අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් නැවතත් සීමා: මේ දවස්වල ඌරු මස් ආහාරයට ගැනීම හොඳ නැද්ද?

අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තම්න්තුව නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට පෙර 2024 ඔක්තෝබර් මාසයේදී ද මෙවැනිම ආකාරයේ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, නැවතත් එම ගැසට් පත්‍රය මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි පනවා ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල පැවසුවා ය.

එම ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

ඒ අනුව, ජූනි 13 වන දා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් රෝග පැතිරීම වැළැක්වීම සඳහා සීමා පනවා ඇත.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ, මෙම රෝග දෙකම ඌරන් අතර පැතිරෙමින් ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ, මෙම රෝග දෙක ම ඌරන් අතර පැතිරෙමින් ඇති බව ය

පනවා ඇති සීමා මොනවා ද?

  • අවදානම් සහිත ඌරන්, ඌරු මස්, සහ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ තුළ හෝ ප්‍රදේශයෙන් පිටත ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පළවා හැරීම
  • ආසාදිත සතුන් ඝාතනය කිරීම
  • රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිත කිරීම
  • අවදානම් සතුන් භාවිත කරගෙන සජීවී සත්ව වෙළෙඳපොළ පැවැත්වීම, ප්‍රදර්ශන හා තරග පැවැත්වීම
  • ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම
  • අදාළ රෝග හේතුවෙන් මිය ගිය හෝ ආසාදනය වූවා යැයි සැකයට හේතු වූ සතෙකුගේ මළ කුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක්වූ ද්‍රව්‍යයක් හෝ ජලයට සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම
  • අදාළ රෝග හේතුවෙන් මිය ගිය හෝ ආසාදනය වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළ කුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථානගත කිරීම

ඌරන්ගෙන් මිනිසුන්ට රෝගය බෝ වෙයි ද?

මෙරට තුළ ඌරු ගොවිපොළවල් 3500ක් පමණ ඇති අතර ඒවායේ වෙසෙන ඌරන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ, 400 - 500 අතර සතුන් සංඛ්‍යාවකට මෙම රෝග ආසාදනය වී ඇතැයි වාර්තා වී තිබෙන බව ය.

බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාතේ එම ගොවිපොළවල් වැඩි සංඛ්‍යාවක් පවතින අතර එම පළාත්වලින් ආසාදිත සතුන් වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ, මෙම රෝග ඌරන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ, මෙම රෝග ඌරන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බව ය

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මීට පෙර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, මෙම රෝග ඌරන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බව ය.

“මේ රෝග දෙක ම ඌරන් අතර විතරක් පැතිරෙන රෝග. ඌරන්ගෙන් මිනිස්සුන්ට බෝ වෙන්නෙත් නැහැ. ඌරන්ගෙන් වෙන සත්තුන්ට බෝවෙන්නෙත් නැහැ. ඌරන් අතර විතරයි පැතිරෙන්නේ. මනුෂ්‍යයන්ට කිසි ම තර්ජනයක් නැහැ මේ ලෙඩෙන්,” ඇය අවධාරණය කළා ය.

ඌරු මස් ආහාරයට ගැනීම සුදුසු ද?

“හැබැයි මේ දවස්වල සත්තු මැරෙනවා මේ ලෙඩෙන්. අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) ටිකක් දරුණු යි. මරණ ප්‍රතිශතය ඉහළ යි. ඒ නිසා මරණ ඉහළ වුණා ම සත්තු ගොඩක් මැරෙනවා නේ හැදු ගෝවිපළවල. ඒ මැරිච්ච සත්තු අනුභවය අපි නිර්දේශ කරන්නේ නැහැ, මැරුණට පස්සේ,” ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවාය.

“ඒ වුණාට මේක බෝවෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේක ස්පර්ශයෙන් හෝ අනුභවයෙන් බෝවන රෝගයක් නෙමෙයි.”

“නමුත් මැරිච්ච සත්තුන්ට වෙන වෙන බැක්ටීරියා එන්න පුළුවන්. නරක් වෙනවා මැරුණට පස්සේ. ඒ නිසා පරිභෝජනයට සුදුසු නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.