බටහිර ඉවුරේ ඉඩම් ශීඝ්‍රයෙන් අත්පත් කර ගන්නා අන්තවාදී පිටස්තර පදිංචිකරුවන්

Graphic composite showing extremist outpost settler Moshe Sharvit, who is bearded and squinting into the distance, wearing a khaki T-shirt and baseball cap, flanked by the Israeli flag and a buggy he uses to patrol land in the West Bank.
    • Author, ජේක් ටාකි, සියාඩ් අල්-කටාන්, එමීර් නාඩර් සහ මැතිව් කැසෙල්
    • Role, බීබීසී අයි ඉන්වෙස්ටිගේෂන්ස්

පසුගිය ඔක්තෝබර් මාසයේදී කිසියම් පුද්ගලයෙකු තම හිස වෙත තුවක්කුවක් එල්ල කර වසර 50ක් පුරා තමන් නිවස ලෙස හැඳින්වූ ස්ථානයෙන් ඉවත් වන ලෙස තමාට පැවසූ බව පලස්තීන මහළු කාන්තාවක වන අයේෂා ෂ්ටේයේ පවසයි.

ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගනු ලැබ සිටින බටහිර ඉවුරේ පිහිටි ඇගේ නිවසට ආසන්නයේ නීතිවිරෝධී පදිංචිකරුවන්ගේ වාසස්ථානයක් ස්ථාපනය කිරීමෙන් පසු 2021දී ආරම්භ වූ වඩා ත් ප්‍රචණ්ඩකාරී හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම් මාලාවේ කූටප්‍රාප්තිය මෙම සන්නද්ධ තර්ජනය බව ඇය බීබීසීයට පැවසුවා ය.

මෑත වසරවලදී මෙම අනවසර පදිංචි වීම් ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව බීබීසීය විසින් සිදු කරන ලද නව විශ්ලේෂණය පෙන්වා දෙයි. දැනට බටහිර ඉවුර පුරා මේවා අවම වශයෙන් 196ක් ඇති අතර, 29ක් පසුගිය වසරේ පිහිටුවනු ලැබ ඇත. එය පෙර වසරකට වඩා වැඩි සංඛ්‍යාවකි.

ගොවිපළවල්, නිවාස සමූහ හෝ විටෙක කැරවෑන් සමූහ පවා විය හැකි එම අනවසර පදිංචි වීම් සඳහා බොහෝ විට නිර්වචනය කරන ලද සීමා මායිම් නොමැති අතර ඊශ්‍රායල සහ ජාත්‍යන්තර නීතිය යටතේ මේවා නීති විරෝධී වේ.

නමුත් ඊශ්‍රායල රජය සමග සමීප සබඳතා පවත්වන සංවිධාන විසින් මෙම නව නීතිවිරෝධී වාසස්ථාන පිහිටුවීම සඳහා මුදල් සහ ඉඩම් ලබා දී ඇති බවට දැක්වෙන ලේඛන බීබීසී ලෝක සේවයට නිරීක්ෂණය කිරීමට හැකිව තිබේ.

බීබීසීය ඒවායේ ශීඝ්‍ර ව්‍යාප්තිය පරීක්ෂා කිරීම සඳහා විවෘත මූලාශ්‍ර හරහා ලැබෙන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කර ඇති අතර, අයේෂා ෂ්ටේයේ තමාට තර්ජනය කළ බව පවසන පදිංචිකරු ගැන ද විමර්ශනය කර ඇත.

විශේෂඥයින් පවසන්නේ, ජනාවාසවලට වඩා වේගයෙන් අනවසර පදිංචි වීම්වලදී විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීම සිදුවන අතර පලස්තීන ප්‍රජාවන් ප්‍රචණ්ඩ ක්‍රියා හා හිරිහැරවලට ලක්වීමට ඒවා වැඩි වැඩියෙන් සම්බන්ධ වී ඇති බව ය.

Palestinian grandmother Ayesha Shtayyeh, wearing a long-sleeved black tunic and white headscarf, with a serious expression on her face. She sits in front of a huge swathe of yellow flowers.

