Xpress Pearl නෞකාව ගිනි ගැනීම: නැව් සමාගම ඩොලර් බිලියනයක වන්දි මුදල නොගෙව්වොත් කළ හැක්කේ කුමක් ද?

Pearl

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ළහඳපුර සහ නීතිපතිවරයා මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24 වැනිදා) තීන්දු කළේ ය.

ඊට අමතරව අදාළ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට නියම කළේ ය.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.

වග කිවයුත්තන්ට නඩු පැවරීම

ඊට අමතරව, මෙම ඛේදවාචකයට වගකිය යුතු සියලු පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේ ය.

එසේ ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදු කරන ලෙස අධිකරණය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ද නියෝගයක් නිකුත් කරනු ලැබී ය.

අදාළ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් සහනයක් ඉල්ලා අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය, ධීවර ප්‍රජාව ඇතුළු පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය දින 30ක් තිස්සේ පැවතිණි.

එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාව

පළමු අනතුරු ඇඟවීම

නෞකාවේ ඇති ගැටලුවක් පිළිබඳ පළමු ඇඟවීමේදී, බහාලුම් කිහිපයක් තිබෙන ස්ථානය වෙනස් කිරීමට කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අවශ්‍ය බව පවසමින් නෞකාවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට (එස්එල්පී) දැනුම් දී ඇත. කෙසේ වෙතත්, කිසිදු හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් නොවීය.

Image copyright by BBC

ගින්න හටගනී

Image copyright by Getty

ගින්නක් හටගෙන ඇති බව පවසමින් පළමු වාර්තාව වරාය පාලක මැදිරියට යවන ලදි. කෙසේ වෙතත් ගින්න පාලනය කර ඇති බව නෞකාව ඉක්මනින් දැනුම් දුන්නේය.

තවත් අනතුරු ඇඟවීමක්

ගින්න හටගත් ස්ථානයෙන් දුම තවමත් ඉහළ නගන බව දන්වමින් නෞකාව නැවතත් වරාය පාලක මැදිරියට පණිවිඩයක් යවා තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ගිනි නිවීමේ ඒකක පිටත් කර යැවීය.

Image copyright by Getty

ගින්න පාලනයෙන් ගිලිහි යයි

තද සුළං හේතුවෙන් නෞකාවේ ගින්න පාලනය කරගත නොහැකි වීමත් සමඟ පිපිරීම් දෙකකින් පසු කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් කරනු ලැබේ. කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දියානු සහ රුසියානු ජාතිකයින්ගෙන් සමන්විත විය. කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු තුවාල ලබා රෝහලට ගෙන යන ලදී.

Image copyright by Getty

ගිනි නිවීමේ කටයුතු සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක නෞකා එම ස්ථානයට පැමිණේ.

Image copyright by Getty

නෞකාවේ සුන්බුන් වෙරළට ගොඩගැසීමට පටන් ගනී.

Image copyright by Getty

දින 13 ක් අඛණ්ඩව ගිනි ගැනීමෙන් පසු, එක්ස්ප්‍රස් පර්ල් නැව සම්පූර්ණයෙන්ම ගිලී යයි.

Image copyright by Getty

පිටු 361ක නඩු තීන්දුව

පිටු 361කින් සමන්විත නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සඳහන් කළේ, කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5ක් දුරින් සිදුවූ මෙම නෞකා අනතුර මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම නෞකා අනතුරක් ලෙස සැලකිය හැකි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ නෞකාවේ තිබූ විෂ අපද්‍රව්‍ය මෙන් ම ප්ලාස්ටික් අතිවිශාල ප්‍රමාණයක් මෙරට සමුද්‍ර තීරයට එක්වී සමුද්‍ර ජීවීන්ට මෙන් ම මෙරට වෙරළ තීරයට දැඩි හානියක් සිදුවූ බවත් ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙහි ප්‍රතිඵලයක් ලෙස බස්නාහිර, දකුණ සහ උතුරු වෙරළ තීරයන් දැඩි පාරිසරික අගතියකට ලක්වූ අතර විශේෂයෙන් ම පමුණුගම, මීගමුව ඇතුළු බස්නාහිර පළාතේ ධීවර ප්‍රජාව දැඩි අපහසුතාවකට මුහුණ දුන් බවත් ඇය සඳහන් කළේ ය.

