අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මනූෂ නානායක්කාරට ඇප

මනූෂ නානායක්කාරගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔක්. 15 නියම කළේ ය.

කොමිෂන් සභාවේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 4 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද නියම කළේ ය.

එසේ ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පැනවීය.

'අධිකරණය මගහැර යාමට පවතින ප්‍රවණතාව අවමයි'

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරු විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම ඔක්. 14 දින මෙම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ය.

අල්ලස් කොමිසම විසින් තමන්ව ද්වේෂ සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පෙත්සම්කාර මනූෂ්‍ය නානායක්කාර ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි බව එහි අවසන් පිටුව කියවමින් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව සැකකාර හිටපු අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන් ම අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය. එහිදී ඔහු අත්අඩංගුවට පත් විය.

එවැනි වාතාවරණයක් තුළ මෙම සැකකරු අධිකරණය මගහැර යාමට පවතින ප්‍රවණතාව අවම මට්ටමක පවතින බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, පැමිණිල්ල සහ විත්තිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු විශ්ලේෂණය කරමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද මහේස්ත්‍රත්වරයා වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල දෙසැම්බර් මස 10 වන දා කැඳවීමට දින නියම විය.

චෝදනාව කුමක් ද?

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී තමන්ට දේශපාලනික වශයෙන් හිතවත් පුද්ගලයින් යැවීම තුළින් සිය බලය අයුතු ලෙස පරිහරණය කර දූෂණය නමැති වරද සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු ඇමති මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.