ඡායාරූප මූලාශ්‍රය, Matthew Cassel / BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, අයේෂා ෂ්ටේයේ තමා නෙරපා හරින ලද නිවසට යාමට උත්සහ කරයි

අනවසර පදිංචි වීම් සම්බන්ධයෙන් නිල සංඛ්‍යා ලේඛන නොමැත. නමුත් ඊශ්‍රායල ජනාවාස විරෝධී නිරීක්ෂණ කණ්ඩායම් වන Peace Now සහ Kerem Navot මෙන් ම බටහිර ඉවුරේ අත්පත් කරගෙන ඇති කොටසක් පාලනය කරගෙන යන පලස්තීන අධිකාරිය විසින් රැස් කරන ලද, ඒවා පිළිබඳ තොරතුරු ඇතුළත් ලැයිස්තු සහ ඒවා පවතින ස්ථාන ගැන බීබීසී අයි සමාලෝචනය කළේ ය.

මෙම ස්ථානවල අනවසර වාසස්ථාන ඉදිකර ඇති බව තහවුරු කර ගැනීමට සහ ඒවා පිහිටුවා ඇති වර්ෂය තහවුරු කර ගැනීමට අපි චන්ද්‍රිකා ඡායාරූප සිය ගණනක් විශ්ලේෂණය කළෙමු. මෙය තහවුරු කර ගැනීම සහ මෙම අනවසර වාසස්ථාන තවමත් භාවිතයේ පවතින බව පෙන්වීමට බීබීසීය සමාජ මාධ්‍යවල පළ වූ පෝස්ට්, ඊශ්‍රායල රජයේ ප්‍රකාශන සහ ප්‍රවෘත්ති මූලාශ්‍ර ද පරීක්ෂා කළේ ය.

අපගේ විශ්ලේෂණයෙන් පෙනී ගියේ, අප විසින් තහවුරු කර ගන්නා ලද අනවසර පදිංචිකරුවන්ගේ වාසස්ථාන 196න් අඩක් පමණ (89) 2019 සිට ඉදිකර ඇති බව ය.

Four maps showing the locations of settler outposts in the occupied West Bank - verified by the BBC - in four snapshot years - 2012, 2016, 2020, 2024.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේවායින් සමහරක් බටහිර ඉවුරේ පලස්තීන ප්‍රජාවන්ට එරෙහිව වර්ධනය වන ප්‍රචණ්ඩත්වය සමග සම්බන්ධ වේ. මෙම වසර මුලදී, පලස්තීනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට පෙළඹවීම හෝ එවැනි ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය අන්තවාදී පදිංචිකරුවන් අට දෙනෙකුට සම්බාධක පැනවූයේ ය. ඔවුන්ගෙන් අවම වශයෙන් හය දෙනෙක් නීතිවිරෝධී වාසස්ථාන තනාගෙන ගෝ ඒවාවල ජීවත් වෙති.

මෙම ලිපියේ අන්තර්ගත අපගේ සොයාගැනීම්වලට ප්‍රතිචාර දක්වමින් එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: "මේ ලිපියේ දැක්වෙන පරිදි පලස්තීන ප්‍රජාවට එරෙහිව පෙර නොවූ විරූ මට්ටමේ පිටස්තර පදිංචිකරුවන්ගෙන් එල්ලවන ප්‍රචණ්ඩත්වය අප තරයේ හෙළා දකිනවා වගේ ම, දණ්ඩමුක්ති සංස්කෘතිය අවසන් කර වගකිවයුත්තන් නතර කරන ලෙස ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."

බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදාවේ හිටපු අණදෙන නිලධාරියෙකු වන අවී මිස්රාහි පවසන්නේ බොහෝ පදිංචිකරුවන් නීතිගරුක ඊශ්‍රායල පුරවැසියන් වන නමුත් අනවසර පදිංචිවීම් පැවතීමෙන් ප්‍රචණ්ඩත්වය වැඩි වීමට ඉඩ ඇති බව ඔහු පිළිගන්නා බව ය.

