හමාස් සංවිධානය 'තුරන් කිරීමේ' මෙහෙයුමෙන් ඊශ්‍රායලය සාර්ථක වෙයි ද?

An Israeli tank is deployed to guard a position as displaced Palestinians flee from Khan Younis, 30 January 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසා වැසියන්ගෙන් හතරෙන් තුනක් සටන් හේතුවෙන් අවතැන් වී ඇත
    • Author, ඩාලියා හයිඩර් සහ නැටලි මර්සූගුයි විසිනි
    • Role, බීබීසී අරාබි

ගාසා තීරය තුළ ඊශ්‍රායලයේ අරමුණ "හමාස් සංවිධානයේ පාලන සහ හමුදා හැකියාවන් විනාශ කිරීම" බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. එපමණක් නොව, හමාස් සංවිධානය තුරන් කිරීමේ සිය ඉලක්කය ගැන ඔහු ගැන නැවත නැවතත් සඳහන් කරයි.

මාස පහකට ආසන්න සටනකින් පසුව සහ ගාසාහි හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, පලස්තීනුවන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් මරා දැමීමත් සමග ඊශ්‍රායලය පවසන්නේ, තමන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ත් "සම්පූර්ණ ජයග්‍රහණය සඳහා" ඉදිරියට යා යුතු බව ත් ය.

නමුත් හමාස් සංවිධානය යනු, මිලිටරි හැකියාවන්ට වඩා වැඩි යමක් ඇති සංවිධානයකි. එය දේශපාලන, දෘෂ්ටිවාදී සහ සමාජ ව්‍යාපාරයක් ද වෙයි. එසේ නම්, ඊශ්‍රායලයේ ඉලක්කය වන එය මුළුමනින් ම තුරන් කිරීම යථාර්ථවාදී ද එසේත් නැතිනම් එය කළ හැකි දෙයක් ද?

භූමියේ සිදුවන්නේ කුමක් ද?

ඊශ්‍රායලය පවසන්නේ, තමන් ගාසා තීරයේ හමාස් බලඇණි 24න් 18ක් විනාශ කළ බව ත් "උතුරු ගාසා තීරයේ හමාස් සංවිධානයට අයත් හමුදා පහසුකම් විනාශ කිරීම සම්පූර්ණ කළ බව ත්" ය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (අයිඩීඑෆ්) පවසන පරිදි ඔක්තෝබර් 7 වන දා 1,200 දෙනෙකු පමණ මිය ගොස් 250 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගත් හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර දියත් කළ අවස්ථාවේ ඔවුන් සතුව 30,000ක් පමණ සටන්කාමීන් සිට තිබේ.

තමන් සටන්කාමීන් 13,000ක් මරා දැමූ බව අයිඩීඑෆ් පවසන අතර නෙතන්යාහු පෙබරවාරි මස මුලදී කියා සිටියේ, ඊශ්‍රායල හමුදා විසින් "20,000කට අධික ත්‍රස්තවාදීන් ගණනක්, එනම් හමාස් සටන් බළකායෙන් අඩකට වඩා ඝාතනය ක‍ර, තුවාල කර හෝ තම භාරයට ගෙන" ඇති බව ය. බීබීසීයට මෙම සංඛ්‍යා තහවුරු කළ නොහැකි අතර හානි ගණනය කිරීම සඳහා භාවිත කරන ලද ක්‍රමවේදය විස්තර ලෙස අයිඩීඑෆ් වෙත කළ ඉල්ලීම්වලට ද ප්‍රතිචාර දක්වා නොමැත. සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, ගාසා තීරයේ මියගොස් ඇත්තේ, සිවිල් වැසියන් ඇතුළු වැඩිහිටි පිරිමින් 9,000ක් පමණක් වන බැවින් ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ සංඛ්‍යා පැහැදිලිව ම පරස්පර වේ.

