකෝසියාවෙන් පෙළෙන බව හඳුනාගත් නමුත්, ප්‍රතිකාරයෙන් එතරම් ඵලක් නොවන බව පවසමින් ප්‍රතිකාර ලබා නොදුන්නේ ය.
එම කාල පරිච්ඡේදය සිහිපත් කරමින් ඕපන්හයිමර් පසුව සඳහන් කළේ, සියදිවි නසාගැනීම ගැන නත්තල් නිවාඩු සමයේ දී ඔහු බැරෑරුම් ලෙස කල්පනා කළ බව ය. ඊට පසු වසරේ පැරීසියේ සිදුකළ සංචාරයක දී, ඔහුගේ සමීප මිතුරෙකු වන ෆ්‍රැන්සිස් ෆර්ගසන් ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනා සිදුකළ බව ඕපන්හයිමර්ට පැවසීය. ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මිතුරාගේ ගෙළ සිර කිරීමට උත්සහ කරමිනි: "ඔහු මගෙ පිටිපස්සෙ ඉඳලා බෑග් පටියකුත් අරගෙන මගෙ ඇඟට පැන්නා," ෆර්ගසන් සිහිපත් කළේ ය. "ඊට පස්සේ ඒක මගේ බෙල්ල වටේ එතුවා... කොහොම හරි මම ඔහුගෙන් ගැලවුණා. ඒත් එක්ක ම ඔහු බිම ඇද වැටිලා අඬන්න පටන් ගත්තා."
මනෝචිකිත්සාව අසාර්ථක වූ තැන, සාහිත්‍යය ඕපන්හයිමර්ගේ උපකාරයට පැමිණි බව පෙනේ. බර්ඩ් සහ ෂර්වින්ට අනුව, ඔහු ප්‍රංශයේ කෝර්සිකාවේ නිවාඩුවක් ගත කිරීමට ගිය අවස්ථාවේ, මාර්සෙල් ප්‍රෞස්ට්ගේ A La Recherché du Temps Perdu ග්‍රන්ථය කියැවූ අතර, ඒ තුළ ඔහුට ඔහුගේ ම මනෝභාවයේ යම් පිළිබිඹුවක් සොයාගත හැකි විය. එය ඔහුට සහනයක් ගෙන දුන් අතර ජීවිතය පිළිබඳව වඩා ත් දයානුකම්පිතව දැකීමට කවුළුවක් විවෘත කර දුන්නේ ය. ඔහු, "කෲරත්වයේ බිහිසුණු සහ ස්ථිර ස්වරූපය" යනු "යමෙකු ඇති කරනු ලබන දුක් වේදනා කෙරෙහි උදාසීනත්වයයැ"යි එම ග්‍රන්ථයෙහි සඳහන් වුණු ඡේදයක් සිහි තබා ගත්තේ ය. ඔහුගේ දුක් වේදනා කෙරෙහි ආකල්පය දිගු කලක් පැවතියේ ය. ඕපන්හයිමර්ගේ මෙම උනන්දුව ඔහුගේ ජීවිත කාලය පුරාවට ම අධ්‍යාත්මික හා දාර්ශනික ග්‍රන්ථ අධ්‍යයනය කිරීමට බලපෑ අතර අවසානයේ ඔහුගේ කීර්තිය හැඩගස්වා ගැනීමට තීරණාත්මක වූ වැඩ කටයුතු සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය. මෙම නිවාඩුවේ දී ඔහු ඔහුගේ මිතුරන්ට කළ ප්‍රකාශයක් අනාවැකියක් බඳු විය: "මම වැඩියෙන්ම අගය කරන්නේ, ගොඩක් දේවල් කරන්න අසාමාන්‍ය ලෙස දක්ෂතා වෙන නමුත් කඳුළින් බරවුණු මුහුණක් පෙන්වන ජාතියේ පුද්ගලයෙක්ව."