"ඔබ මේ ප්‍රදේශයේ නීතිවිරෝධී විදිහට කවදා පදිංචි වුණත්, ඒකෙන් වෙන්නේ ඒ ප්‍රදේශයේ ම වාසය කරන පලස්තීනුවන් සමග ගැටුම් ඇති වෙන එක," ඔහු පවසයි.

එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවන ලද අන්තවාදී පිටස්තර පදිංචිකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ මෝෂේ ෂාවිට් ය. අයේෂා පවසන, ඇයට තුවක්කු පෙන්වා තර්ජනය කළ පුද්ගලයා ඔහු ය. ඔහු සහ ඔහු අයේෂාගේ නිවසේ සිට මීටර් 800කටත් අඩු දුරකින් පිහිටුවාගෙන ඇති වාසස්ථානය සඳහා ද මාර්තු මාසයේදී එක්සත් ජනපද රජය විසින් සම්බාධක පනවනු ලැබ ඇත. ඔහු අනවසරයෙන් පදිංචි වී ඇති ස්ථානය හඳුන්වා ඇත්තේ, "ඔහු පලස්තීනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන කඳවුරක්" ලෙසිනි.

"ඌ අපේ ජීවිතය අපායක් කළා," තම පුතු සමග නැබ්ලස් අසල නගරයක ජීවත් වීමට සිදුව ඇති අයේෂා පවසයි.

A graphic of satellite imagery depicting the development of three different outposts in the West Bank. The first compares the area where Moshe Sharvit built his outpost. In May 2021, the area is an empty red-coloured ploughed field with no development. Then in June 2024, we see a number of small buildings dotted around. The second shows empty land near the Metzad settlement in Feb 2020 and then with buildings making up an outpost in July 2024. The third shows empty land near the Shim'a settlement in April 2020 and a number of buildings comprising an outpost at the same site in July 2024.

යුදෙව්වන් වාසය කරන ඊශ්‍රායල නීතිය යටතේ බටහිර ඉවුර පුරා නීත්‍යනුකූලව ඉදිකරන ලද විශාල, සාමාන්‍යයෙන් නාගරික, ජනාවාස මෙන් නොව, අනවසර ලෙස පුද්ගලයින් පදිංචි වන මෙම ස්ථානවල සැලසුම් සඳහා ඊශ්‍රායලයේ කිසිදු නිල අනුමැතියක් ලැබී නොමැත.

[වෙනත් පාර්ශවයක් විසින්] අත්පත් කරගනු ලැබ ඇති ප්‍රදේශයකට සිවිල් ජනයා ගෙන ගොස් පදිංචි කරවීම තහනම් කරන ජාත්‍යන්තර නීතිය යටතේ, මෙම ද්විත්වය ම නීතිවිරෝධී ලෙස සලකනු ලබයි. නමුත් බටහිර ඉවුරේ වෙසෙන බොහෝ පදිංචිකරුවන් කියා සිටින්නේ, යුදෙව්වන් ලෙස ඔවුන්ට භූමියට ආගමික හා ඓතිහාසික සම්බන්ධයක් ඇති බව ය.

ඊශ්‍රායලය සියලු ම නව ජනාවාස ක්‍රියාකාරකම් නැවැත්විය යුතු අතර, අත්පත් කරගෙන සිටින සිටින පලස්තීන ප්‍රදේශයෙන් සියලු ම පිටස්තර පදිංචිකරුවන් ඉවත් කළ යුතු බව ජූලි මාසයේදී, එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය, සුවිශේෂී මතයක් ප්‍රකාශ කරමින් පැවසුවේ ය. ඊශ්‍රායලය එම මතය "මූලික වශයෙන් වැරදි" සහ ඒකපාර්ශ්වික බව පවසමින් ප්‍රතික්ෂේප කළේ ය.