හමාස් දේශපාලන කාර්යාලය බීබීසීයට පැවසුවේ, තමන් ඊශ්‍රායලයේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ත්, ගාසා තීරයේ "සියලු ප්‍රදේශ" තුළ තම හමුදා අංශය "සක්‍රියව" අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ත් ය. මේ අතර, ඊශ්‍රායල පුවත්පතක් වන 'හාරෙට්ස්හි' (Haaretz) පළ වූ වාර්තාවක් පෙන්වා දෙන්නේ, හමාස් සංවිධානය තම බලඇණි කිහිපයක් යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති බව ය.

ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි (Jane's Defense Weekly) සඟරාවේ මැදපෙරදිග කතුවරයා වන ජෙරමි බිනී පවසන්නේ, හමාස් සංවිධානයට "ඉතා පහසුවෙන් නව සටන්කරුවන් බඳවා ගන්න පුළුවන්. ඒ නිසා මේක දිහා බලද්දී වැදගත් ම දේ ඒක නෙවෙයි."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊශ්‍රායලයේ රීච්මන් විශ්වවිද්‍යාලයේ ප්‍රතිත්‍රස්ත කටයුතු පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ විශ්‍රාමික ඊශ්‍රායල් කර්නල්වරයෙකු වන මිරි ඊසින් පවසන්නේ, ඊශ්‍රායල් හමුදා විසින් "අණදෙන නිලධාරීන් මරා දමා, ආයුධ ගබඩා" සොයාගනු ලැබ ඇති බව ත් භූගත ත්‍රස්ත පද්ධතිය [හමාස් සංවිධානයේ උමං ජාලය] ක්‍රමානුකූලව පුපුරුවා හරිමින් සිටින," බව ත් ය.

නමුත් බිනී පවසන්නේ උමං පද්ධතිය "පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා විශාල" බව ත්, ප්‍රාණ ඇපකරුවන් එහි රඳවා තබා ගැනීමේ අවදානම නිසා ඊශ්‍රායල ජාතිකයින්ට එය විනාශ කිරීමට "බොහෝ දුරක් යා යුතු" බව ත් ය.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ඊශ්‍රායලය සිදු කරන ක්‍රියාන්විතය "අවශ්‍යයෙන් ම හමාස් සංවිධානය සම්පූර්ණයෙන් තුරන් කිරීමකට වඩා දිගට ම පවතින

සීමාවක් නොමැති මර්දන ක්‍රියාවලියක්" ලෙස පෙනෙන බවට හැඟීමක් ඇති කරන්නේ යැයි ඔහු පවසයි.

ජාත්‍යන්තර නීතිය කඩකිරීමේ චෝදනා සහ ජාත්‍යන්තර අධිකරණයේ චෝදනා තිබියදීත් [ඊශ්‍රායලය පවසන පරිදි ඒවා "දැඩි ලෙස විකෘති කර" ඇත] නෙතන්යාහු අවධාරණය කරන්නේ, ඊශ්‍රායලය තම මෙහෙයුම් නොනවත්වා කරගෙන ගොස් ඉතිරි හමාස් බලඇණිවලට පහර දිය යුතු බව ය.

ඔබට දෘෂ්ටිවාදය ඉවත් කළ හැකි ද?

හමාස් සංවිධානය, බොහෝ බටහිර රාජ්‍යයන් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සලකනු ලබන අතර බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ, එහි නායකයින් තවමත් ඊශ්‍රායලය විනාශ කරන ලෙස ඉල්ලා සිටින බව ය. නමුත් අරාබි ලෝකයේ ඇතැමෙක් එය ප්‍රතිරෝධී ව්‍යාපාරයක් ලෙස සලකති. හමාස් සංවිධානය 2006 මැතිවරණයෙන් ජයග්‍රහණය කර තම ප්‍රතිවාදියා වන ෆටා සංවිධානය ප්‍රචණ්ඩ ලෙස බලහත්කාරයෙන් නෙරපා හැරීමෙන් පසුව 2007 සිට ගාසා තීරය පාලනය කර තිබේ.

ගාසා තීරය ඊශ්‍රායලය විසින් අවහිර කරනු ලැබ ඇති අතර එතැන් සිට තරමක් දුරට ඊජිප්තුව එය අවහිර කර ඇත. ඔවුන් පවසන්නේ එය දෙරටේ ම ආරක්ෂාව සඳහා ගත් පියවරක් ලෙස ය.