2021 වසරේ මැයි මස 20 වන දා අදාළ නෞකාවේ ගින්න හටගත් අතර එය ජූනි මස 02 වන දා ගිල්වා දැමීමට කටයුතු කෙරුණු බවත් මෙම ව්‍යසනයට අදාළ නෞකාවේ කපිතාන්වරයා, එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම සහ නෞකාව හිමිකාර සමාගම වගකිවයුතු බවත් අග විනිසුරුවරිය සිය තීන්දුවේ ප්‍රකාශ කර සිටියා ය.

එමෙන් ම, කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා, අදාළ නෞකාවේ කපිතාන්වරයා, දේශීය නියෝජිත සමාගම මෙම සිද්ධියට අදාළ කරුණු සම්පූර්ණයෙන් ම වසන් කර තිබෙන බව අධිකරණයට පෙනී ගොස් තිබෙන බවත් අගවිනිසුරුවරිය පැවසීය.

ඔවුන් විසින් අදාළ නෞකාව තුළ ගින්නක් හටගෙන තිබෙන බවට තොරතුරු තිබියදීත් ඔවුන් හිතාමතා ම සත්‍යය යටපත් කර තොරතුරු වසන් කිරීමට කටයුතු කර තිබෙන බව නඩු විභාගයේදී පෙනී ගිය බවත් ඇය සඳහන් කළා ය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර සිටි විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය නාලක ගොඩහේවාට වෙරළ හා සමුද්‍ර කලාපය ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම පැවරී තිබුණ ද ඔහු එම වගකීම ඉටු කිරීම පැහැර හැර තිබෙන බවත් අග විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවා ය.

එම ව්‍යසනයෙන් පසු කැස්බෑවුන්, ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් රැසක් ශ්‍රී ලංකා වෙරළට ගොඩගැසූ අතර, තෙල් විසිරීමක් සහ වෙරළ දූෂණය වීම දක්නට ලැබිණි.

'හිටපු ඇමති නාලක ගොඩහේවා වගකීම් පැහැර හැරලා'

"අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ එවකට සභාපතිනි නීතීඥ දර්ශනී ළහඳපුර ද ඇයට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ පැවරී තිබුණු ව්‍යවස්ථාපිත වගකීම ඉටු කිරීම පැහැර හැර තිබෙනවා. මෙවැනි ඛේදවාචකයක් ඇති වූ හදිසි අවස්ථාවක ඇය යුහුසුළුව ක්‍රියාත්මක වීමට අවශ්‍යව තිබුණා. අදාළ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා අවශ්‍ය තීන්දු තීරණ කඩිනමින් ගැනීමට ඇයට හැකියාවක් තිබුණා. එවැනි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් ඇය තමන්ට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත රාජකාරිය පැහැර තිබෙන බව තහවුරු වෙනවා," යනුවෙන් අගවිනිසුරුවරිය පැවසුවා ය.

මෙම සිද්ධියේදී නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ද අග විනිසුරුවරිය කරුණු පැහැදිලි කළා ය.

"මෙවැනි ඛේදවාචකයක් ඇති වීමෙන් පසු නීතිපතිවරයා විසින් සිදු කර තිබෙන්නේ වන්දි අය කර ගැනීම සඳහා සිංගප්පූරුවේ සිවිල් නඩුවක් පැවරීම සහ මෙරට මහාධිකරණයේ නඩුවක් ඉදිරිපත් කිරීම පමණ යි. නමුත් මෙවැනි සිද්ධියක් ඇති වූ අවස්ථාවක නීතිපතිවරයා විසින් අපරාධ නඩු ගොනු කළ යුතු යි. මෙහිදී නීතිපතිවරයා එසේ කටයුතු කර නැහැ." මේ හරහා නීතිපතිවරයා ද මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව අගවිනිසුරුවරිය ප්‍රකාශ කළා ය.

