ජාත්‍යන්තර මානව හිමිකම් දිනය: මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය විය යුතුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
“මාගේ පුත්‍රයා දැනට වසර 28ක පමණ දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටියි. ඔහු කඩින් කඩ නොයෙකුත් බන්ධනාගාරවලට මාරුකර යවන ලදි. බූස්ස, අඟුණුකොලපැලැස්ස ආදී දුර බැහැර බන්ධනාගාරවල සිටි ඔහු බැලීමට අප හට යාමට නොහැකිය. දැනට මොණරාගල බන්ධනාගාරයේ ඔහු රඳවා තබා ඇත. මා ඉතා අසරණව සිටින අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ වැනි නොයෙකුත් රෝගාබාධයන්ගෙන් පෙළෙමි. කරුණාකර මේ ගැන මානුෂිකව සිතා බලා අපහට ඔහුව බැලීමට හැකිවන පරිදි වැලිකඩ හෝ මහර වැනි බන්ධනාගාරයකට මාරු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.”
මේ දිර්ඝ කලක් බන්ධනාගාරගතව සිටින රැඳවියෙකුගේ මවක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට ඉදිරිපත් කළ ආයාචනයකි.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මේ මව ඉල්ලා සිටින්නේ තම පුත්‍රයාට නිදහස හෝ පොදු සමාවක් නොව, ඔහු දැක බලා ගැනීමට යාමට හැකිවන පරිදි ඔහු කොළඹ අවට බන්ධනාගාරයකට මාරුකර දීමට සහය වන ලෙසය.
එවැනි මානූෂීය ගැටළු සිය දහස් ගණනක් මැද, මරණ දඬුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විදින අතරතුර සිය ආචාර්ය උපාධිය හැදෑරීමට සූදානම්වන රැඳවියෙකු පිළිබඳව බීබීසී සිංහල ඉකුත් නොවැම්බර් මස වාර්තා කර සිටියේය.
ඔහු සිය මූලික උපාධිය, පශ්චාත් උපාධිය මෙන්ම දර්ශනපති උපාධිය අවසන්කර තිබුණේ බන්ධනාගාරය තුළදීය.
අප විසින් එම ප්‍රවෘත්තිය පළ කිරීමෙන් පසු බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළින් විමසා තිබුණේ එවැනි රැඳවියෙකුට පොදු සමාව යටතේ බන්ධනාගාරයෙන් නිදහස ලැබීමට හැකියාවක් නැද්ද යන්න පිළිබඳවය.
ඒ, අනුව ජනාධිපතිවරයාගේ විශේෂ සමාව හෝ කොන්දේසි යටතේ හෝ සෘජුව නිදහස නොලබන මරණ දඬුවම නියම වූ සෙසු රැඳවියන්ට හෝ ජීවිතාන්තය දක්වා හෝ දීර්ඝ කාලීන සිරදඬුවම් විදින රැඳවියන්ට බන්ධනාගාරයෙන් නිදහස ලැබීමට ශ්‍රී ලංකාවේ පවතින වත්මන් නීති රාමුව යටතේ හැකියාවක් තිබේද? බීබීසී සිංහල ඒ පිළිබඳ සොයා බැලීමක් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මරණ දඬුවම නියම වූ රැඳවියන් 1000ක්
දැනට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන් 1000කට ආසන්න පිරිසක් රඳවා සිටිති. දිවයින පුරා බන්ධනාගාර 6ක පමණ එම සිරකරුවෝ රැඳවා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.
බන්ධනාගාරය තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන් හඳුන්වනු ලබන්නේ ‘කන්ඩෙම්’ වූ රැඳවියන් ලෙසටය.
ඔවුන්ගෙන් බහුතරයක් මනුෂ්‍ය ඝාතන වැනි බරපතල අපරාධ හා සංවිධානාත්මක අපරාධවලට වරදකරුවන් වූ චූදිතයින්ය.
බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වන සම්ප්‍රදාය අනුව පළමුවරට දඬුවම් නියම වන රැඳවියන් රඳවා තැබෙන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළය. නැවත බන්ධනාගාරගත නොවීමට ඔවුන් පුනරුත්ථාපනය කිරීම එහි අරමුණය.
