බළලුන් හා බල්ලන් මරා දැමීමෙන් ජලභීතිකා රෝගය වැළැක්විය හැකි ද?

ඇමරිකාවේ නාගරික ස්ථානයක පිහිටි තාප්පයක් අසලින් දිව යන අයාලේ යන සුනඛයින් පස් දෙනෙක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඔනුර් ඒරේම්
    • Role, බීබීසී ලෝක සේවය

අවවාදයයි: මෙම ලිපියේ සුනඛ ප්‍රහාරයකින් සිදුවන තුවාල පිළිබඳ විස්තර අඩංගු වේ

ජලභීතිකා රෝගය ලොව පුරා තර්ජනයකි. ඉන් සෑම වසරකම මිනිසුන් 60,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය යන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රෝගීන්ගෙන් 99% ක්ම සුනඛ සපාකෑම් සහ සීරීම් වලට හේතු වේ.

සපා කෑමට ලක්වීමෙන් පසු ජලභීතිකා රෝගය සඳහා එන්නතක් ලබා ගත හැකි වුවද, යමෙකුගේ මුහුණ හෝ ස්නායුවකට ආසන්නව සපා කෑමකට ලක්වූ විට එය සැමවිටම ඵලදායී නොවනු ඇත.

ඉන්දියාවේ අරක්කෝනම් නගරයේ වෙසෙන සිව් හැවිරිදි නිර්මාල් එළිමහනේ ක්‍රීඩා කරමින් සිටියදී අයාලේ යන සුනඛයෙකුගේ ප්‍රහාරයට ලක් වුයේ ඉකුත් ජුලි මාසයේදීය.

ඔහුගේ පියා එම ස්ථානයෙන් පිටත්ව ගොස් මිනිත්තු කිහිපයක් ගතවීමට පෙර සත්වයා කුඩා දරුවාගේ මුඛය සපා කා ඇත.

"මම වතුර ටිකක් ගන්න ගේ ඇතුලට ගියා විතරයි " ඔහුගේ පියා බාලාජි දේශීය මාධ්‍ය වෙත පැවසීය.

“මම ආපහු එනකොට, ඔහුගේ කටේ තුවාල තියෙන බව මම දැක්කා. දරුවා ගොඩක් ලේ ගලමින් සිටියේ.”

නිර්මාල් කුඩා දරුවා, මොපඩ් වර්ගයේ යතුරු පැදියක නැගී පියා වන බාලාජී වැළඳගෙන සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, FAMILLE BALAJI

ඡායාරූප ශීර්ෂ වැකිය, 'නිර්මාල් සහ ඔහුගේ පියා බාලාජී

නිර්මාල්ගේ පවුලේ අය ඔහුව රෝහලට ගෙන ගිය අතර ඔහු දින 15ක් දැඩි සත්කාර ඒකකයේ සිටියේය.

අවසානයේදී, ඔහුගේ තත්ත්වය යථා තත්ත්වයට පත්වූ අතර, ඔහුව රෝහලෙන් නිවස වෙත එවන ලදී. නමුත් නිවසට පැමිණ වැඩි කල් යාමට මත්තෙන් ඔහුගෙන් ජලභීතිකා රෝග ලක්ෂණ පෙනෙන්නට පටන් ගත්තේය.

පවුලේ අය නැවත ඔහුව රෝහලට ගෙන ගිය අතර එහිදී වෛරසය ඔහුගේ ස්නායු පද්ධතියට ආසාදනය වී ඇති බව දැන ගන්නා ලදී. දින දෙකකට පසු නිර්මාල් මිය ගියේය.

සමහර විට ළමුන් සුනඛයින් සපා කෑ බව නිවසට පැවසීමට බිය වන අතර ප්‍රමාදයකින් තොරව ජලභීතිකා එන්නත ලබා ගැනීම එමගින් වළක්වනු ලබයි.

1994 සිට 2015 දක්වා කාලය තුළ මුම්බායි හි මිලියන 1.3 ක පුද්ගලයින් සංඛ්‍යාවක් සුනඛයින්ගේ සපා කෑමට ලක් වූ අතර ජලභීතිකා රෝගයෙන් 434 ක් මිය ගියහ.

නමුත් එකම අවදානම අයාලේ යන සතුන්ගෙන් එල්ල වන ප්‍රහාර පමණක් ම නොවේ.