අනවසර පදිංචි වීම් සඳහා නීත්‍යනුකූල තත්ත්වයක් නොමැති වුව ද, ඒවායේ ශීඝ්‍ර වර්ධනය වැළැක්වීමට ඊශ්‍රායල රජය උත්සහ කළ බවට ඇති සාක්ෂි අල්ප ය.

ඊශ්‍රායල රාජ්‍යය සමග සමීප සබඳතා ඇති සංවිධාන දෙකක් බටහිර ඉවුරේ නව අනවසර වාසස්ථාන පිහිටුවීම සඳහා මුදල් සහ ඉඩම් ලබා දී ඇති ආකාරය පෙන්වන නව සාක්ෂි නිරීක්ෂණය කිරීමට බීබීසීයට හැකි විය.

An outpost in the West Bank - beige non-descript building and a car overlook a valley with mountains in the distance. The sky is blue with some small white clouds.

ඡායාරූප මූලාශ්‍රය, Matthew Cassel / BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, අනවසර වාසස්ථාන සඳහා බොහෝ විට නිශ්චිත සීමාවන් නොමැති අතර ඊශ්‍රායල නීතිය යටතේ ඒවා නීති විරෝධී වේ

ඉන් එකක් වන්නේ, World Zionist Organization (WZO) ය. එය ශතවර්ෂයකටත් අධික කාලයකට පෙර ආරම්භ කරන ලද සහ ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමට මූලික වූ ජාත්‍යන්තර ආයතනයකි. එහි 1967 සිට ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබ සිටින විශාල භූමි ප්‍රදේශ කළමනාකරණය කිරීමේ වගකීම දරන ජනාවාස අංශයක් (Settlement Division) ඇත. මෙම අංශය සම්පූර්ණයෙන් ම ඊශ්‍රායල මහජන මුදලින් යැපෙන අතර එය "ඊශ්‍රායල් රාජ්‍යයේ හස්තයක්" ලෙස හඳුන්වයි.

Peace Now විසින් ලබා ගන්නා ලද සහ බීබීසීය විසින් විශ්ලේෂණය කරන ලද කොන්ත්‍රාත්තු පෙන්නුම් කරන්නේ, මෙම ජනාවාස අංශය විසින් අනවසර වාසස්ථාන ඉදිකර ඇති ඉඩම් නැවත නැවතත් වෙන් කර දී ඇති බව ය. කොන්ත්‍රාත්තුවලට අනුව, WZO කිසිදු ආකාරයේ ගොඩනැගිල්ලක් ගොඩනැගීම තහනම් කරන අතර ඉඩම තණබිම් හෝ ගොවිතැන සඳහා පමණක් භාවිත කළ යුතු බව පවසයි. නමුත් චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන්නේ අවම වශයෙන් අවස්ථා හතරකදී නීති විරෝධී වාසස්ථාන ඒවායේ ඉදිකර ඇති බව ය.

මෙම ගිවිසුම්වලින් එකක් ස්වී බාර් යූසෆ් විසින් 2018 වසරේදී අත්සන් කරනු ලැබ ඇත. ඔහුට ද මෝෂේ ෂාවිට්ට මෙන්, පලස්තීනුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය විසින් මෙම වසර මුලදී සම්බාධක පනවනු ලැබීය.

සතුන්ට තණ කෑමට වෙන් කර ඇති බිම් හා ගොවිතැන් සඳහා වෙන් කර ඇති බහුවිධ ප්‍රදේශ අනවසර වාසස්ථාන ඉදිකිරීම සඳහා භාවිත කරන බව දන්නේ දැයි විමසීමට අපි WZO සම්බන්ධ කර ගත්තෙමු. ඔවුහු ප්‍රතිචාර නොදැක්වූහ. අප ස්වී බාර් යූසෆ් වෙත ද ප්‍රශ්න යොමු කළ නමුත් ඔහුගෙන් ද පිළිතුරක් නොලැබිණි.