බන්ධනාගාරයෙන් නිදහස්ව ගොස් යළිත් වරක් සිර දඬුවම් ලැබ හෝ නැවත නැවත බන්ධනාගාරගත වන රැඳවියන් මහර, දුම්බර, අඟුණුකොලපැලැස්ස ඇතුලු බන්ධනාගාර වෙත යොමු කෙරෙන අතර සංවිධානත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් බොහෝ විට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබෙනු ඇත.
මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ මරණ දඬුවම නියමව එකම සිර කුටියක දඬුවම් විදින පියපුතු දෙපළක් පිළිබඳවද අප කළ සොයා බැලීමේ දී අනාවරණය විය.
ඒ, වැලිකඩ බන්ධනාගායේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා ය.

සමාව ප්‍රදානය කිරීම තීරණය වන්නේ දේශපාලන හිතවත්කම මත ද?
“සිරකරුවෝද මනුෂයෝය” යන පාඨය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන හිතවත්කම මතදැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රශ්න කර සිටියි.
එම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඬුවම සහ දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබූ සිරකරුවන්ට වර්ග කිරීමකින් තොරව පොදු සමාව ලබා දෙන ලෙසය.
“සිරකරුවෝද මනුෂයෝය”. යනුවෙන් සඳහන් වුවද එම මනුෂ්‍යයන් රඳවා සිටින බන්ධනාගාර බොහෝ අය හඳුන්වනු ලබන්නේ මිහිපිට අපායන් ලෙසටය.
බන්ධනාගාරය තුළ ජීවිතය කෙතරම් කටුකදැයි කීමට එය අතිශයෝක්තියක් නොවනු ඇත.
සාමාන්‍ය මනුෂ්‍යයින්ට මෙන් දිවි ගෙවීමට හැකි වටපිටාවක් හෝ පහසුකමක් මෙම රඳවියන්ට තිබේද? ඊට ප්‍රධානතම බාධාව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමය.
ජනාධිපති සමාව දීමේ ඉතිහාසය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මරණ දඬුවම ලැබූ රඳවියෙකුට නිදහස ලබා දීමට ජනාධිපතිවරයට ව්‍යවස්ථාවෙන් බලය පවරා දී තිබේ. මෙරට ඉතිහාසය තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ අවස්ථා කිහිපයක් දැකිය හැකිය.
ඉන් ආන්දෝලනාත්මක සිද්ධියක් වුයේ ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමය.
එහෙත් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරු වී මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සමාව අත්හිට වූ ශ්‍රේෂ්ඨාධිකරණය වහා ඔහු අත්අඩංගුවට ගන්නැයි (2022 මැයි 31 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.
අධිකරණය මෙම නියෝගය කළේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව ඇතුලු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
ජනාධිපති සමාව ලබා දීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතත් මරණ දඩුවම නියම වූ අයෙකු සම්බන්ධයෙන් සමාව ලබාදීමේදී අනුගමනය කල යුතු ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නැතැයි පෙත්සම්කාර පාර්ශ්ව අධිකරණයට පෙන්වා දී තිබුණි.
2021 ජනවාරි 12 වෙනිදා, බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු රංජන් රාමනායකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීම හේතුවෙන් (2022 අගෝස්තු 26) ඔහු බන්ධනාගාරයෙන් පිටව ගියේය.
අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද වසර 6ක සිර දඬුවම් විදිමින් සිට බන්ධනාගාරයෙන් නිදහස ලැබුවේ ජනාධිපති සමාව යටතේය.
ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.
'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ නඩුවේ විත්තිකරු වන ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබීය.
වරදකරුවෙකුට සමාව දීමට ජනාධිපතිවරයාට ඇති මෙම බලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ විසින්ද භාවිත කරනු ලැබූ අවස්ථා පිළිබඳ මෙරට ඉතිහාසය සාක්ෂි දරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ජනාධිපතිවරු බලය අවභාවිතයට ලක්කරමින් මිතුරන්ට සහන දෙන්න තමා ඒක පාවච්චි කළේ'
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතී නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේ , “සිරකරුවන්ගේ දඬුවම් සමාලෝචන ක්‍රියාවලියට බලය ලැබෙන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති සමාව දීමේ බලය තුළ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපතිවරයෙකුට වරදකරුවෙකුට සමාව දීමේ බලය තියෙනවා”
“පහුගිය කාලේ අපි දකිනව මේ ජනාධිපතිවරු ගත්තමා දිගින් දිගටම තමන්ගේ ගජ මිතුරුන්ට තමන්ට ලැබිච්ච මේ බලය ප්‍රකාරව උදව්කරපු එක තමයි අපි දකින්නේ.”
