ආචාර්ය උපාධියක් ලැබීමේ සිහිනය හඹා යන මරණ දඬුවම නියම වූ රැඳවියෙකු BBC යට කතා කරයි
රටේ නීතිය අනුව වැරදිකරුවෙකු වී මරණිය දණ්ඩනය හිමි වූ රැඳවියෙකු බන්ධනාගාරය තුළ ගෙවෙන කාලය ආචාර්ය උපාධියක් ලැබීමේ සිහිනය හඹා යෑම සඳහා වෙන් කර තිබෙන අතර ඔහු සමග සාකච්ඡාවක නිරත වීමට BBC සිංහල සේවයට විශේෂ අවසරයක් හිමි විය.
ඔහු සිය දර්ශනපති උපාධිය (MPhil) සඳහා පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර තිබෙන්නේ 'ශ්‍රී ලංකාවේ අපරාධ කල්ලිවල නව ප්‍රවණතා' පිළිබඳව වීම විශේෂත්වයකි.
''අපරාධ පිළිබඳව පර්යේෂණ කරන අය සාමාන්‍යයෙන් මුහුණ දෙන ගැටලුවක් තමයි ඊට අදාළ තොරතුරු ඍජුව ලබා ගැනීමේ දුෂ්කරතාවය. මම ඉන්නේ බන්ධනාගාරය ඇතුළේ නිසා බොහෝ රැඳවියන් මා සමග ඉතා මිත්‍රත්වයෙන් ඔවුන්ගේ තොරතුරු බෙදා ගන්නවා. ඒ නිසා මේ සියලු කටයුතුවල ගෞරවය ඔවුන්ට වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබෙන්න ඕනා'' යනුවෙන් ඔහු පැවසුවේය.
මරණිය දණ්ඩනය නියම වූ පසු ලද අත්දැකීම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ අපරාධ කල්ලි සහ ඒවා පාලනයට ඔහු කරන යෝජනා ගැන මෙම සංවාදයේ දී අදහස් පළ කළේය.
මෙම රැඳවියාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා විශේෂ අවසරය සහ සහයෝගය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලැබේ.