ජාත්‍යන්තර සහකාර සත්ව කළමනාකරණ සන්ධානය (ICAM) නම් වූ ගෝලීය පුණ්‍යායතනයට අනුව, පාලනය නොකරන අයාලේ යන සුනඛයින් නිසා සිදුවන වෙනත් අනතුරු ලෙස මාර්ග අනතුරු, පශු සම්පත් සඳහා ඇති අවදානම සහ වීථිවල මිනිසුන්ට ඇවිදීම වළක්වාලීම ආදිය ඇතුළත් වේ.

තුර්කියේ මතභේදාත්මක නව ප්‍රවේශය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අයාලේ යන සුනඛයන් වැඩිවීම තුර්කියට දැවෙන ප්‍රශ්නයක් වන අතර රටේ පශු වෛද්‍ය සංගමය ඇස්තමේන්තු කර ඇති පරිදි අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව මිලියන 6.5 කි.

රටේ ආරක්‍ෂිත වීථි සංගමයට අනුව, අයාලේ යන සුනඛ ප්‍රහාර හේතුවෙන්, සෘජුව හෝ රථවාහන අනතුරු හේතුවෙන් පසුගිය වසර දෙක තුළ තුර්කියේ පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

මෙම වසරේ ජුලි මස අවසානයේදී, තුර්කි රජය විසින් ඉදිරි වසර හතර තුළ සියලුම අයාලේ යන සුනඛයින්ව සුනඛ රැඳවුම් ස්ථාන වෙත යොමු කරන ලෙස ප්‍රාදේශීය ආයතන වලට බල කරන නීතියක් සම්මත කරන ලදී. ඊට අවනත වීමට අපොහොසත් වන නගරාධිපතිවරුන්ට සිරගත වීමට සිදුවනු ඇති බවට තර්ජන ද කර ඇත.

“මේ සත්තු ළමයින්ට, වැඩිහිටියන්ට, මහලු අයට සහ වෙනත් සතුන්ට පහර දෙනවා” යැයි තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කළ දිනට පසු දින පැවසීය. "ඔවුන් රථවාහන අනතුරු ඇති කරනවා"

2004 සිට, මහ නගර සභාවලට නීත්‍යානුකූලව අයාලේ යන සුනඛයන් ඇල්ලීම, එන්නත් කිරීම සහ නිසරුභාවයට පත් කිරීමෙන් පසුව ඔවුන් රැගෙන ආ වීථියටම නැවත මුදා හැරීමට සිදු විය.

මෙය CNVR ක්‍රමය ලෙස හැඳින්වේ - ඒකරාශී කිරීම, වන්ද්‍යකරණය කිරීම, එන්නත් කිරීම, ආපසු මුදා හැරීම ඊට අයත් ය. එය හොඳම විසඳුම ලෙස බොහෝ විශේෂඥයින් විසින් සලකනු ලැබේ - නමුත් ජනාධිපති එර්ඩෝගන් පැවසුවේ එය එලදායි නොවූ බවයි.

මක්නිසාද යත්, මෙම ක්‍රමය ඵලදායී වීමට නම් අයාලේ යන සුනඛයන්ගෙන් 70%ක් වන්ධ්‍යකරණයට ලක් කිරීමට අවශ්‍ය වනු ඇති බව තුර්කි පශු වෛද්‍ය සංගමයේ වෛද්‍ය ගුලයි එරිටර් පවසයි.

නව නීතියට එරෙහි බැනරයක් අතැතිව විරෝධතාකරුවන් සුනඛයෙකු ද සමග සිටියි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තුර්කියේ නව නීතියට එරෙහිව විවිධ විරෝධතා පැවැත්වුණි

නව නීතිය යටතේ, සුනඛයින් තවමත් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සහ එන්නත් ලබා දීම කරන නමුත් පසුව, ඔවුන් නැවත වීථියට ගෙන ඒම වෙනුවට (ඔවුන් හදා වඩා ගැනීම හෝ මිය යන තුරු) රැඳවුම් ස්ථානවල තබනු ඇත.

සතුන් ආරක්ෂා කිරීමේ සම්මේලනය අනතුරු අඟවන්නේ නව ක්‍රමය වියදම් අධික වනු ඇති බවත්, විශාල එළිමහන් රැඳවුම් යනු ශක්තිමත් සුනඛයන් විසින් දුර්වල සතුන් ආහාර ලබා ගැනීමෙන් වළක්වන අතර, රෝග ද ඉක්මනින් පැතිර යා හැකි බවත්ය.