පදිංචි කරවීම් සිදු කරන තවත් ප්‍රධාන සංවිධානයක් වන අමානා සංවිධානය විසින් අනවසර පදිංචිවීම් සිදු කිරීමට උදව් කිරීම සඳහා ෂෙකල් සිය දහස් ගණනක් ණයට දුන් බව හෙළි කරන ලේඛන දෙකක් ද බීබීසීය විසින් සොයා ගන්නා ලදී.

එක් අවස්ථාවකදී, මෙම සංවිධානය ඊශ්‍රායල නීතිය යටතේ නීති විරෝධී යැයි සැලකෙන අනවසර වාසස්ථානයක හරිතාගාර ඉදිකිරීම සඳහා පදිංචිකරුවෙකුට ඊශ්‍රායල් ෂෙකල් 1,000,000 (ඇ.ඩො. 270,000) ණයට දුන්නේ ය.

Israeli court papers which show a translation in English over the original Hebrew. They say: "Amana communicated with him [the settler] in an agreement and loaned him NIS 300,000 [$81,000] in order to establish the agricultural farm (hereinafter: "the farm loan"), and later communicated with him on a second agreement, which as a result of which loaned him a sum on NIS 1,000,000 [$270,000] for setting up greenhouses in the farm (hereinafter: "the greenhouses loan")."
ඡායාරූප ශීර්ෂ වැකිය, පිටස්තර පදිංචිකරුවෙකු සම්බන්ධ සිවිල් ආරවුලකට අදාළ ප්‍රසිද්ධ අධිකරණ ලේඛන මගින් හෙළි වන්නේ, අමානා අනවසර පදිංචිවීම් සඳහා මුදල් ණයට ලබා දී ඇති බව ය

අමානා සංවිධානය 1978දී ආරම්භ කරන ලද අතර එතැන් සිට බටහිර ඉවුර පුරා ජනාවාස ගොඩනැගීම සඳහා ඊශ්‍රායල රජය සමග සමීපව කටයුතු කර ඇත.

නමුත් මෑත වසරවලදී, අමානා අනවසර පදිංචි වීම් සඳහා ද සහය දෙන බවට සාක්ෂි වැඩි වශයෙන් ලැබෙමින් තිබේ.

ක්‍රියාකාරිකයෙකු විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද, 2021දී විධායක නිලධාරීන්ගේ රැස්වීමක පටිගත කිරීමක අමානා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී සීව් හීවර් විසින් මෙලෙස ප්‍රකාශ කරනු ශ්‍රවණය වේ: "පසුගිය වසර තුන තුළ... අපි පුළුල් කර ඇති එක් මෙහෙයුමක් තමයි ගව පට්ටි සංවර්ධනය කරන එක."

"අද, ඒ ප්‍රදේශය [ඔවුන් පාලනය කරන] ඉදිකරන ලද ජනාවාස වගේ දෙගුණයක් තරම් විශාලයි."

මෙම වසරේ කැනේඩියානු රජය "පලස්තීන සිවිල් වැසියන්ට සහ බටහිර ඉවුරේ ඔවුන්ගේ දේපළවලට බලපාන ප්‍රචණ්ඩකාරී සහ අස්ථාවර ක්‍රියාවලට" වගකිව යුතු පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව සම්බාධක පැනවීමේදී අමානා සංවිධානය ද ඊට ඇතුළත් කළේ ය. සම්බාධකවල අනවසර පදිංචිවීම් ගැන සඳහන් නොවිණි.

අනවසර වාසස්ථාන පිහිටුවීමට ණය ලබා දෙන්නේ මන්දැයි විමසීමට බීබීසීය අමානා සංවිධානය සම්බන්ධ කර ගත්තේ ය. නමුත් ඔවුහු ඊට ප්‍රතිචාර නොදැක්වූහ.

ඊශ්‍රායල රජය විසින් අනවසර පදිංචිවීම් අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි නීත්‍යනුකූල කරමින් ඒවා ජනාවාස බවට පරිවර්තනය කරනු ලැබීමේ ප්‍රවණතාවක් ද පවතී. උදාහරණයක් වශයෙන්, පසුගිය වසරේ, රජය අවම වශයෙන් අනවසර පදිංචිවීම් 10ක් නීතිගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ අතර, තවත් හය දෙනෙකුට පමණ පූර්ණ නීත්‍යනුකූල තත්ත්වය ලබා දුන්නේ ය.