ඔහු පසුව සිහිපත් කළ පරිදි, ඔහු ආපිට එංගලන්තයට ආපසු පැමිණියේ "වඩාත් කාරුණික සහ වඩාත් ඉවසිලිවන්ත" හැඟීමකින් යුතු සැහැල්ලු මනෝභාවයකිනි. 1926 වසරේ මුල් භාගයේ දී, ඔහුට ජර්මනියේ ගොටින්ගන් විශ්වවිද්‍යාලයේ න්‍යායාත්මක භෞතික විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා හමුවූ අතර, න්‍යායවාදියෙකු ලෙස ඕපන්හයිමර්ගේ දක්ෂතා ඉක්මනින් ම අවබෝධ කර ගත් ඔහු, එහි දී ඉගෙනීමට ඕපන්හයිමර්ට ආරාධනා කළේ ය. ස්මිත් සහ වීනර් පවසන පරිදි, 1926 වසර ඔහු "භෞතික විද්‍යාවට පැමිණීමේ" වසර ලෙස ඔහු පසුව විස්තර කර තිබේ. එය හැරවුම් ලක්ෂයක් බවට පත්විය. ඔහු ඊළඟ වසරේ දී ඔහුගේ ආචාර්ය උපාධිය සහ පශ්චාත් ආචාර්ය උපාධි ශිෂ්‍යත්වය ලබා ගත්තේ ය. ඔහු සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ දියුණුව සඳහා කටයුතු කරන ප්‍රජාවක සාමාජිකයෙකු බවට පත් වූ අතර, එහිදී දිවි ඇති තෙක් ඔහුගේ මිතුරන් වූ විද්‍යාඥයන් හමුවිය. ඉන් බොහෝ දෙනෙක් අවසානයේ ලොස් ඇලමෝස්හි දී ඕපන්හයිමර් සමග සම්බන්ධ වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජනපදයට ආපසු පැමිණි ඕපන්හයිමර් වෘත්තිය වශයෙන් කැලිෆෝනියාවේ භෞතික විද්‍යා කටයුතුවල නියැළීමට පෙර හාවඩ්හි මාස කිහිපයක් ගත කළේ ය. මෙම කාල පරිච්ඡේදයේ ඔහු ලියූ ලිපිවල ස්වරය ස්ථාවර, වඩා උදාර ගති ඇති මනසක ස්වභාවයක් පිළිබිඹු කරයි. ඔහු තම බාල සොහොයුරාට ප්‍රේමය සම්බන්ධයෙන් මෙන් ම කලාව කෙරෙහි ඔහු තුළ වූ උනන්දුව ගැන ද ලිවීය.
බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ දී ඔහු පර්යේෂණවාදීන් සමග සමීපව කටයුතු කරමින්, විශ්ව කිරණ සහ න්‍යෂ්ටික විසංයෝජනය පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිඵල අර්ථ දැක්වීම සිදු කළේ ය. ඔහු පසුව, "මෙය කුමක් ද යන්න තේරුම් ගත් එක ම තැනැත්තා" ලෙස තමාවම විස්තර කළේ ය. ඔහු අවසානයේ දී අධ්‍යයනාංශයක් නිර්මාණය කළේ, ඔහු ප්‍රිය කරන න්‍යාය ගැන සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාව නිසා බව ඔහු පැවසීය: "[තමන්] ඉගෙන ගත් දේත්, නොවිසඳුණු ගැටලු මොනවා ද යන්නත් පළමුව පීඨයට, කාර්යය මණ්ඩලයට සහ සගයන්ට ද, පසුව සවන් දෙන්න සූදානම් ඕනෑ ම කෙනෙකුට ද පැහැදිලි කළා." ඔහු මුල දී තමන් "ගනුදෙනු කිරීමට අපහසු" ගුරුවරයෙකු ලෙස විස්තර කළ නමුත්, ඕපන්හයිමර් ප්‍රොජෙක්ට් Yහි සිටි කාලය තුළ ඔහු තුළ වූ චමත්කාරජනක ස්වභාවය සහ සමාජ පැවැත්ම ඔප් නංවා ගත්තේ මෙම භූමිකාව හරහා ය. ස්මිත් සහ වීනර් විසින් උපුටා දක්වන ලද තොරතුරකට අනුව, එක් සගයෙක් ඔහුගේ සිසුන් "ඔවුන්ට හැකි උපරිමයෙන් ඔහු අනුකරණය කළ ආකාරය සිහිපත් කළා. ඔවුන් ඔහුගේ අභිනයන්, ඔහුගේ හැසිරීම්, ඔහුගේ කටහඬ පවා අනුකරණය කළා. ඔහු ඔවුන්ගේ ජීවිතවලට සැබවින් ම බලපෑවා."
