ලොව පුරා පලස්තීන සරණාගතයින් කීදෙනෙකු වාසය කරනවා ද? පලස්තීන ඩයස්පෝරාව කොතරම් විශාල ද?

A Palestinian family sits inside a tent, enjoying lunch in a refugee camp in Khan Yunis on October 20, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දශක ගණනාවක් තිස්සේ, අවතැන්වීම පලස්තීන ඉතිහාසයේ වැදගත් තේමාවක් විය

ලොව පුරා පලස්තීන සරණාගතයින් මිලියන හයකට වඩා ගණනක් සිටින බව විශ්වාස කෙරෙන අතර, එය ඔවුන් ලොව විශාලතම සරණාගත කණ්ඩායම් අතරින් එකක් බවට පත් කරයි.

ඔවුන් ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ, පලස්තීන භූමි ප්‍රදේශවල සහ ඊට අසල්වැසි රටවල ය.

මීට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඊශ්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු මිලියන 1.9කට ආසන්න ජනතාවක් බලහත්කාර අවතැන් කිරීම්වලට ලක්ව ඇත.

පලස්තීන ඩයස්පෝරාව ලොව පුරා ව්‍යාප්ත වී තිබුණ ද, ඉන් බහුතරයක් වෙසෙන්නේ මැදපෙරදිග ය.

නමුත් මෙතරම් පලස්තීනුවන් ගණනකට ඔවුන්ගේ පරම්පරාගත උපන්බිම හැරයෑමට සිදුවූයේ කෙසේ ද? ඔවුන් ගොස් ඇත්තේ කුමන රටවලට ද සහ ඒ ඇයි?

පලස්තීන ජාතිකයින් සරණාගතයින් බවට පත්ව ඇත්තේ ඇයි?

ඊශ්‍රායල රාජ්‍යය පිහිටවූ දා සිට, පලස්තීන ඉතිහාසය පුරාවට අවතැන්වීම් සැලකිය යුතු කාර්යය භාරයක් ඉටුකළේ ය.

1947 වසරේ දී, දෙවන ලෝක සංග්‍රාමය අවසන්වීමෙන් ටික කලකට පසු, ඊට මෑතක දී පිහිටුවන ලද එක්සත් ජාතීන් විසින් 181 යෝජනාව සම්මත කරන ලදී. එය එවකට බ්‍රිතාන්‍ය මැන්ඩේටය යටතේ පැවති පලස්තීන භූමි ප්‍රදේශය (British Mandate of Palestine) අරාබි සහ යුදෙව් රාජ්‍යවලට බෙදීමේ සැලැස්මක් විය.

පලස්තීනය 1922 සිට බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරන ලද අතර එම කාලය තුළ කලාපයට යුදෙව්වන් සංක්‍රමණය වීම ඉහළගොස් තිබුණු අතර (විශේෂයෙන් යුරෝපයේ නාසි ම්ලේච්ඡ ක්‍රියාවලින් මිදී පළා යන පිරිස්) එය අරාබිවරුන් සහ යුදෙව්වන් අතර ආතතීන් ද ඔඩු දිවීමට වීමට තුඩු දුන්නේ ය.

"ඒ අවස්ථාව වෙද්දී, දෙවන ලෝක යුද්ධ සමයේ දී යුරෝපීය යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුරෝපීය ජනතාවට වරදකාරී හැඟීමක් දැනුනා, සහ ඔවුන් උත්සහ කළා පලස්තීනයට සිදුවෙන විශාල යුරෝපීය යුදෙව් සංක්‍රමණය කියලා ඔවුන් උපකල්පනය කරපු දේට ඉඩ සලසන්න," ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ සරණාගත අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්ය ඩෝන් චැටී පවසයි.

පලස්තීන අරාබි වැසියන් 181 යෝජනාව ප්‍රතික්ෂේප කළ ද (එමඟින් කුඩා යුදෙව් ජනගහනයට විශාල භූමි ප්‍රදේශයක් පැවරිණි), ඊශ්‍රායලය මෙම බෙදීමේ සැලැස්ම පදනම ලෙස භාවිත කරමින් එය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

Palestinians fleeing their homes

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1948 පලස්තීනුවන් 750,000ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් නෙරපා හරින ලද, පළායන ලද අවස්ථාවේ දී අරාබි බසින් නක්බා ලෙස හැඳින්වෙන මහා නික්මයාම සිදුවිය

ඊශ්‍රායලය නිර්මාණය කිරීම වටා ඇතිවුණු 1948 යුද්ධයේ දී ආසන්න වශයෙන් පලස්තීනුවන් 750,000ක් නෙරපා හැරීම හෝ වර්තමාන ඊශ්‍රායලයෙන් පළා යාම සිදුවිය. පලස්තීනුවන් මෙම සිදුවීම හඳුන්වන්නේ "ව්‍යසනය" යන්න සඳහා අරාබි වහරේ යෙදෙන නක්බා ලෙසිනි.