නීතිඥ සේනක පෙරේරා පෙන්වා දුන්නේ “සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට අපිට හුඟක් ලියුම් දෙනවා සිරගතවෙලා ඉන්න අයගේ පවුල්වල අය. ඒවා එහෙම තියෙද්දී දුමින්ද සිල්වා අවුරුදු 5කටත් වඩා අඩු කාලයකින් නිදහස් වෙන තත්ත්වයක් තමා අපි දැක්කේ. තමන්ගේ දේශපාලන ගජමිතුරුවාදය, නැත්නම් තමන්ගේ වෙනත් මොනවා හරි සම්බන්ධතා සහ පක්ෂපාතීත්වය මත සහන දෙන්න තමා ජනාධිපතිවරු පසුගිය කාලේ පුරා වැඩ කළේ. දිගින් දිගටම මේ රටේ ජනාධිපතිවරු තමන්ට ව්‍යවස්ථානූකූලව ලැබිච්ච බලය අවභාවිතයට ලක්කරමින් තමන්ගේ මිතුරුන්ට සහන දෙන්න තමා ඒක පාවච්චි කළේ. එහෙම වෙන කොට විශාල සංඛ්‍යාවක් ඉන්නවා බරපතල විදිහට මේ ප්‍රශ්නය නිසා පීඩා විදින මිනිස්සු. තමන්ගේ ජීවිත කාලයම ඇතුළට වෙලා ඉන්න අය ඉන්නවා.”
“ලෝකය ගත්තාම මිනිස්සුන්ට නිවැරදි වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. බන්ධනාගාර ලාංඡනයේ C අකුරු 3ක් තියෙනවා. කරෙක්ෂන්, කෙයාර්, කස්ටර්ඩි. කරෙක්ෂන් කියන්නේ මොකද්ද? නිවැරදි වීම එහෙම නම් නිවැරදිවීම කියලා මේක නිකං ජප කර කර ඉදලා මන්තරයක් වගේ කිය කිය ඉදලා හරි යන්නේ නැහැ. ඒකට හරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ හින්දා තමා සුද්දා බන්ධනාගාර ආඥා පනත හදනකොට යහපත් කල් ක්‍රියාවෙන් ඉන්න කොට සහන දෙන්න ප්‍රතිපාදන ඇතුළත් කළේ. හැබැයි දැන් සුද්දාගේ එක බල බලා ඉන්න ඕනේ නැහැ. ඊට වඩා අපි දියුණු තියුණු වෙලා යන්න ඕනේ. ඊට වඩා සංකීර්ණ තත්ත්වයක් දැන් තියෙන්නේ.” නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය.
“දැන් බන්ධනාගාර වලින් එළියට යන පුද්ගලයින් ගෙන් 50%ක් ආපහු එනවා. හරි පුනරුත්ථාපන වැඩ පිළිවෙලක් නැහැ.” ඔහු කියා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ “මරණ දඬුවම දුන්නම වෙන රටවල ඒ දඬුවම ක්‍රියාත්මක කරනවා. නමුත් ලංකාවේ එහෙම දෙයක් නැහැ. දවසින් දවස ඒ මනුස්සයට ජීවත් වෙන්න බලාපොරොත්තුව ඇති කර ගත්තට පස්සේ ඒ මනුස්සයට මරණ දඬුවම දෙනවා කියන්නේ ඒ මනුස්සයගේ මානව හිමිකම් කඩ කිරීමක්.” බවය.
අත්සන් 20,000ක පෙත්සමක්
දැනට මරණ දඬුවම , ජීවිතාන්තය දක්වා සිරදඬුවම සහ දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබූ සිරකරුවන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාර තුළ දඬුවම් ලබමින් සිටිති.
මොවුන් සඳහා විධිමත් විද්‍යාත්මක පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම තුළ දඬුවම් දීමෙන් බලාපොරොත්තු වන ඉලක්කය කරා යෑමේ නොහැකියාවක් වර්තමානයේ නිරීක්ෂණය කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වාදෙයි.
