ආමන්ඩ් ඩුප්ලැන්ටිස්: 13 වරක් ලෝක වාර්තා බිඳ හෙළූ රිටි පැනීමේ ශූරයා

Armand Duplantis

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආමන්ඩ් ඩුප්ලැන්ටිස්
    • Author, බීබීසී සිංහල

ඔලිම්පික් ශූර ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් (Armand Duplantis) රිටි පැනීම පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව නැවත වරක් බිඳ දැමීමට සමත් විය.

ඔහු මෙම නව වාර්තාව පිහිටවූයේ හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැති ග්‍රොන් ප්‍රී (Hungarian Grand Prix) මලල ක්‍රීඩා තරගාවලියේදී ය.

මෙය අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය මෙම තරගාවලිය මෙහෙයවූ රන් කාණ්ඩයේ (World Athletics Continental Tour Gold meeting) තරගාවලියකි.

ඩුප්ලැන්ටිස් (අගෝස්තු 12 වැනිදා) මෙම ලෝක වාර්තාවේදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව සටහන් වූයේ මීටර 6.29ක් ලෙස ය.

එම තරගයේ ඔහුගේ දෙවන අවස්ථාවේදී තමන්ගේ ම ලෝක වාර්තාව යළිත් බිඳ දැමීමට ඩුප්ලැන්ටිස් සමත් විය.

මෙම ඔලිම්පික් රිටි පැනීමේ ශූරයා නිරන්තයෙන් ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත්ව සිටින්නේ ලෝක වාර්තාව අවස්ථා ගණනාවකදී ම බිඳ දැමීම හේතුවෙනි.

මෙවර ඔහු රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කළේ, 13 වන වරට ය.

මේ වසරේදී අවස්ථා තුනකදී ම එම වාර්තාව බිඳ දැමීමට ඩුප්ලැන්ටිස් සමත් වීම විශේෂත්වයකි.

මීට පෙර ප්‍රංශයේ සහ ස්වීඩනයේ පැවති තරගවලදී ද ඔහු මෙම වසර තුළ රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් විය.

ඩුප්ලැන්ටිස් අවසන් වරට ලෝක වාර්තාව බිඳ දැමුවේ පසුගිය ජූනි මාසයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ය. එවර ඔහුගේ දක්ෂතාව සටහන් වූයේ මීටර 6.28ක් ලෙසිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩුප්ලැන්ටිස් අවසන් වරට ලෝක වාර්තාව බිඳ දැමුවේ පසුගිය ජූනි මාසයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ය. එවර ඔහුගේ දක්ෂතාව සටහන් වූයේ මීටර 6.28ක් ලෙසිනි.

ඩුප්ලැන්ටිස් අවසන්වරට ලෝක වාර්තාව බිඳ දැමුවේ පසුගිය ජූනි මාසයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ය. එවර ඔහුගේ දක්ෂතාව සටහන් වූයේ මීටර 6.28ක් ලෙසිනි.

මෙම ලෝක වාර්තාව පිහිටුවීම සමග ඩුප්ලැන්ටිස්ට අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් තම අනුග්‍රාහකයන්ගෙන් ලැබී ඇතැයි වාර්තා වේ.

ඩුප්ලැන්ටිස් පළමු වරට රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමුවේ 2020 වසරේදී ය. ප්‍රංශයේ රෙනෝඩ් ලැව්ලිනි (Renaud Lavillenie) පිහිටුවා තිබූ වාර්තාව එවර ඔහු බිඳ දැමුවේ මීටර 6.17ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

සර්ගෙයි බුබ්කා

ලොව වැඩි ම අවස්ථා ගණනකදී ලෝක වාර්තාවක් බිඳ දැමූ රිටි පැනීමේ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටින්නේ යුක්රේනයේ සර්ගෙයි බුබ්කා ය.

ඔහු 1984 සිට 1994 දක්වා දශකයක කාලය තුළ එළිමහන් තරගවලදී අවස්ථා 17කදී සහ ගෘහස්ථ තරගවලදී අවස්ථා 18කදී ලෙස රිටි පැනීම ඉසව්වේ ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් විය.

එමෙන් ම, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි තුනකදී ම අඛණ්ඩව රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය.

Duplantis

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අඛණ්ඩව වාර්තා බිඳ දැමීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

25 හැවිරිදි ආමන්ඩ් ඩුප්ලැන්ටිස් 2019 දෝහා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඉන් අනතුරුව පැවති 2022 ඉයුජින් සහ 2023 බුඩාපේස්ට් මලල ක්‍රීඩා ලෝක ශූරතාවලි දෙකේදී ම එම ඉසව්වේ ලෝක ශූරයා බවට පත් විය.