ICAM හි අධ්‍යක්ෂ ආචාර්ය එලී හිබියි පවසන්නේ එය "එකම ආකාරයෙන්ම අසාර්ථක වීමේ මිල අධික ක්‍රමයක්" බවත් රැඳවුම් ස්ථාන ඉක්මනින් පිරී යන බවත්ය.

නව නීතියට එරෙහිව තුර්කිය ඇතුළු රටවල් කිහිපයක විරෝධතා මතුව තිබේ.

මේ පිළිබඳ අදහස් දැන ගැනීමට අපි තුර්කි බලධාරීන් සම්බන්ධ කර ගත්තෙමු, නමුත් ලිපිය පළ කිරීමට පෙර පිළිතුරක් නොලැබුණි.

අයාලේ යන සුනඛ සංඛ්‍යාව අඩු කිරීමට හොඳම ක්‍රමය කුමක්ද?

ICAM හි වෛද්‍ය හිබියි පවසන්නේ සුනඛයන් ඔවුන්ගේ ජීවිතයේ මුල් අවධියේදීම වන්ධ්‍යකරණයට ලක් කිරීම අයාලේ යන සංඛ්‍යාව අඩු කිරීමේ මුලික ක්‍රමය බවයි.

ඒ අනුව, අයාලේ යන සුනඛයන්ට ප්‍රජනනය කළ නොහැකි අතර සුරතල් සුනඛයෙකු නැති වුවහොත් හෝ අතහැර ගියත් ප්‍රජනනය කළ නොහැකි නිසා අයාලේ යන සත්වගහනය වැඩි කළ නොහැක.

“ඊළඟ පරම්පරාවේ අයාලේ යන සුනඛයින් ඇතිවීමට මුලික වන කරුණට පිළියම් නොකර සුනඛයින් පාරෙන් ඉවත් කිරීම” එලදායි නොවන බව ඇයගේ අදහසයි.

අයාලේ යන සුනඛයින් සෑම විටම ප්‍රජනනය කරන අතර එක් සුනඛයෙකුට වසරකට බලු පැටවුන් 20ක් දක්වා සිටිය හැක. එබැවින් සමහරක් වීථියෙන් ඉවත් කිරීම මගින් (මරා දැමීමෙන් හෝ අභයභූමිවලට දැමීමෙන්) දිගු කාලීනව ඔවුන්ගේ සංඛ්‍යාව අඩු මට්ටමක තබා ගත නොහැකි බව ඇය වැඩිදුරටත් පවසන්නීය.

සුනඛයන් මරණයට පත් කිරීම (සමහර විට ඔවුන් ප්‍රසිද්ධියේ මරා දැමීම හෝ ඔවුන්ව කඳවුරු තුළදී මරණයට පත් කිරීමෙන්) කුරිර ලෙස දකිනු ලබන්නේ, බොහෝ මිනිසුන් සත්ව හිමිකම් ක්‍රියාකාරීන් පමණක් නොව, වීථි වලදී වෙඩි තැබීම් සහ විෂ එන්නත් කිරීම් දකින පුද්ගලයින් ද ඉන් කලබලයට පත් විය හැකිය.

එංගලන්තයේ හඩර්ස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ "ළමා අයිතිය තහවුරු කිරීම යනු සතුන්ගේ ද අයිතිවාසිකම් තහවුරු කිරීම" යන මාතෘකාව යටතේ ආචාර්ය උපාධියක් සඳහා පෙනීසිටින මනෝචිකිත්සක සහ මානසික සෞඛ්‍ය හෙදියක් වන ඩෙබී විල්සන් පවසන්නේ සත්ව හිංසනය දැකීමෙන් දරුවන් තුළ සංවේදනය අඩු වන අතර එය සිදුවීමේ අවස්ථාව වැඩි වන බවයි. ඔවුන් වයසින් මුහුකුරා යන විට සතුන්ට සහ අනෙක් මිනිසුන්ට කුරිරු ලෙස සලකනු ලබන බව ද ඇය පවසයි.

සතුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීමෙන් ළමයින් ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සඳහන් වේ.

ලොව පුරා සාර්ථකත්වයන්

ඵලදායී වන්නේ කුමක්ද?