1930 ගණන්වල මුල් භාගයේ දී, ඕපන්හයිමර් ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතය ශක්තිමත් කර ගන්නා අතරතුර, මානව ශාස්ත්‍ර කෙරෙහි ද අඛණ්ඩව අවධානය යොමු කළේ ය. ඔහු හින්දු ග්‍රන්ථ සොයා ගත්තේත්, පරිවර්තනය නොකළ භගවත් ගීතාව කියවීමට සංස්කෘත භාෂාව ඉගෙන ගත්තේ මෙම වකවානුවේ දී ය. ඔහු පසුව සුප්‍රසිද්ධ "දැන් මම මරණය වෙමි" යන පාඨය උකහා ගත්තේ එයිනි. ඔහුගේ උනන්දුව හුදෙක් බුද්ධි වර්ධනය සඳහා සිදු කළ දෙයක් පමණක් නොව, ඔහු වයස 20 ගණන්වල දී ප්‍රෞස්ට්ගෙන් ඇරඹු ස්වයං-නිර්දේශිත ග්‍රන්ථ චිකිත්සාවේ ඉදිරි පැවැත්මක් ද විය. රදළ පවුලක දෙපාර්ශවයක් අතර පැවති යුද්ධයක් කේන්ද්‍ර කරගත් කතාවක් වන භගවත් ගීතාව, ඕපන්හයිමර්ට ප්‍රොජෙක්ට් Yහි දී මුහුණ දුන් සදාචාරමය අපැහැදිලිත්වයට ඍජුව ම අදාළ වන දාර්ශනික පදනමක් සැපයුවේ ය. එය රාජකාරිය, ඉරණම සහ ප්‍රතිඵලය ගැන නොතැවීම පිළිබඳ අදහස් අවධාරණය කළ අතර, නොහැකියාව සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රතිඵල පිළිබඳව ඇති බිය භාවිත කළ නොහැකි බව ද අවධාරණය කළේ ය. 1932 වසරේ දී ඕපන්හයිමර් ඔහුගේ සහෝදරයාට ලියූ ලිපියක ගීතාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන අතර, එවැනි දර්ශනයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අවස්ථාවක් ලබා දිය හැකි එක් අවස්ථාවක් ලෙස යුද්ධය නම් කරයි:
"මම විශ්වාස කරනවා විනය තුළින්... අපට මානසික සහනය ළඟාකර ගන්න පුළුවන් බව... විනය තුළින්, වඩ වඩා ත් අහිතකර තත්ත්වයන් තුළ දී අපි අපේ සතුටට අත්‍යවශ්‍ය දේ රැක ගැනීමට ඉගෙන ගන්නා බව මම විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ, විනය ඇති කරන සෑම දෙයක් ම - අධ්‍යයනය, මිනිසුන්ටත් පොදු යහපතටත් ඉටු විය යුතු අපගේ යුතුකම්, යුද්ධය... වෙත අපි ගැඹුරු කෘතඥතාවකින් යුතුව ප්‍රවේශ විය යුතු යි; මොකද, අපට [යමකට] බද්ධ නොවී ඉන්න පුළුවන් වෙන්නේ ඒ දේවල් හරහා පමණයි. අප තුළ සැනසීම සොයාගත හැක්කේ එවිට පමණයි."