ජපානයේ ටෝකියෝ නුවර ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට ද ඩුප්ලැන්ටිස් සහභාගී වීමට නියමිත ය.

ඔහු එහිදී ද රන් පදක්කම දිනා ගැනීමට සමත් වුවහොත්, අඛණ්ඩව වසර තුනකදී මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ රන් පදක්කම් 3ක් දිනූ ලොව දෙවන රිටි පැනීමේ ශූරයා ලෙස වාර්තා අතරට එක් වීමට ද ඩුප්ලැන්ටිස්ට හැකි වනු ඇත.

2020 ටෝකියෝ සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල දෙකේදී ම රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට ඩුප්ලැන්ටිස් සමත් විය.

ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලි 3කදී ද ඔහු රන් පදක්කම් දිනා ගත්තේ ය.

2022 බෙල්ග්‍රේඩ්, 2024 ග්ලාස්ගෝ සහ 2025 නැංජින් ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලි සියල්ලේ ම රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ද, ඔහු ය.

රිටි පැනීමේ ඉසව්වෙන් මීටර 6.10ට වඩා වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයින් තිදෙනා අතරට ද ඩුප්ලැන්ටිස් ඇතුළත්ව සිටී.

මීට පෙර, එම දක්ෂතාව ප්‍රදර්ශනය කර ඇත්තේ ප්‍රංශයේ රෙනෝඩ් ලැව්ලිනි සහ යුක්රේනයේ සර්ගෙයි බුබ්කා පමණි.

2015 යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගන්නා විට ඩුප්ලැන්ටිස්ගේ වයස අවුරුදු 15කි. 2017 වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහුට හිමි වූයේ ලෝකඩ පදක්කමයි.

කනිෂ්ඨ, යොවුන්, සහ ජ්‍යෙෂ්ඨ යන අංශ සියල්ලේ ම මලල ක්‍රීඩා ලෝක ශුරතාවලදී ශූරයින් බවට පත්වූ ක්‍රීඩකයින් කිහිප දෙනා අතරට ඩුප්ලැන්ටිස් ද ඇතුළත්ව සිටී.

2020 සහ 2022 වසරවලදී ලොව දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මාන උළෙලේදී සම්මාන දිනා ගත්තේ ද ඔහු ය.

2023 වසරේදී පිටිය තරග අංශයේ ලොව දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ඩුප්ලැන්ටිස් සම්මාන දිනා ගත්තේ ය.

ඩුප්ලැන්ටිස්ගේ පෞද්ගලික තොරතුරු

මේ වන විට ස්වීඩනයට ක්‍රීඩා කළ ද, ඩුප්ලැන්ටිස් උපත ලැබුවේ ඇමෙරිකාවේ ලුසියානා හිදී ය.

ඔහුගේ පියා අමෙරිකානු ජාතික ග්‍රේග් ඩුප්ලැන්ටිස් ය.

ආමන්ඩ් ඩුප්ලැන්ටිස් මෙන් ම ග්‍රේග් ද රිටි පැනීම ඉසව්වට දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත. ඔහුගේ මව හෙලේනා ස්වීඩන ජාතිකයෙකු වන අතර, හිටපු දස ප්‍රයාම සහ වොලිබෝල් ක්‍රීඩිකාවකි.

ඩුප්ලැන්ටිස්ගේ සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියක ද ක්‍රීඩාවෙන් දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත.

ආමන්ඩ් ඩුප්ලැන්ටිස් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ අමෙරිකාවේ Lafayette High School වෙතිනි.

මුන්ඩෝ යන සුරතල් නාමයෙන් ද ඩුප්ලැන්ටිස් හඳුන්වයි. ඔහුට එම නම ලබා දී ඇත්තේ ඔහුගේ පියාගේ ඉතාලි ජාතික මිතුරෙකි. මුන්ඩෝ යන්න ඉතාලි භාෂාවෙන් 'ලෝකය' යන අර්ථය දෙයි. කුඩා කල පියාගේ මිතුරා ලබා දුන් සුරතල් නාමයට උපරිම සාධාරණයක් ඉටු කරමින් ලොව ම ජය ගැනීමට ඩුප්ලැන්ටිස් සමත්ව සිටී.