පලස්තීන කණ්ඩායම් පසුගිය දශක දෙක තුළ ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇත. ඇතැම් විට ඒ, ඊශ්‍රායල හමුදා වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ හෝ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල හමුදා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයට සහ ගැටුම්වලට ප්‍රතිචාර වශයෙනි.

Palestinian Hamas man shows his gun over supporters at a Hamas rally in Gaza City, December 2007

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් 2007 වසරේ සිට ගාසා තීරය පාලනය කරයි - එහි සිය 20 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම රැලිය පවත්වනු ලැබීය.

එය "හුදෙක් මිලිටරි ව්‍යාපාරයක් විතරක් නෙවෙයි, එය දේශපාලන ව්‍යාපාරයක් පමණකුත් නෙවෙයි - එය දෘෂ්ටිවාදයක්," විදේශ සබඳතා පිළිබඳ යුරෝපීය කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ මැද පෙරදිග පිළිබඳ විශේෂඥ හියු ලොවට් පවසයි.

"ඒ දෘෂ්ටිවාදය නිසැකව ම ඊශ්‍රායලයේ අවි බලයෙන් මුලිනුපුටා දාන්න බැහැ," ඔහු පවසයි.

ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිරෝධය පෑමට අවිආයුධ භාවිත කිරීමට හමාස් සංවිධානයෙන් ලැබෙන සහය "මේ මොහොතේ විශේෂයෙන් වැදගත්" බව ඔහු පවසයි. "වර්තමාන සන්දර්භය තුළ, පලස්තීනුවන්ට හැඟෙන පරිදි, ඔවුන්ගේ ස්වයං නිර්ණ අයිතිය සපුරාලීම සඳහා තවදුරටත් දේශපාලන විසඳුමක් නැහැ".

බටහිර ඉවුරේ පිහිටි අරාබි අමෙරිකන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය අම්ජාඩ් අබු එල් එස් පවසන්නේ, බොහෝ පලස්තීනුවන් හමාස් සංවිධානයට සහය දක්වන්නේ "ඔවුන්ට අනාගතයක් නොපෙනෙන" නිසා බව ය.

අග්‍රාමාත්‍ය නෙතන්යාහු සිය වෘත්තීය ජීවිතය පුරාවට ම පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට විරුද්ධ විය. ඔහු මෙම ස්ථාවරය සඳහා ආරක්ෂාව සම්බන්ධ කරුණු සහ හමාස් සංවිධානය ඊශ්‍රායලය පිළිගැනීමට අසමත් වීම උපුටා දක්වන නමුත් ඔහුගේ ලිකුඩ් පක්ෂයේ සහ එහි උග්‍ර දක්ෂිණාංශික මිත්‍ර පාක්ෂිකයින් බොහෝ දෙනෙක් බටහිර ඉවුර සහ ගාසා තීරය ඊශ්‍රායලයට අයත් ලෙස දකිති.

ඊශ්‍රායල ක්‍රියාකාරී කණ්ඩායමක් වන 'Peace Now' පවසන පරිදි, පසුගිය වසරේ ඊශ්‍රායල රජය, ඊශ්‍රායල ජනාවාස පිහිටා ඇති බටහිර ඉවුරේ නිවාස ඉදි කිරීම සඳහා වැඩි වශයෙන් අවසර ලබා දී තිබේ.

2023 වසරේදී, අවම වශයෙන් දරුවන් 81ක් ඇතුළුව ඊශ්‍රායල හමුදා සහ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් බටහිර ඉවුරේ පලස්තීනුවන් 507ක් ඝාතනය කෙරිණි. එය 2005 වසරේදී එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) ජීවිත හානි වාර්තා කිරීමට පටන් ගත් දා සිට පලස්තීනුවන්ට එහි උදා වූ මාරාන්තික ම වසර වේ.

බටහිර ඉවුරේ සිට පලස්තීනුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් සිදු වූ ඊශ්‍රායල මරණ 36ක් ද එක්සත් ජාතීන් විසින් වාර්තා කරන ලදී.