1930 ගණන්වල මැද භාගයේ දී ඕපන්හයිමර්ට මනෝ වෛද්‍යවරියක සහ වෛද්‍යවරියක වූ ජීන් ටැට්ලොක් හමු විය. ඔහු ඇය හා ප්‍රේමයෙන් බැඳුණි. බර්ඩ් සහ ෂර්වින්ගේ තොරතුරුවලට අනුව, ටැට්ලොක්ගේ චරිතයේ සංකීර්ණත්වය ඕපන්හයිමර්ගේ චරිතයට සමාන විය. ඇය විවිධ විෂයයන් පිළිබඳ පුළුල් දැනුමක් තිබුණු, සමාජය තුළ ඇති ගැටලු සහ අසාධාරණයන් පිළිබඳ සැලකිල්ලක් දැක්වූ තැනැත්තියක විය. ඇය ඇගේ කුඩාකල මිතුරෙකු විසින් විස්තර කරන ලද්දේ, "ශ්‍රේෂ්ඨත්වයේ ස්පර්ශය සහිත" අයෙකු ලෙසිනි. ඕපන්හයිමර් ටැට්ලොක්ට කිහිප වතාවක් ම විවාහ යෝජනා කළ නමුත් ඇය ඔහු ප්‍රතික්ෂේප කළා ය. රැඩිකල් දේශපාලනයට සහ ජෝන් ඩන්ගේ කාව්‍ය නිර්මාණ වෙත ඔහු හඳුන්වාදීමේ ගෞරවය ඇයට හිමි වේ. 1940 වසරේ දී ඕපන්හයිමර් ජීව විද්‍යාඥවරියක වූ කැතරින් "කිටී" හැරිසන් සමග විවාහ වූ පසුව ද මෙම යුවළ ඉඳහිට එකිනෙකා හමුවූහ. කිටී, ප්‍රොජෙක්ට් Yහි දී ඕපන්හයිමර් සමග වැඩ කළ අතර එහිදී ඇය විකිරණවල අන්තරායන් පිළිබඳව පර්යේෂණ කරමින් ෆ්ලෙබොටමිස්ට්වරියක [රෝගීන්ගෙන් රුධිරය ලබා ගන්නා වෛද්‍ය වෘත්තිකයෙකු] ලෙස සේවය කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1939 වසරේදී, න්‍යෂ්ටික තර්ජනය ගැන දේශපාලනඥයන්ට වඩා භෞතික විද්‍යාඥයන් බොහෝ සෙයින් සැලකිලිමත් වූ අතර, ප්‍රථමයෙන් මෙම කාරණය එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අවධානයට යොමු වූයේ ඇල්බට් අයින්ස්ටයින්ගේ ලිපියක් හේතුවෙනි. ඔවුන් දැක්වූ ප්‍රතිචාරය මන්දගාමී වූ නමුත් විද්‍යාත්මක ප්‍රජාව තුළ අනතුරු ඇඟවීම අඛණ්ඩව සංසරණය වූ අතර අවසානයේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා පෙළඹුණි. රටේ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥයෙකු ලෙස, ඕපන්හයිමර්, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව වඩා ත් බැරෑරුම්ව සොයා බැලීමට පත් කෙරුණු විද්‍යාඥයින්ගෙන් අයෙකු විය. 1942 වසරේ සැප්තැම්බර් මස වන විට ඕපන්හයිමර්ගේ කණ්ඩායමට ද ස්තූතිවන්ත වන්නට බෝම්බයක් නිපදවීමට හැකියාවක් ඇති බව පැහැදිලි වූ අතර, එය නිෂ්පාදනය සඳහා සැලසුම් කටයුතු ආරම්භ විය. බර්ඩ් සහ ෂර්වින් පවසන පරිදි, මේ ප්‍රයත්නයේ නායකයෙකු ලෙස ඔහුගේ නම සාකච්ඡාවට බඳුන් වන බව දැනගත් විට ඕපන්හයිමර් ඒ සඳහා සූදානම් වීම ඇරඹීය. "මම හැම කොමියුනිස්ට් සම්බන්ධයක්ම කපා දානවා," ඔහු එකල මිතුරෙකුට පැවසීය. "මොකද මම එහෙම නොකරනවා නම්, මාව යොදාගන්න රජයට අපහසු වේවි. රටට මගෙන් ගන්න තියෙන ප්‍රයෝජනයට කිසි ම බාධාවක් ඇති වෙන්න දෙන්න මට ඕනේ නෑ."