බොස්නියා සහ හර්සගෝවිනා සහ තායිලන්තය යන රටවල් දෙකම CNVR හෙවත් ඒකරාශී කිරීම, වන්ද්‍යකරණය කිරීම, එන්නත් කිරීම, ආපසු මුදා හැරීම යන ක්‍රම භාවිතා කරමින් අයාලේ යන සුනඛ සංඛ්‍යාව අඩු කර ගැනීමට මෑතකදී සමත්වී ඇත.

බොස්නියාවේ Dogs Trust Worldwide Foundation නැමති සංවිධානය පවසන්නේ සුනඛයන් ඒකරාශී කිරීම, වන්ද්‍යකරණය කිරීම, එන්නත් කිරීම, ආපසු මුදා හැරීම හේතුවෙන් 2012 සහ 2023 අතර අගනුවර වන සරජේවෝ හි අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව 85% කින් අඩු වී ඇති බවයි.

සරජේවෝ අගනුවර ඇතුළු මහ නගර සභාව තුළ අයාලේ යන සුනඛයින් 70% කින් අඩු වී ඇත

අයාලේ යන සුනඛ ගහනයේ වන්ධ්‍යාකරණ ප්‍රතිශතය 70% ට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් සමස්ත සංඛ්‍යාවේ අඩුවීමක් ඇති කිරීමට අවශ්‍ය මට්ටම පවත්වා ගැනීම සඳහා තවත් පශු වෛද්‍යවරුන් පුහුණු කිරීමට එරටට සිදු විය.

Dogs Trust පුණ්‍යායතනය වඳ භාවයට පත් කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව අයිතිකරුවන් ඉලක්ක කර දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කළේය.

පැවති පශු වෛද්‍ය සායන සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වූ අතර හිමිකරුවන් සහිත සහ අයාලේ යන සුනඛයින් සඳහා වඩා හොඳ රැකවරණයක් ලබා දෙයි.

සරජේවෝ නගරයේ වැඩසටහනේ සාර්ථකත්වයෙන් පසුව, එය 2015 දී පළාතේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත විය. අද ගැන කුමක් කිව හැකිද? ඔවුන් පහළ මට්ටමක් පවත්වාගෙන ගොස් තිබේද/ එය තවමත් හරිද?

පසුගිය වසරේ, තායිලන්තයේ, Soi Dog පදනම පසුගිය වසර 20 තුළ අයාලේ යන සතුන් මිලියනයක් වඳ භාවයට පත් කළ සහ එන්නත් කළ ඉතිහාසයේ පළමු සංවිධානය බවට පත්විය. අයාලේ ගිය සුනඛයින් ගෙන් මිලියන භාගයකට වඩා වැඩි පිරිසක් බැංකොක් අගනුවරදී පමණක් අල්ලා ගෙන තිබුණි.

මෙම දිගු ක්‍රියාවලිය 2003 දී ෆුකෙට් දූපතෙන් ඉතා කුඩා පරිමාණයෙන් ආරම්භ විය.

"එය ආරම්භ වන්නේ ප්‍රාදේශීය ප්‍රජාව කෙරෙහි විශ්වාසය ගොඩනැගීමෙන්" Soi Dog පදනමේ හි සත්ව සුභසාධනය පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යක්ෂ ආචාර්ය අලීච්ජා ඉසිඩෝර්චෙක් පවසයි.

තායිලන්තයේ අයාලේ යන සුනඛයින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිලන්තයේ අයාලේ යන සුනඛයින්

ෆුකෙට් හි අයාලේ යන සුනඛ ගහනය 80,000 සිට 6,000 දක්වා අඩු කිරීමට ඔවුහු සමත් වූහ.

මෙම සාර්ථකත්වයෙන් පසුව, ඔවුන් ඔවුන්ගේ ක්‍රම අයාලේ යන සුනඛ ගහණය බහුලව සිටි බැංකොක් වෙත ගෙන ගියහ.

නමුත් ව්‍යාපෘතිය ප්‍රමාද කරවන ඇතැම් සිදුවීම්ද ඒ අතර විය.

වසර පහකට පමණ පෙර, තායි රජය නව තුර්කි ප්‍රතිපත්තියට සමානව - අයාලේ යන සෑම සුනඛයෙකුම කඳවුරු වෙත ගෙන යාමේ අරමුණින් වැඩසටහනක් නිර්මාණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස නවාතැන් විශාල වශයෙන් පිරී ඉතිරී ගියේ එය කළ නොහැකි බව අවබෝධ කර දෙමින්ය.