1948 යුද්ධය අවසන් වූ පසු, ඊශ්‍රායලය මේ සරණාගතයින්ට ඔවුන්ගේ නිවෙස් කරා යාමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේ ය.

1967 සය දින යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය බටහිර ඉවුර සහ ගාසා තීරය අල්ලා ගත් අතර ඉන් තවත් පලස්තීනුවන් 325,000ක් පමණ ජෝර්දානයට පළා ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඊළඟ වසර කිහිපය තුළ, වසරකට සාමාන්‍යයෙන් ඊශ්‍රායල පාලනය යටතේ තිබුණු ප්‍රදේශවල සිටි පලස්තීනුවෝ 21,000ක් අවතැන් වූහ.

සාම ගිවිසුමක කොටසක් ලෙස හෝ සරණාගතයින්ට ආපසු පැමිණීමට ඉඩ සලසන ලෙසට කෙරුණු පලස්තීන ඉල්ලීම් පවා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර තිබේ.

ලොව පුරා පලස්තීන සරණාගතයින් කී දෙනෙකු සිටියි ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1949 වසරේ දී, පලස්තීන සරණාගතයින් සඳහා ආධාර වැඩසටහන් අධීක්ෂණය කිරීමට මැද පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය (UNRWA) ස්ථාපනය කරන ලදී.

UNRWA "පලස්තීන සරණාගතයින්" ලෙස නිර්වචනය කරන්නේ, "1946 ජූනි 1 සිට 1948 මැයි 15 දක්වා කාලය තුළ පලස්තීනය සාමාන්‍ය වාසස්ථානය වූ සහ 1948 ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස නිවාස සහ ජීවනෝපාය යන දෙක ම අහිමි වූ පුද්ගලයින්" ලෙස ය.

කුලවද්දාගත් දරුවන් ද ඇතුළුව මෙම නිර්වචනය සපුරාලන පුද්ගලයන්ගෙන් පැවතෙන්නෝ ද සරණාගතයින් ලෙස ලියාපදිංචි වීමට සුදුසුකම් ලබයි.

1950 වසරේ දී මෙහෙයුම් ආරම්භ කරන විට එය පලස්තීන සරණාගතයින් 750,000කගේ පමණ අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටි බව UNRWA පවසයි.

අද වන විට පලස්තීන සරණාගතයෝ මිලියන 5.9ක් පමණ UNRWA සේවා සඳහා සුදුසුකම් ලබති.

මෙයින්, UNRWA විසින් පිළිගනු ලැබ ඇති සරණාගත කඳවුරු 58ක පුද්ගලයෝ මිලියන 1.5කට වැඩි පිරිසක් ජීවත් වෙති.

මෙම කඳවුරු ජෝර්දානය, ලෙබනනය, සිරියාව, නැගෙනහිර ජෙරුසලම ද ඇතුළුව ගාසා තීරය සහ බටහිර ඉවුර යන ප්‍රදේශවල පිහිටා ඇත.

සිරියාවේ ඩැමස්කස් අගනුවර ආසන්නයේ ඇති යාර්මුක් වැනි ස්ථානවල ද, පිළිගත් කඳවුරුවලින් පිටත පලස්තීන සරණාගතයින් විශාල වශයෙන් සිටින වෙනත් ප්‍රදේශ ද තිබේ.

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් සඳහා සරණාගත කඳවුරු ඇත්තේ ඇයි?

ඊශ්‍රායල රාජ්‍යය බිහිවීම නිසා යුදෙව් රාජ්‍යය සඳහා නම් කරන ලද ප්‍රදේශවල ජීවත් වූ පලස්තීනයේ බොහෝ අරාබි ජාතිකයින්, අරාබි රාජ්‍යය බවට පත් වීමට නියමිතව තිබූ භූමි වෙත පළා ගිය බව මහාචාර්ය ඩෝන් චැටී පැහැදිලි කරයි.

"ඔවුන් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ සරණාගතභාවය ඉල්ලා සිටියා. ඔවුන් 1948 සරණාගතයින් බවට පත්වුණා," ඇය පවසයි.