අයින්ස්ටයින් පසුව මෙසේ පැවසීය: "ඕපන්හයිමර්ගේ තියෙන අවුල තමයි ඔහු ඔහුට ආදරය නොකරන [යමකට] ආදරය කිරීම. ඒ කියන්නේ, එක්සත් ජනපද රජය." ඔහුගේ දේශප්‍රේමය සහ අන් අය තෘප්තිමත් කිරීමට ඇති ආශාව ඔහු බඳවා ගැනීමේ දී පැහැදිලිව ම වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. බෝම්බ ව්‍යාපෘතිය සඳහා විද්‍යාත්මක අධ්‍යක්ෂවරයෙකු සොයා ගැනීමේ වගකීම පැවරුනේ, මෑන්හැටන් ඉන්ජිනියර් ඩිස්ට්‍රික්ට්හි හමුදා නායක ජෙනරාල් ලෙස්ලි ග්‍රෝව්ස්ට ය. 2002 වසරේ දී පළ වූ Racing for the Bomb චරිතාපදානයට අනුව, විද්‍යාත්මක අංශයේ ප්‍රධානියා ලෙස ග්‍රෝව්ස් ඕපන්හයිමර්ගේ නම යෝජනා කළ විට ඔහුට විරුද්ධතාවලට මුහුණ දීමට සිදු විය. ඕපන්හයිමර්ගේ "දැඩි ලිබරල් පසුබිම" එහිදී අවධානය ලක් විය. නමුත් ඔහුගේ දක්ෂතාව සහ විද්‍යාව පිළිබඳ ඔහු තුළ පවතින දැනුම මෙන් ම, ග්‍රෝව්ස් ඔහු තුළ වූ "දැඩි අභිලාෂකාමීත්වය" ද පෙන්වා දුන්නේ ය. මෑන්හැටන් ව්‍යාපෘතියේ ආරක්ෂක ප්‍රධානියා මෙය ද නිරීක්ෂණය කළේ ය: "ඔහුගේ පක්ෂපාතී බව පමණක් නෙවෙයි, ඔහුගේ කාර්යය සාර්ථකව ඉටු කරන්න, විද්‍යාත්මක ඉතිහාසය තුළ ඔහුගේ නම ලියැවෙන්න බාධා කරන කිසිවකට ඔහු ඉඩ නොදෙන බව මට විශ්වාස යි."
1988 වසරේ දී The Making of the Atomic Bomb නම් ග්‍රන්ථයේ ඕපන්හයිමර්ගේ මිතුරා වූ ඉසිඩෝර් රාබි උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ, එය "කිසිසේත් ම සිදුවිය නොහැකි පත්වීමකැ"යි ඔහු සිතූ නමුත් පසුව එය "ජෙනරල් ග්‍රෝව්ස් ගත් බුද්ධිමත් තීරණයක්" බව ඔහු පිළිගත් බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Alamy
ලොස් ඇලමෝස්හි දී, ඕපන්හයිමර් වෙන කොතැනදීත් මෙන් ප්‍රධාන ධාරාවට එරෙහිව ගිය ඔහුගේ විශ්වාසයන් සහ මූලධර්මයන් යොදා ගත්තේ ය. ඔස්ට්‍රියානු ජාතික භෞතික විද්‍යාඥ ඔටෝ ෆ්‍රිස්ච් ඔහුගේ What Little I Remember ස්වයං චරිතාපදානයේ දී, ඕපන්හයිමර් අවශ්‍ය වූ විද්‍යාඥයින් පමණක් නොව "චිත්‍ර ශිල්පියෙකු, දාර්ශනිකයෙකු සහ තව ත් අසම්භව්‍ය චරිත කිහිපයක් ද බඳවා ගත්තේ ය; ඔවුන් නොමැතිව ශිෂ්ට සම්පන්න සමාජයක් අසම්පූර්ණ වනු ඇතැ යි ඔහුට හැඟුණි,"යි සිහිපත් කළේ ය.
යුද්ධයෙන් පසු ඕපන්හයිමර්ගේ ආකල්පය වෙනස් වන බවක් පෙනෙන්නට විය. ඔහු න්‍යෂ්ටික අවි "ආක්‍රමණශීලීත්වයේ, විස්මයේ සහ භීෂණයේ" උපකරණ ලෙස ත්, ආයුධ කර්මාන්තය "යක්ෂයාගේ වැඩක්" ලෙස ත් විස්තර කළේ ය. 1945 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති රැස්වීමකදී ඔහු ජනාධිපති ටෲමන්ට ප්‍රසිද්ධියේ මෙසේ පැවසීය: "මට දැනෙනවා මගේ අත්වල ලේ ගෑවිලා තියෙනවා." ජනාධිපතිවරයා පසුව පැවසුවේ: "මම ඔහුට කිව්වා ලේ තියෙන්නේ මගේ අතේ - මම ඒ ගැන කරදර වෙන්නම් කියලා."