මීට අමතරව, ෆටා සංවිධානය විසින් ආධිපත්‍යය දරන සහ බටහිර ඉවුරේ කොටස් පාලනය කරන පලස්තීන අධිකාරිය (PA) සමග දැඩි කලකිරීමක් පවතී. බොහෝ පලස්තීනුවෝ ඊශ්‍රායල ආක්‍රමණය හමුවේ පලස්තීන අධිකාරිය දූෂිත සහ දුර්වල ලෙස සලකති.

ඔක්තෝබර් 7 වන දාට පෙර, අවහිරය යටතේ ගාසා තීරයේ ජීවත් වූ පලස්තීනුවන්ට තමන් "විශාල සිරගෙයක" සිටින බව දැනුණු බව ආචාර්ය අබු එල් එස් පවසන්නේ, බටහිර ඉවුරේ සිටින පිරිස යුදෙව් පදිංචිකරුවන්ගේ ප්‍රහාර, ඉඩම් අත්පත් කර ගැනීම සහ රැකියා හිඟකම නිසා කෝපයට පත් වූ බව ද සඳහන් කරමිනි.

ඔහු පෙන්වා දෙන්නේ පලස්තීන සමාජයේ තරුණ තරුණියන් වැඩි ප්‍රතිශතයක් සිටින බව ත්, සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති විට අනෙකුත් පක්ෂවලට "පලස්තීන තරුණයින් වෙත ළඟා විය හැකි කිසිවක් නොමැති" බව ත් ය.

"භූමිය අල්ලා ගැනීම් පවතින තාක් කල්, ම්ලේච්ඡත්වය පවතින තාක් කල්, ඝාතනය කරන තාක් කල්, ඇත්ත වශයෙන් ම බොහෝ මිනිසුන් හමාස් සංවිධානය පවසන දේ අනුගමනය කරාවි. මොක ද ඔවුන් බලාපොරොත්තුවක් සොයන නිසා," ඔහු පවසයි.

People view posters of Israeli hostages on a wall in Tel Aviv, 12 February 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය පවසන්නේ ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් 253 දෙනෙකු හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 7 වනදා පැහැරගෙන ගිය බවයි - ඉන් 130ක් තවමත් හඳුනාගෙන නොමැත.

හමාස් සංවිධානයට ලැබෙන සහයෝගයට කුමක් සිදුවන්නේ ද?

ඔක්තෝබර් 7 වන දින සිදුවීම්වලින් පසුව ගාසා තීරයේ පලස්තීනුවන් විශාල වන්දියක් ගෙවමින් සිටිය ද, 2023 අග භාගයේ පැවති මත විමසුමකින් පෙනී ගියේ,

හමාස් සංවිධානය සඳහා පලස්තීනුවන් අතර ඇති සහයෝගය ඉහළ ගොස් ඇති බව ය.

පලස්තීනුවන් 750ක් සහ ගාසා තීරයේ 481ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයට අනුව, බටහිර ඉවුරේ හමාස් සංවිධානයට සැප්තැම්බර් මාසයේදී 12%ක් ලෙස පැවති සහයෝගය දෙසැම්බර් මාසයේදී 42% දක්වා ඉහළ ගොස් තිබේ.

මත විමසුම සිදු කළ බටහිර ඉවුර පදනම් කරගත් පලස්තීන ප්‍රතිපත්ති සහ සමීක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය ඛලීල් ෂිකාකි පවසන්නේ, සටන් පවතින කාලවලදී හමාස් සංවිධානයට ලැබෙන සහය සාමාන්‍යයෙන් ඉහළ යන නමුත් මෙම වැඩිවීම "විස්මයජනක" බව ය.

නොවැම්බර් මාසයේ හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය පැවති සමයේ මෙම මත විමසුම පවත්වන විට පලස්තීන කාන්තාවන් සහ ළමුන් ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කරමින් සිටි බව ඔහු සඳහන් කරයි.

පලස්තීන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී හමාස් සංවිධානයේ ප්‍රචණ්ඩත්වය "ඉතා ඵලදායී" ලෙස දැකීමට ඇතැමුන්ට මෙය හේතු වූ බව ඔහු පවසයි.