Palestinians who migrated from the Burayj Refugee Camp to Deir al-Balah are seen around tents in an empty area of Deir al-Balah, Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සරණාගත කඳවුරුවල සිටි බොහෝ පලස්තීනුවන්ට ගාසා යුද්ධය හේතුවෙන් දකුණේ ආරක්ෂිත ප්‍රදේශවලට යෑම සඳහා ඔවුන්ගේ කූඩාරම් ඉවත් කිරීමට සිදුවිය

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සියට (UNRWA) අනුව, බටහිර ඉවුරේ ලියාපදිංචි සරණාගතයින් 871,000කට වඩා වැඩි ගණනක් ජීවත් වන අතර ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ සරණාගත කඳවුරු 19ක ජීවත් වෙති.

ගාසා තීරයේ සරණාගතයින් මිලියන 1.7ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් 620,000ක් පමණ UNRWA විසින් පිළිගනු ලැබ ඇති කඳවුරු අටක ජීවත් වෙති.

පලස්තීන ඩයස්පෝරාව කොතරම් විශාල ද?

Graphic showing the distribution of Palestinian population worldwide

බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවන් මිලියන 3.3 සහ ගාසා තීරයේ වෙසෙන මිලියන 2.3ක පලස්තීනුවන්ට අමතරව තවත් පලස්තීනුවන් මිලියන 1.75ක් ඊශ්‍රායලයේ ජීවත් වෙයි (එය මුළු ඊශ්‍රායල ජනගහනයෙන් 20%ක් පමණ වේ).

මෙම ප්‍රදේශවලින් පිටත සිටින සියලු ම පලස්තීනුවන් එක්ව පුළුල් ඩයස්පෝරාවක් ගොඩනගන අතර, එයට 1948ට පෙර පිටව ගිය පිරිස (එක්සත් ජාතීන් විසින් ගණන් නොගනු ලැබේ), ඔවුන්ගෙන් පැවත එන්නන් සහ උපන්බිම හැර ගිය නමුත් කිසි විටෙකත් සරණාගතයින් ලෙස ලියාපදිංචි නොවූ පිරිස ඇතුළත් වෙති.

පලස්තීන මධ්‍යම සංඛ්‍යාලේඛන කාර්යාංශය (Palestinian Central Bureau of Statistics) විසින් සපයන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මැද පෙරදිග සිට දකුණු අමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව දක්වා විහිදෙන මෙම ගෝලීය ඩයස්පෝරාවේ පලස්තීනුවන් මිලියන 7.3ක් පමණ ජීවත් වෙයි.

කෙසේ වෙතත්, කාර්යාංශය ගණන් ගනු ලබන්නේ, හැඳුනුම්පත් ඇති හෝ සරණාගතයින් ලෙස ලියාපදිංචි වී ඇති පලස්තීනුවන් පමණි. එබැවින් ඩයස්පෝරා ජනගහනයේ සැබෑ එකතුව මීට වඩා වැඩි විය හැකි ය.

සමස්තයක් වශයෙන්, කාර්යාංශයට අනුව, පලස්තීනුවෝ මිලියන හයකට වඩා වැඩි පිරිසක් අරාබි රටවල ජීවත් වන අතර, පිටුවහල් කළ මෙම පිරිසෙන් අඩක් පමණ ඊශ්‍රායලයේ නැගෙනහිර දේශ සීමාවේ ඇති ජෝර්දානයේ ජීවත් වෙති.

ජෝර්දානයේ වෙසෙන පලස්තීනුවන් බොහෝ දෙනෙකුට පූර්ණ පුරවැසිභාවය ඇති අතර ඔවුහු අනෙක් පුරවැසියන් හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳිති.

ලෙබනනය, සිරියාව සහ ඊජිප්තුව යන රටවල මිලියනයකට වඩා වැඩි පිරිසක් වාසය කරන බවට ගණන් බලා ඇත.

ලෙබනනයේ, බොහෝ පලස්තීන සරණාගතයින් 1948 වසරේ සිට සරණාගත කඳවුරුවල ජීවත් වූ අතර ඔවුන්ට සිවිල් හෝ සමාජ අයිතිවාසිකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැත.

Palestinian flags hang above pedestrians walking along an alley at the Shatila camp for Palestinian refugees in the southern suburb of Beirut

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන සරණාගතයින්ට ලෙබනනයේ සිවිල් හෝ සමාජ අයිතිවාසිකම් සඳහා ප්‍රවේශය නොමැත

සිරියාවේ වෙසෙන පලස්තීනුවෝ සිරියානු පුරවැසියන් හා සමාන සිවිල් අයිතිවාසිකම් භුක්ති විඳිති. කෙසේ වෙතත්, සිරියානු යුද්ධය හට ගැනීමෙන් පසු බොහෝ පලස්තීනුවෝ රට හැර ගියහ.