එය ඕපන්හයිමර් මහත් සේ ගරු කරන භගවත් ගීතාවේ සඳහන්, අර්ජුන කුමරු සහ ක්‍රිෂ්ණා දෙවියන් අතර සංවාදයට සමාන වේ. අර්ජුන සටන් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ, ඔහු ඔහුගේ සගයන් ඝාතනයට වගකිව යුතු බව විශ්වාස කරන නිසා ය. නමුත් ක්‍රිෂ්ණා ඔහු තුළ වූ එම බර ඉවත් කරයි: "මේ මිනිසුන්ගේ ඝාතකයා මා තුළින් දකින්න... කීර්තිය, ජයග්‍රහණය, ජයග්‍රාහී රජෙකු වීම වෙනුවෙන් සටන් කරන්න! ඔවුන් දැනටමත් මා විසින් මරා දමනු ලැබ ඇත; ඔබ ඔබේ රාජකාරිය ඉටු කරන්න."
බෝම්බය නිපදවීමේ කටයුතු අතරතුර, ඕපන්හයිමර් ඔහුගේ සහ ඔහුගේ සගයන්ගේ සදාචාරාත්මක දෙගිඩියාවන් සමනය කිරීමට ඒ හා සමාන තර්කයක් භාවිත කර ඇත. විද්‍යාඥයන් වශයෙන්, ආයුධය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ තීරණ සඳහා ඔවුන් වගකිව යුතු නැති බව ත්, ඔවුන්ගේ කාර්යය සඳහා පමණක් වගකිව යුතු බව ත් ඔහු ඔවුන්ට පැවසුවේ ය. ලේ වැගිරීමක් සිදුවුවහොත් එය තැවරෙන්නේ දේශපාලනඥයන්ගේ අත්වල ය. කෙසේ වෙතත්, බෝම්බය නිපදවීම අවසන් වූ පසු, මෙම ස්ථාවරය පිළිබඳ ඕපන්හයිමර්ගේ විශ්වාසය දෙදරා ගිය බව පෙනේ. බර්ඩ් සහ ෂර්වින් පවසන පරිදි, පශ්චාත් යුධ සමයේ දී පරමාණුක බලශක්ති කොමිසමේ ඔහුගේ භූමිකාව තුළ දී ඔහු ඔහුගේ වැඩ කටයුතු හරහා නිර්මාණයට මඟපෑදූ වඩාත් බලවත් හයිඩ්‍රජන් බෝම්බය ඇතුළු තවත් ආයුධ නිපදවීමට එරෙහිව තර්ක කළේ ය.
මෙම ප්‍රයත්නයන් හේතුවෙන් ඕපන්හයිමර් 1954 වසරේ දී එක්සත් ජනපද රජයේ විමර්ශනයට ලක් වූ අතර, ඔහුට රහසිගත තොරතුරු සඳහා ප්‍රවේශ වීමට තිබුණු අවසරය ඉවත්කර ප්‍රතිපත්තිමය කටයුතු සඳහා වූ ඔහුගේ දායකත්වයේ අවසානය සනිටුහන් කළේ ය. ඔහු වෙනුවෙන් විද්වත් ප්‍රජාව පෙරට පැමිණියහ. 1955 වසරේ දී The New Republic සඟරාව වෙත ලියමින් දාර්ශනිකයෙකු වූ බර්ට්‍රන්ඩ් රසල් ප්‍රකාශ කළේ, "විමර්ශනයෙන් ඔහු වැරදි කර ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි අතර ඉන් එකක් ආරක්ෂක දෘෂ්ටි කෝණයකින් බැලූකල වඩාත් බරපතල ය. නමුත් ඔහු ද්‍රෝහිකමක් සිදුකළේයැ යි හෝ දේශද්‍රෝහීයැ යි සැලකිය හැකි කිසිවක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොතිබිණි... මේ විද්‍යාඥයෝ ඛේදජනක උභතෝකෝටිකයකට හසුවූහ."
1963 වසරේ දී, එක්සත් ජනපද රජය ඔහුට අහිමි වී ගිය කීර්තිය යළි ලබාදීමේ අභිප්‍රායෙන් එන්රිකෝ ෆර්මි සම්මානය පිරිනැමූ නමුත්, ඔහුගේ මරණයෙන් වසර 55කට පසු 2022 වසර වන තුරු ත්, රහසිගත තොරතුරු සඳහා ප්‍රවේශය ඉවත් කරමින් 1954 වසරේ ගත් තීරණය අවලංගු කර ඕපන්හයිමර්ගේ පක්ෂපාතීත්වය තහවුරු කිරීමට එක්සත් ජනපද රජය පියවර නොගත්තේ ය.