එහෙත් තායි සහ බොස්නියානු ව්‍යාපෘති දෙකම අයාලේ යන සුනඛ ගහනය අඩුවීමට මෙන්ම ජලභීතිකා රෝග සහ සපා කෑම අවම කිරීමට හේතු විය. එය අයාලේ යන සුනඛයින්ගේ ජීවන තත්ත්වය ද ඉහළ නංවා ඇති බව වෛද්‍ය හයිබි පවසයි.

තවමත් විසඳුම් නොමැති රටවල්

මොරොක්කෝවේ ෆෙස් නගරයේ අයාලේ යන සුනඛයින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මොරොක්කෝවේ ෆෙස් නගරයේ අයාලේ යන සුනඛයින්

මොරොක්කෝවේ නිලධාරීන් මෑතකදී සුනඛයන් විශාල වශයෙන් මරා දැමීම ආරම්භ කර ඇත.

රජය මේ සඳහා හේතුවක් ඉදිරිපත් කර නැතත්, සමහරු විශ්වාස කරන්නේ එය 2025 අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය සඳහා සත්කාරක රට වීම හා FIFA 2030 ලෝක කුසලාන සත්කාරක රටවලින් එකක් විම නිසා විය හැකි බවයි.

මොරොක්කෝ හි 'මානව හිතවාදී සමාජය නැමති සංවිධානයේ' නිර්මාතෘ සහ මොරොක්කෝවේ සත්ව ආරක්ෂණ සංගම්වල සම්බන්ධීකාරක අලී ඉසඩීන් පවසන්නේ රටෙහි TNVR (ප්‍රතිකාර, වන්ධ්‍යාකරණය, එන්නත් සහ මුදා හැරීම) වැඩසටහනක් නොමැති බවයි.

එම සංවිධානය ඇස්තමේන්තු කරන්නේ රට තුළ අයාලේ යන සුනඛයින් මිලියන තුනක් සිටින අතර සෑම වසරකම 500,000 ක් ඝාතනය කරනු ලබන බවයි.

මේවායින් බොහොමයක් සිදුකරන්නේ ප්‍රසිද්ධියේ වෙඩි තැබීමෙන් හෝ විෂ ශරීරගත කිරීම් හරහාය.

මරා දැමීම එලදායි නොවන බවත් "ඉතිරිවී සිටින අයාලේ යන සුනඛයන් හරහා නැවත ප්‍රජනනය සිදුවනවා, ඊට පස්සේ වැඩි පැවැත්මක් සහිත විශාල පැටව් සංඛ්‍යාවක් බිහිවෙනවා. ඔවුන් මරා දැමූ සුනඛයින්ගෙන් හිස්වූ ස්ථානයන් අත්පත් කර ගන්නවා"ඉසඩින් පවසන්නේය.

ප්‍රධාන පාපන්දු ඉසව් දෙකට පෙර තවත් අයාලේ යන සුනඛයින් මරා දැමීම සඳහා මොරොක්කෝව මාරාන්තික එන්නත් මාත්‍රා මිලියන තුනක් ඇණවුම් කර ඇති බව මෑතකදී දැනගත් බව ඉස්ඩින්ගේ සංවිධානය පවසයි. මෙය කිසිදු නිල මූලාශ්‍රයකින් තහවුරු කර නොමැති අතර හෝ කිසිදු නිලධාරියෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත.

අපි මොරොක්කෝ රජයෙන්, කැසබ්ලැන්කා මහ නගර සභාවෙන් සහ මරකේෂ් මහ නගර සභාවෙන් අදහස් විමසූ නමුත් මෙම ලිපිය ප්‍රකාශයට පත් කිරීමට පෙර කිසිදු පිළිතුරක් නොලැබුණි.

වෛද්‍ය හයිබි පවසන්නේ ගෝලීය වශයෙන් අයාලේ යන සුනඛ ගහනය කළමනාකරණයේ දියුණුවක් වත්මන් ප්‍රවණතා තුළින් පෙන්නුම් කරන බවයි. මෙය මහජන පීඩනය සමඟ සම්බන්ධයක් ඇති බැවින් මිනිසුන් සුනඛයින් සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වඩාත් මානුෂීය ක්‍රම ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.