පදිංචිකරුවන්ගේ ප්‍රහාර සහ යුද්ධය සඳහා පලස්තීන අධිකාරිය දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ කලකිරීම ද හමාස් සංවිධානයට සහය වීමට හේතු වූ බව ආචාර්ය ෂිකාකි තවදුරටත් පවසයි.

කෙසේ වෙතත්, ගාසා තීරයේ තත්ත්වය වෙනස් විය. එහි හමාස් සංවිධානය සඳහා ඇති සහය 38% සිට 42% දක්වා කුඩා වැඩිවීමක් දක්නට ලැබිණි. [සැබෑ අගය වෙනස් විය හැක.]

බටහිර ඉවුරේ 82% හා සසඳන විට ඔක්තෝබර් 7 ප්‍රහාරය සිදු කිරීමේදී හමාස් සංවිධානය නිවැරදි යැයි ගාසා තීරයේ හැඟී ගියේ අඩු පිරිසකට ය. එම අගය 57%ක් විය.

"මෙම යුද්ධය සම්බන්ධයෙන් ගත් කළ හමාස් සංවිධානයේ තීරණවල ප්‍රතිවිපාක විඳිමින් සිටි අය හමාස් සංවිධානය බොහෝ සෙයින් විවේචනය කරන බව පැහැදිලියි," ආචාර්ය ෂිකාකි පවසයි.

පෙබරවාරි මස මුල දක්වා ගාසාවේ සිට වාර්තා කරමින් සිටි බීබීසී මාධ්‍යවේදීන් මෑත මාසවලදී හමාස් සංවිධානය පිළිබඳව වැඩෙන අතෘප්තිය සහ කලකිරීමේ සලකුණු ගැන සඳහන් කර ඇත.

ඔවුන් සමග කතා කළ ඇතැම් ගාසා වැසියන් තම සමීපතමයන්ගේ මරණ, ඊශ්‍රායල හමුදා විසින් නිවාස විනාශ කරනු ලැබීම සහ කුසගින්න හමාස් සංවිධානයට එරෙහිව ඇති කෝපයට හේතුවක් ලෙස සඳහන් කළහ.

හමාස් සංවිධානය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ගැන බොහෝ විට ගාසා වැසියන් යම් තැතිගැන්මකින් සිටින බව ද ඔවුහු වාර්තා කරති.

සටන්කාමීන්ගේ නව පරපුරක්?

ආචාර්ය අබු එල් ඊස් විශ්වාස කරන්නේ, ගාසා තීරයේ බොහෝ තරුණයින් දැන් "ඊශ්‍රායලයට එරෙහිව සහ භූමිය අල්ලා ගැනීමට එරෙහිව වෛරයෙන් පිරී ඇති" බව ය.

"මම හිතන්නේ ඊළඟ පරම්පරාව පළිගැනීම සඳහා මේ හමුදා කණ්ඩායම්වලට සම්බන්ධ වේවි. මොක ද ඔවුන්ට පවුල්, දරුවන්, ඔවුන්ගේ අම්මලා සහ ඒ අයගේ පුතාලා... ඔවුන්ගේ සහෝදර සහෝදරියන් අහිමි වුණ නිසා," ඔහු පවසයි.

එහෙත් හමාස් සංවිධානයට වැඩි සහයෝගයක් නිර්මාණය වීම පිළිබඳ කාරණා මිලිටරි ඉලක්කවලට බාධාවක් නොවිය යුතු බව කර්නල් ඊසින් පවසයි.

ඔක්තෝබර් 7 වන දින "දරුණු, බිහිසුණු, කුරිරු" ප්‍රහාර ගැන සඳහන් කරමින් ඇය මෙසේ පවසන්නීය: "ඔවුන් දැනටමත් රැඩිකල්කරණයට ලක් වෙලා තියෙන්නේ."

“එම අර්ථයෙන් අපේ ප්‍රතිචාරය පළමුව සහ ප්‍රධාන වශයෙන් විය යුත්තේ ඔවුන්ගේ හැකියාවන් ඉවත් කිරීමට උත්සහ කිරීමයි.

"ඒකෙන් දෘෂ්ටිවාදය දැනට පවතිනවාට වඩා නරක අතට හැරෙන්නේ නැහැ," ඇය තවදුරටත් පවසයි.