Nabil in a red and white checked headdress looking pensively at the floor

ඡායාරූප මූලාශ්‍රය, Matthew Cassel / BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, නබිල් පවසන්නේ ෂාවිට් තමා වසර ගණනාවක් තිස්සේ භාවිත කළ ඉඩමෙන් තමාව පන්නා දැමීමට උත්සහ කරන බව ය

පෙබරවාරි මාසයේදී, අයේෂා ෂ්ටේයේ පවසන, ඇයව තම නිවසින් නෙරපා දැමූ පංදිචිකරු මෝෂේ ෂාවිට් විසින් ඔහුගේ අනවසර වාසස්ථානයේ මහජන දිනයක් පැවැත් වූ අතර එම අවස්ථාව ප්‍රදේශයේ කැමරා කණ්ඩායමක් විසින් රූගත කරන ලදී. එහිදී විවෘතව අදහස් දක්වමින්, ඉඩම් අල්ලා ගැනීම සඳහා අනවසර පදිංචිවීම් කෙතරම් ඵලදායී විය හැකි ද යන්න ඔහු පෙන්වා දුන්නේ ය.

"අපි [පදිංචිකරුවන්] ජනාවාස ගොඩනගද්දී ඇති වුණු ලොකු ම අවුල තමයි, අපි වැටවල් අස්සේ සිරවීම සහ පුළුල් කරන්න නොහැකි වීම," ඔහු රැස්ව සිටි පිරිසට පැවසීය. "ගොවිපළ ඉතා වැදගත්, නමුත් අපට වඩාත් ම වැදගත් දෙය වන අවට ප්‍රදේශය."

ඔහු පැවසුවේ, තමා දැන් ඩූනම් 7,000ක (වර්ග කි.මී. 7) පමණ භූමි ප්‍රමාණයක් පාලනය කරන බව ය - එය දහස් ගණනක ජනගහනයක් සහිත බටහිර ඉවුරේ විශාල නාගරික ජනාවාස ගණනාවකට වඩා විශාල ප්‍රදේශයකි.

බොහෝ විට පලස්තීන ප්‍රජාවන්ට හානි කරමින් විශාල ප්‍රදේශයක පාලනය ලබා ගැනීම, අනවසර වාසස්ථාන පිහිටුවාගෙන එහි ජීවත් වන ඇතැම් පදිංචිකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බව Peace Nowහි හගිට් ඔෆ්රන් පවසයි.

"කඳු මුදුනේ [අනවසර වාසස්ථානවල] ජීවත් වන පදිංචිකරුවන් තමන් ඉන්නේ 'ඉඩම් ආරක්ෂා කරන්න' කියලා හිතනවා වගේ ම ඒ අයගේ දෛනික කාර්යය තමයි පලස්තීනුවන් ප්‍රදේශයෙන් පන්නා දැමීම," ඇය පවසයි.

අයේෂා පවසන්නේ, 2021 අගභාගයේදී මෝෂේ ෂාවිට් තම අනවසර වාසස්ථානය පිහිටුවා ගත් වහා ම හිරිහැර හා බිය ගැන්වීම් මාලාවක් ආරම්භ කළ බව ය.

ඇගේ ස්වාමිපුරුෂයා වන නබිල් දශක ගණනාවක් තිස්සේ තම එළුවන් තණ කෑමට ගෙන යන තණබිම වෙත යන ක්ෂණයෙන් පසු ෂාවිට් 'all-terrain' වාහනයකින් පැමිණ ඔහු සහ තවත් තරුණ පිටස්තර පදිංචිකරුවන් එක්ව එම සතුන් පලවා හරින බව ඔහු පවසයි.