"අරාබි ගල්ෆ් රටවල පලස්තීන වැසියන්ගේ පැවැත්ම පටන් ගන්නේ ශතවර්ෂයකට පමණ පෙර ඉඳලා," යූසෙෆ් කෝර්බේජ් සහ හලා නොෆල් ඔවුන්ගේ Palestinians Worldwide: A Demographic Study යන ග්‍රන්ථයේ ලියා තිබේ.

"දෙවන ගල්ෆ් යුද්ධයට පෙර [1990 වසරේ දී] ගල්ෆ් කලාපයේ පලස්තීන ශ්‍රම බළකායෙන් 90%ක්ම සෞදි අරාබිය සහ කුවේටය වෙත ඇදී ආවා. පසුව [ඔවුන්] බොහෝ දුරට කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වුණා," ඔවුහු පවසති.

මහාචාර්ය ඩෝන් චැටී පවසන පරිදි, ගල්ෆ් රටවල් පලස්තීන සරණාගතයින් ආකර්ෂණය කර ගැනීමට හේතුව නම් ඉංග්‍රීසි සහ අරාබි භාෂා කතා කළ හැකි උගත් ශ්‍රමිකයන් ඔවුන්ට දැඩි ලෙස අවශ්‍ය වීම ය.

UNRWA කඳවුරුවලින් ලද අධ්‍යාපනය නිසා පලස්තීනුවෝ හොඳ මට්ටමක සිටියහ.

මැද පෙරදිගින් පිටත සිටින පලස්තීනුවන්

දැනට මැද පෙරදිගින් පිටත සිටින පලස්තීන ඩයස්පෝරාවේ බොහෝදෙනෙකු 19 වන සියවසේ අගභාගයේ දී, එවකට එම කලාපය ඔටෝමන් අධිරාජ්‍යයේ පාලනය යටතේ පැවති සමයේ දී සංක්‍රමණය වූවන් ය.

පළමු අරාබි ජාතිකවාදී ව්‍යාපාර මර්දනය කිරීම සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ක්‍රිස්තියානි පලස්තීන වෙළෙන්දෝ බොහෝ දෙනෙක් උතුරු අමෙරිකාවට සහ දකුණු අමෙරිකාවට පළා යාමට පෙළඹුණහ.

ඔටෝමන් අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් පසුව සහ ඊශ්‍රායලය නිර්මාණය වීමෙන් පසුව අනෙක් සංක්‍රමණ රැළි ඇති විය. කෙසේ වෙතත්, එකතුවක් වශයෙන් එක් එක් ප්‍රජාව තුළ ඔවුන් කොපමණ සිටියි ද යන්න පැවසීම දුෂ්කර ය.

Fan of football club Palestino

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීනෝ එෆ්.සී. පාපන්දු සමාජය 1920 දී චිලියේ සිටි පලස්තීන සංක්‍රමණිකයන් විසින් ආරම්භ කෙරුණු අතර එහි බොහෝ ක්‍රීඩකයින්ට පලස්තීන සම්භවයක් ඇත

"ලතින් අමෙරිකානු රටවල, පලස්තීනුවන් සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු අපැහැදිලි බවකින් වැසී තිබෙන්නේ ඔවුන් "අරාබි ජාතිකයන්" ලෙස එක ම කාණ්ඩයක් යටතේ නම් කිරීම හේතුවෙනි," කෝර්බේජ් සහ හලා සඳහන් කොට තිබේ.

චිලී රාජ්‍යයේ පලස්තීන ප්‍රජාව 500,000ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර, එය එරට මැද පෙරදිගින් පිටත විශාලතම පලස්තීන ජනගහනයක් සහිත රට බවට පත් කරයි. හොන්ඩුරාස්, ග්වාතමාලා සහ බ්‍රසීලයේ ද සැලකිය යුතු පලස්තීනුවෝ පිරිසක් ද වාසය කරති.

පලස්තීනුවන් එක්සත් ජනපදයට සංක්‍රමණය වීම ද 19 වන සියවසේ අගභාගය දක්වා දිවෙන අතර දැනට එක්සත් ජනපදයේ පලස්තීනුවන් 200,000 පමණ ජීවත් වන බව ගණන් බලා ඇත.

යුරෝපය තුළ, විශාලතම පලස්තීන ජනගහනය ඇත්තේ ජර්මනියේ වන අතර, එක්සත් රාජධානිය, ග්‍රීසිය, ප්‍රංශය, ඩෙන්මාර්කය සහ ස්වීඩනය ඉන් පසු පලස්තීන වැසියන් වැඩි වශයෙන් වෙසෙන රටවල් වේ.