කෙසේ වෙතත්, ආචාර්ය ෂිකාකි පවසන්නේ, "විශාල යුද්ධයකට පස්සේ සාමය ඇති වෙනවා නම් තරුණයින්ට ආයුධ අතට ගන්න අවශ්‍ය වෙන්නේ නෑ."

'ඊට පසු දා' කුමක් සිදුවේ ද?

නෙතන්යාහු විසින් පශ්චාත් යුද්ධ සැලැස්මක් ගෙනහැර දක්වනු ලැබ ඇති අතර එහිදී ඊශ්‍රායලය "මිලිටරිකරණයෙන් මුදා ගන්නා ලද" ගාසා තීරයේ ආරක්ෂාව දින නියමයක් නොමැතිව පාලනය කරනු ඇති අතර ඊශ්‍රායලයට එදිරි කණ්ඩායම් සමග කිසිදු සම්බන්ධයක් නොමැති පලස්තීනුවන් භූමිය පාලනය කරනු ඇත.

Children sit amid the rubble of destroyed buildings following Israeli bombardment in Rafah, 29 December

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, සිවිල් වැසියන්ට යුද්ධයෙන් වන බලපෑම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දැඩි විවේචන එල්ල වී තිබේ

කර්නල් ඊසින් පවසන්නේ හමාස් සංවිධානය "සෑම විට ම යමක් පෙන්වීමට යන" බව ය. නමුත් "ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් - ඔවුන්ගේ තර්ජනය" තුරන් කිරීමට ඊශ්‍රායලයට හැකි වනු ඇතැයි ද ඔවුන් විශ්වාස කරයි.

"යමෙකුට සැබවින් ම අවශ්‍ය වන්නේ හමාස් සංවිධානය කොන් කිරීමට සහ දුර්වල කිරීමට නම්, ඒක සිද්ධ වෙන්න පුළුවන් එක ම මාර්ගය තමයි අර්ථවත් ප්‍රතිඵල ගන්න පුළුවන් දේශපාලන මාවතක් නිර්මාණය කිරීම" ලොවට් පවසයි.

එහෙත් ද්වී රාජ්‍ය විසඳුමක් කරා යන මාවතක අපේක්ෂාවන් තවමත් සතුටුදායක නැත.

නෙතන්යාහු මෑතකදී Xහි ප්‍රකාශ කළේ, "ජෝර්දානයට බටහිරින් මුළු ප්‍රදේශය පුරා ඊශ්‍රායලයේ පූර්ණ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් සම්මුතියක් ඇති කර නොගන්නා බව ත් - මෙය පලස්තීන රාජ්‍යයකට පටහැනි" බව ත් ය.

මෙය ඊශ්‍රායල-පලස්තීන ගැටුමට කල්පවත්නා විසඳුමකට "පැමිණිය හැක්කේ පලස්තීන රාජ්‍යයකට මාර්ගයක් ඇතුළත් කලාපීය ප්‍රවේශයකින් පමණක්" යැයි පවසන ඊශ්‍රායලයේ ප්‍රධාන මිත්‍රයා වන එක්සත් ජනපදයේ මතය සමග පරස්පර විරෝධී ය.

බයිඩන් පරිපාලනය අවධාරණය කර ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරය දින නියමයක් නොමැතිව අත්පත් කර නොගත යුතු බව ය. පවතින තත්ත්වයට විකල්පයක් නොමැතිව අනාගතයේදී ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමේ සැබෑ අවදානමක් ඇත.

"මට ඊශ්‍රායල ජාතිකයන්ගේ ජයග්‍රාහී දිනයක් පේන්නේ නෑ," බිනී පවසයි. "ඔවුන්ට හමාස් සංවිධානය විශාල වශයෙන් ඉන්න තත්ත්වයෙන් පහළට දාන්න පුළුවන්. නමුත් ප්‍රධාන දේ තමයි පසුව හමාස් සංවිධානය නැවත මතුවීම වළක්වා ගන්නේ කොහොම ද? කියන එක"

අතිරේක වාර්තාකරණය හෙදර් ෂාප් විසිනි