කෙසේවෙතත් බන්ධනාගාර ආඥා පනතේ පවතින ප්‍රතිපාදන අනුව බන්ධනාගාරගත සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සමාලෝචන ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ තත්ත්වය තුළ තත්ත්වය වඩාත් අසතුටුදායක වී ඇතැයි එම කමිටුව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තම සංවිධානය පසුගිය වසර කිහිපය පුරාම පෙර සිටි ජනාධිපතිවරු ඇතුළු අදාළ බලධාරීන්ගේ අවධානය ඉල්ලා සිටි බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වාදෙයි.
සිරකරුවන් විසින්ද විරෝධතා ඉදිරිපත් කරමින් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීමට උත්සාහ දරා ඇතත් ඒ සඳහාද ඇහුම්කන් දී නොමැති බවත් අදාළ ලිපියේ දැක්වෙයි.
ජාතික ආදායමෙන් විශාල මුදලක් සිරකරුවන්ගේ කටයුතුවලට වෙන් කිරීමට රජයට සිදුවීම රටේ ආර්ථික සංවර්ධන ඉතා අයහපත් ලෙස බලපාමින් ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දී ඇත.
ඒ අනුව රැඳවියන් මුහුණ දෙන අයුක්ති සහගත සහ අමානුෂික ගැටලුවලට විසඳුම් වශයෙන් යැයි සඳහන් කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව යෝජනා 4ක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
මේ යෝජනා මොනවද ?
- මරදඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඬුවම සහ දීර්ඝ කාලීන සිරදඬුවම් ලැබූ සිරකරුවන් වසර දහතුනහමාරක සිර දඬුවම් ලබා තිබීම පදනම් කර ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව සමාලෝචනයට ලක් කර පොදු සමාවක් පිරිනැමීම.
- එම සමාව ප්‍රදානය කිරීමේදී කිසිදු වර්ග කිරීමකින් හෝ වෙන්කිරීමකින් තොරව ඉහත කී වර්ගයේ සියලු සිරකරුවන් සඳහා සමාන පදනමකින් කටයුතු කිරීම.
- තමන්ගේ දඬුවම් සඳහා ඉහළ අධිකරණවලට අභියාචන ඉදිරිපත් කර ඇති සිරකරුවන්ගේ අභියාචනය අසාර්ථක වූ විට දඩුවම් කාලය ගණන් බැලීමේදී අභියාචනය අසාර්ථක වූ දින සිට නොව සිරදඬුවම් නියම කළ දින සිට එකී දඬුවම් කාලය ගණන් බැලීම.
- අභියාචනයක් අසාර්ථක වූ අවස්ථාවක අදාළ ඉහළ අධිකරණයෙන් දඬුවම නියම කළ දින සිට දඬුවම් කාලය ගණනය කරන ලෙස දැනුම් දුන් අවස්ථාවන්හි දී පවා එකී නියෝග අනුව කටයුතු නොකළ අවස්ථා සම්බන්ධයෙන් සොයාබල අවශ්‍ය පියවර ගැනීම.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයා ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන මෙම යෝජනා ක්‍රියාවට නංවන ලෙසය.
ඒ අනුව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන අද (දෙසැම්බර් 10 වැනිදා) සිරකරු අයිතිවාසිකම් සැමරීම වෙනුවෙන් යොදා ගැනීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කටයුතු යොදා තිබේ.
අධිකරණ ඇමති පවසන්නේ කුමක්ද ?
බීබීසී සිංහල විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ වෙත මෙම ගැටළුව යොමු කරනු ලැබීය.
අමාත්‍යවරයා කියා සිටියේ සිරකරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා පැවති මණ්ඩලයේ කටයුතු මන්දගාමී බැවින් එය විසුරුවා හැර නව මණ්ඩලයක් පත් කළ බවය.