"රජය, හරි පොලිසිය හරි නඩුකාරයා හරි අපට කිව්වොත් අපි යනවා කියලා මම කිව්වා," නබිල් පවසයි.

"එයා මට කිව්වා: 'මම තමයි ආණ්ඩුව, ඒ වගේ ම, මම තමයි නඩුකාරයත්, මම තමයි පොලිසියත්.'"

තෘණ බිම්වලට ප්‍රවේශය සීමා කිරීම හරහා, මෝෂේ ෂාවිට් වැනි පිටස්තර පදිංචිකරුවන්ට පලස්තීන ගොවීන් වඩ වඩාත් අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමට හැකි වන බව පලස්තීන අධිකාරියේ Colonization and Wall Resistance කොමිසමේ ප්‍රධානී මොආයාද් ෂාබන් පවසයි.

"පලස්තීනුවන්ට තවදුරටත් කිසි දෙයක් නැති තැනකට ඒක එනවා. ඒ අයට කන්න බැහැ, සත්තුන්ට කන්න දෙන්න විදිහක් නැහැ, වතුර ගන්න විදිහක් නැහැ," ඔහු පවසයි.

ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධයෙන් පසුව, මෝෂේ ෂාවිට් සිදුකළ හිරිහැර වඩාත් දරුණු වූ බව පිටස්තර පදිංචිකරුවන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන පලස්තීන ප්‍රජාවන්ට සහය දක්වන ඒරියල් මොරාන් පවසයි.

ඉඩම් වෙත යන විට ෂාවිට් සෑම විට ම පිස්තෝලයක් ඔහු සමග රැගෙන ගිය නමුත් දැන් ඔහු රයිෆලයක් උරහිසේ එල්ලා ගෙන ක්‍රියාකාරීන් සහ පලස්තීනුවන් වෙත ළඟා වීමට පටන් ගෙන ඇති බව ත් ඔහුගෙන් එල්ල වන තර්ජන වඩා ත් තර්ජනාත්මක වී ඇති බව ත් ඒරියල් පවසයි.

"මට හිතෙන්නේ එයා කෙටිමඟක් ගැනීමේ වාසිය දැක්කා. ඒ අය [පලස්තීන පවුල්] හෙම්බත් වෙලා ඉවත් වෙනකම් තවත් අවුරුද්දක් දෙකක් හරි බලන් ඉන්න නෑ."

"එක රැයකින් ඒක කරන්න. සහ ඒක වැඩ කළා."

මෝෂේ ෂාවිට්ගේ තර්ජන හේතුවෙන් තම නිවෙස් හැර ගිය බව පවසන අයේෂාගේ වැනි බොහෝ පවුල්, එලෙස ඉවත්ව ගියේ ඔක්තෝබර් 7ට පසු සති කිහිපය තුළ ය.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය OCHA පවසන්නේ, පිටස්තර පදිංචිකරුවන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා "පෙර නොවූ විරූ මට්ටම්" කරා ළඟා වී ඇති බව ය.

පසුගිය මාස 10 තුළ ඔවුන් විසින් පලස්තීනුවන්ට එරෙහිව පිටස්තර පදිංචිකරුවන් සිදු කළ ප්‍රහාර 1,100කට වඩා වැඩි ගණනක් වාර්තා කරනු ලැබ ඇත. ඔක්තෝබර් 7 වන දා සිට අවම වශයෙන් පලස්තීනුවන් 10 දෙනෙකු පිටස්තර පදිංචිකරුවන් විසින් මරා දමා 230කට වැඩි පිරිසකට තුවාල සිදු කරනු ලැබ ඇති බව එහි සඳහන් වේ.

එම කාල සීමාව තුළ බටහිර ඉවුරේ පලස්තීනුවන් විසින් අවම වශයෙන් පිටස්තර පදිංචිකරුවන් පස් දෙනෙකු මරා දමා ඇති බව ත් 17 දෙනෙකුට තුවාල සිදු කර ඇති බව ත් OCHA පවසයි.