ඕපන්හයිමර්ගේ ජීවිතයේ අවසාන දශකය පුරාවට ම, බෝම්බය නිෂ්පාදනය කිරීමේ දී තාක්ෂණික වශයෙන් ලද ජයග්‍රහණය පිළිබඳ ආඩම්බරය මෙන් ම එහි ප්‍රතිවිපාක පිළිබඳ වූ වරදකාරී හැඟීම් ද ඔහු තුළ සමාන්තරව පැවැතිණි. ඒ සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශවල, බෝම්බය නිෂ්පාදනය කිරීම හුදෙක් නොවැළැක්විය හැකි දෙයක් වූ බව කිහිප වතාවක් ම සඳහන් කර ඇත. ඔහු සිය ජීවිතයේ අවසාන වසර 20 ගත කළේ නිව් ජර්සිහි ප්‍රින්ස්ටන්හි උසස් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස අයින්ස්ටයින් සහ අනෙකුත් භෞතික විද්‍යාඥයන් සමග රාජකාරියේ යෙදෙමිනි.
![Albert Einstein would say of the scientist: "The trouble with Oppenheimer is that he loves [something that] doesn’t love him – the United States government](https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/a141/live/dc9b4fe0-305a-11ee-8f52-fbf70e4bf742.jpg.webp)
ඡායාරූප මූලාශ්‍රය, Alamy
ලොස් ඇලමෝස්හි දී මෙන් මෙහිදී ද ඔහු අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ අතර, විද්‍යාවට එහි සොයා ගැනීම් වඩා ත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මානව ශාස්ත්‍ර අවශ්‍ය බව ඔහුගේ දේශනවලදී අවධාරණය කළේයැ යි බර්ඩ් සහ ෂර්වින් ලියයි. මේ සඳහා ඔහු සම්භාව්‍යවාදීන්, කවියන් සහ මනෝවිද්‍යාඥයන් ඇතුළු විද්‍යාඥයන් නොවන බොහෝ පිරිසක් බඳවා ගත්තේ ය.
ඔහු පසුව පරමාණුක ශක්තිය එම කාලයේ බුද්ධිමය මෙවලම් අභිබවා ගිය ගැටලුවක් ලෙස - ජනාධිපති ටෲමන්ගේ වචනවලින් පවසන්නේ නම් "පැරණි අදහස් රාමුව තුළ සලකා බැලිය නොහැකි තරම් විප්ලවීය නව බලවේගයක්" ලෙස - සැලකීමට පටන් ගත්තේ ය. 1984 වසරේ දී Uncommon Sense එකතුව හරහා ප්‍රකාශයට පත් කෙරුණු, 1965 වසරේ දී සිදු කළ දේශනයක දී ඔහු මෙසේ පැවසීය: "මං අහලා තියෙනවා අපේ කාලේ හිටපු සමහර ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගෙන්, ඒ අය පුදුම හිතෙන දෙයක් හොයා ගත්තා ම, ඒක හොඳයි කියලා ඒ අය දැන ගත්තේ ඒ අයට බය හිතුණු නිසා." යම් නොසන්සුන්කාරී විද්‍යාත්මක සොයාගැනීම් ගැන සඳහන් කරන විට, ජෝන් ඩන් කවියා උපුටා දැක්වීමට ඔහු ප්‍රිය කළේ ය: "මේ සියල්ල කැබලිවලට කැඩිලා විසිරිලා. තවදුරටත් ඒවා අතර පැහැදිලි බවක් නැහැ."