“ප්‍රශ්නයක් ඕකේ තියෙනවා. ලයිසන් බෝඩ් කියලා එකක් හඳුන්වා දීලා තිබ්බා. සංවිධානාත්මක අපරාධකරුවන්ට නෙමෙයි. අනෙක් මරණීය දණ්ඩනය නියම වෙච්ච අයට හොද චර්යාවෙන් අවුරුදු 5ක් ගත කළොත්. ඒ අවුරදු පහෙන් පස්සේ එයාට පුළුවන් ලයිසන් බෝඩ් එකට ඇප්ලිකේෂන් එකක් දාන්න. එක් විශ්‍රාම ගිය අභියාචානාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තමා මම ඒක පත්කරලා තිබුණේ. ඒ අවුරුදු 5 චර්යාව හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා නම්, එයාගේ චේතනාවත් බලනවා. පළිගැනීමේ චේතනාවක් ඒවගේ දේවල් මේ වෙනකොට හිතින් අතහැරලා නම් ඒ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරනවා. ඊට පස්සේ අවුරුදු 10ක් යටකොට. ඒ කියන්නේ අර පහට අමතරව තව අවුරුදු 5ක්. ඒ කියන්නේ අවුරුදු 10 වෙනකොට එයාට පුලුවන් එයා හොඳ චර්යාවෙන් ඉන්නවා නම් ආයිත් ඇප්ලයි කරන්න. මුළු අවුරුදු 10ක් ගත කළාට පස්සේ ආපුහු අර බෝඩ් එකට ගිහිල්ලා ඔප්පු කලොත් එයා හොඳ චර්යාවෙන් ඉන්නවා කියලා අපි සිර දඬුවම අවුරුදු 20ක් බවට පත් කරනවා. අවුරුදු 20 කළාට පස්සේ එයාට සාමානයෙන් අවුරුදු 20 සිරකරුවෙක්ට හොඳ චර්යාවෙන් ඉදලා නිදහස් වෙන්න පුළුවන් කාලයක් තියෙනවා නේ. එතකොට එයාට අවුරුදු දහතුනහමාරක් දාහතරක් වගේ කාලයක දී නිදහස් වෙන්න පුළුවන්.”
මන්දගාමී මණ්ඩලය වෙනුවට නව මණ්ඩලයක්
“ඒ බෝඩ් එක ක්‍රියාත්මක වුනේ හරිම ස්ලෝ. මාසයකට දවසයි, දෙකයි රැස්වුණේ. ඊට පස්සේ බෝඩ් එක විසුරුවා හැරලා දැන් අලුතින් ෆුල්ටයිම් වැඩ කරන්න කියලා බෝඩ් එකක් මම පත් කළා. විශ්‍රාම ගිය මහාධිකරණ විනිශ්චකාරවරුන් දෙදෙනෙකුත් එක්ක. දැන් ඒක ක්‍රියාත්මකයි.” විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසීය.
හැබැයි සංවිධානාත්මක අපරාධකරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට මෙය අදාළ නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෙසු බරපතල අපරාධවලට සිර ගතවුවන්ට පුනරුත්ථාපනය වී යහපත් පුරවැසියන් බවට පත් ව ඇති බව සනාථ කළ හැකි නම් මෙම සහන ක්‍රමය ක්‍රියාත්මක බව ඔහු පැවසීය.
රිමාන්ඩ් භාරයේ සිටි කාලය දඬුවමෙන් හිලව් කිරීමට නව පනතක්
එසේම අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් සංඛ්‍යාව ඉහළ යෑම බන්ධනාගාර තදබදය වැඩිවීමට හේතු වී ඇති බවය.
“හුඟාක් රැඳවියන්... සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා රිමාන්ඩ් භාරයේ අවුරුදු පහක් විතර. සමහර වෙලාවට දඬුවම හම්බවෙන්නෙත් අවුරුදු පහයි. සමහර වෙලාවට ඇපීල් එක තියෙද්දිත් අවුරුදු 4,5ක් ඉදලා තියෙනවා. අවුරුදු 5 දඬුවම ක්‍රියාත්මක වෙන්නේ අවසාන තීන්දුවෙන් පස්සේ. එතකොට අවුරුදු පහක් ඔහු බන්ධනාගාරයේ කාලය ගත කරළත් ඉවරයි. රිමාන්ඩ් එකේ සහ පෙන්ඩින් ඇපීල් හිටපු කාලසීමාව දඬුවමට හිලව් කරන්න පනතක් පාර්ලිමේන්තුවට ගේන්න දැන් මම කැබිනට් එකට දාලා තියෙනවා.” අමාත්‍යවරයා අනාවරණය කළේය.
“අවුරුදු 16යේ ඉන්න අයත් තියෙනවා. අවුරුදු 10ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරන කොට එයා අවුරුදු 16ක් බන්ධනාගාරයේ ඉදලත් ඉවරයි. එතකොට එයා තව අවුරුදු 10ක් ඉන්නකොට අවුරුදු 26ක් වෙනවා ඔටෝමැටිකලි. ඩබල් ටැක්ස්සේෂන් වගේනේ. ඒක නැති කරන්න පනත හදලා ඉවරයි.” ඔහු පැවසීය.