Ayesha, dressed in a simple black tunic and white headscarf, bends over a sofa. The fabric has been slashed, so the foam filling inside can be seen

ඡායාරූප මූලාශ්‍රය, Matthew Cassel / BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, තම සෝපාවට සිදුව ඇති හානිය අයේෂා ෂ්ටේයේ බීබීසී කණ්ඩායමට පෙන්වමින්

2023 දෙසැම්බරයේ, එනම් අයේෂා සහ නබිල් ඔවුන්ගේ නිවසින් නෙරපා හැර මාස දෙකකට පසු, ඔවුන් ඔවුන්ට අයත් බඩු බාහිරාදිය එකතු කර ගැනීමට යළි එහි ගිය පසු අපි ඔවුන්ව රූපගත කළෙමු.

නිවසට පැමිණි විට ඔවුන්ට දැකගත හැකි වූයේ එය කොල්ලකෑමට ලක්ව ඇති බව ය. මුළුතැන්ගෙයි වූ රාක්ක ඒවායේ සරනේරුවලින් එල්ලෙමින් තිබිණි. කවුරුන් හෝ පිහියක් ගෙන එහි වූ සෝපාව කපා දමා තිබිණි.

"මම එයාට කරදරයක් කළේ නැහැ. මම කිසි දෙයක් කරලා නැහැ. මට මෙහෙම වෙන්න මම මොකක් ද කළේ," අයේෂා පැවසීය.

ඔවුන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සූදානම් වන මොහොතේ මෝෂේ ෂාවිට් සැහැල්ලු රථයකින් පැමිණියේ ය. වැඩි කල් යන්නට මත්තෙන් ඊශ්‍රායල පොලිසිය සහ හමුදාව ද පැමිණියේ ය. ඔවුහු මෙම යුවළට සහ ඔවුන් සමග පැමිණි ඊශ්‍රායල සාම ක්‍රියාකාරීන්ට ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව පැවසූහ.

"ඒ මිනිහා අපිට කිසි දෙයක් ඉතුරු කරලා නැහැ," අයේෂා බීබීසීයට පැවසීය.

Moshe Sharvit, who has a beard and is wearing a khaki t-shirt and cap, captured in conversation with our interviewer. Behind him are metal constructions on his outpost and dusty-looking land, with a car parked behind a metal fence.

ඡායාරූප මූලාශ්‍රය, Yotam Ronen / BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසීය මෝෂේ ෂාවිට් වෙත ළඟා වූ පසු ඔහු අප වෙත පැවසුවේ, තමන් වෙනත් අයෙකු බව ය

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය විමසීමට අපි අවස්ථා කිහිපයකදී ම මෝෂේ ෂාවිට් සම්බන්ධ කර ගත්තෙමු. නමුත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.

2024 ජූලි මාසයේදී, බීබීසීය ඔහු පදිංචි අනවසර වාසස්ථානයේදී ඔහුව පෞද්ගලිකව හමුවූයේ චෝදනාවලට ඔහුගේ ප්‍රතිචාරය දැන ගැනීමට සහ ඔහු අයේෂා වැනි පලස්තීනුවන්ට එම ප්‍රදේශයට ආපසු යාමට ඉඩ දෙන්නේ දැයි විමසීමට ය. එවිට, අප කතා කරන්නේ කුමක් දැයි නොදන්නා බව පැවසූ ඔහු, තමන් මෝෂේ ෂාවිට් බව ප්‍රතික්ෂේප කළේ ය.

ග්‍රැෆික් නිර්මාණය කේට් ගේනර් සහ ලෝක සේවයේ දෘෂ්‍ය පුවත්පත් කණ්ඩායම විසිනි

සැප්තැම්බර් 7 වැනිදා නිවැරදි කිරීම: BBC ය විසින් මෝෂේ ෂාවිට් පුද්ගලිකව සම්බන්ධකර ගනු ලැබුවේ මෙම ලිපියේ මුලින් සඳහන් කර ඇති පරිදි 2023 වසරේ ජූලි මස නොව 2024 වසරේ ජූලි මාසයේදී ය.