ඕපන්හයිමර් රස විඳි තව ත් කවියෙකු වන ජෝන් කීට්ස්, ඔහු අගය කළ පුද්ගලයන් තුළ ඇති පොදු ගුණාංගයක් විස්තර කිරීමට "negative capability" යන වාක්‍ය ඛණ්ඩය නිර්මාණය කළේ ය: "එනම්, මිනිසෙකු කරුණු හෝ හේතු සෙවීමකින් තොරව අවිනිශ්චිතතාවන්, අබිරහස් සහ සැකයන් සමග කටයුතු කිරීමට සමත්වීම" ය. දාර්ශනිකයෙකු වූ රසල් ඕපන්හයිමර්ගේ "දෙයක් සරලව දැකීමට ඇති නොහැකියාව, සංකීර්ණ හා සියුම් සංජානන හැකියාව ඇති අයෙකුට පුදුමයක් නොවන නොහැකියාව" ගැන ලියන විට අදහස් කළේ මෙවැනි දෙයක් බව පෙනේ. ඕපන්හයිමර්ගේ පරස්පර විරෝධී චරිත ලක්ෂණ, ඔහුගේ අනිත්‍යතාව, කවි සහ විද්‍යාව අතර ඔහුගේ අවියෝජනීය සම්බන්ධය, සරල විස්තර නොසලකා හැරීමේ ඔහුගේ පුරුද්ද - ඇතැම්විට, බෝම්බය නිර්මාණය කිරීමේ හැකියාව ඔහුට සැපයූ ගුණාංග ලෙස අපි මේවා හඳුනා ගනිමු.

ඡායාරූප මූලාශ්‍රය, Ben Platts-Mills
මෙම මහා භයානක සොයා ගැනීම මධ්‍යයේ වුව ද, ඕපන්හයිමර් ඔහුගේ වයස 20 ගණන්වල දී පුරෝකථනය කළ "කඳුලින් බරවුණු මුහුණක් පෙන්වන පුද්ගලයා" ජීවමාන කළේ ය. "ට්‍රිනිටි" පරීක්ෂණයේ නම පැමිණ ඇත්තේ, ජෝන් ඩන්ගේ කවියක් වන Batter my heart, three-person'd God තුළින්යැ යි සැලකේ: "That I may rise and stand, o'erthrow me, and bend/Your force to break, blow, burn, and make me new." ඔහුට ඩන්ගේ සාහිත්‍යය හඳුන්වා දුන්, ඔහු ආදරයෙන් බැඳී සිටි බවට ඇතැමුන් සිතන ජීන් ටැට්ලොක්, පරීක්ෂණයට පෙර වසරේ සියදිවි නසාගෙන තිබුණි. ඕපන්හයිමර්ගේ නිර්මාණාත්මක චින්තනයේත්, ආදරය සහ දුක පිළිබඳව ඔහු තුළ වූ අවබෝධයෙත් සලකුණු බෝම්බ ව්‍යාපෘතියේ සෑම තැනක ම දැකගත හැකිය. ඇතැම් විට එය ජෙනරාල් ග්‍රෝව්ස් ප්‍රොජෙක්ට් Yහි රැකියාව සඳහා ඕපන්හයිමර් තෝරා ගැනීමට සිදු කළ සම්මුඛ පරීක්ෂණයේ දී ඔහු විසින් හඳුනා ගන්නා ලද අභිලාෂය විය හැකි ය; නැතහොත් එය, ඔහුගේ අවස්ථාවට උචිත පරිදි හැඩගැසීමේ හැකියාව භාවිතකර ඒ මොහොතේදී ඔහු විසින් ආරෝපණය කර ගන්නා ලද දැඩි අභිලාෂකාමීත්වය විය හැකි ය. බෝම්බය නිර්මාණය වූයේ පර්යේෂණවල ප්‍රතිඵල නිසා සේ ම, බෝම්බය යථාර්ථයක් බවට පත් කළ හැකිවෙකු ලෙස තමා දෙස බැලීමට ඕපන්හයිමර් තුළ වූ හැකියාව ද නිසා ය.
නව යොවුන් වියේ සිට ම දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙකු වූ ඕපන්හයිමර් ඔහුගේ ජීවිත කාලය තුළ දරුණු ලෙස ක්ෂය රෝගයෙන් පීඩා වින්දේ ය. ඔහු 1967 වසරේ දී වයස අවුරුදු 62ක්ව සිටියදී උගුරේ ඇතිවූ පිළිකාවකින් මියගියේ ය. ඔහුගේ මරණයට වසර දෙකකට පෙර, ඔහු තුළ වූ සංකීර්ණ බවින් මොහොතකට බැහැරවූ දුර්ලභ අවස්ථාවක දී විද්‍යාවේ භාවිතාව කවියෙන් වෙනස් වන ආකාරය ඔහු පැහැදිලිව හුවා දැක්වී ය. කවිය මෙන් නොව, "විද්‍යාවේ අරමුණ නැවත එම වරද නොකිරීමට ඉගෙනීම යි," ඔහු පැවසීය.