ඉන් අනතුරුව මීට අදාළ නියෝග ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරිය අදාළ නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට මෙන් ම ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවට සිදුවූ හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ගෙවන ලෙස අදාළ නෞකා සමාගමට නියෝග කළා ය.

එම වන්දි මුදල් වසරක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත්, එය කොටස් වශයෙන් ගෙවිය හැකි බවත් සඳහන් කළ අගවිනිසුරුවරිය එහි පළමු ගෙවීම සැප්තැම්බර් මස 23 වන දාට පෙර ගෙවීමට පියවර ගත යුතු බවටත් තීන්දු කළා ය.

මේ වන්දි ගෙවීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මාස තුනකින් වාර්තා ඉදිරිපත් කළ යුතු බවටත් නීතිපතිවරයාට නියෝග කෙරිණි.

Pearl

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වග කිවයුත්තන් ගැන විමර්ශනයක්

ඊට අමතරව මෙම ඛේදවාචකයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදුකර නඩු පැවරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන මාස තුනක් ගත වීමට පෙර අදාළ විමර්ශනය ආරම්භ කිරිමට කටයුතු කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා ය.

එම අපරාධ විමර්ශනවල ප්‍රගතිය මාස තුනකට වරක් අධිකරණය වෙත වාර්තා කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කරන ලද නියෝගයේ සඳහන් විය.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළව නව විමර්ශනයක් ආරම්භ කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම විමර්ශනවල ප්‍රගතිය මාස තුනකට වරක් අධිකරණයට වාර්තා කරන ලෙසත් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියෝග කළේ ය.

මෙම ඛේදවාචකයෙන් අගතියට පත් වූවන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම" ස්ථාපනය කරන ලෙසත්, එහි සභාපති ධූරයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර පත් කරන ලෙසත් නඩු තීන්දුවේ සඳහන් විය.

ඊට අමතරව මෙම ඛේදවාචකය හේතුවෙන් මෙරට වෙරළ ඇතුළු සමුද්‍ර කලාපයට සිදුවූ හානිය යථා තත්ත්වයට පත්කිරීම සහ සංරක්ෂණය කිරීමේ කටයුතු මෙහෙයවීම සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් ස්ථාපනය කිරීමටත් නියෝග කෙරිණි.

එම කමිටුවට අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහය ලබා ගත යුතු බවත්, ඊට සුදුසු විශේෂඥයින් නිර්දේශ කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාව තිබෙන බවත් නියෝගයේ සඳහන් විය.

මෙසේ ස්ථාපනය කරන කමිටු දෙකෙහි කටයුතුවල ප්‍රගතිය මාස තුනකට වරක් අධිකරණයට වාර්තා කළ යුතු බවට ද නියෝගයේ සඳහන් විය.

ඒ අනුව, මෙම සියලු කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා මෙම නඩුව සැප්තැම්බර් මස 25 වන දා යළි කැඳවන ලෙසත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

එසේ ම මෙම නඩුව ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට දැරීමට සිදු වූ නීතිඥ ගාස්තු, ලිපි ලේඛන ඇතුළු නඩු ගාස්තු ගෙවීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත්, එසේ ගෙවනු ලබන නඩු ගාස්තු අදාළ නෞකා සමාගමෙන් අය කර ගැනීමට නීතිපතිවරයාට හැකි බවත් නියෝගයේ සඳහන් විය.

වන්දිය නොගෙවා සිටීමට නැව් සමාගමට පුළුවන් ද?

මෙම ව්‍යසනය සම්බන්ධයෙන් නැව් සමාගමට පැනවූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල නොගෙවා සිටීමට සිංගප්පූරුවේ පිහිටි නැව් සමාගමට හැකියාවක් තිබේ ද?

මේ පිළිබඳව, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවාගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, වන්දි ගෙවීම පැහැර හැරීමට නැව් සමාගමට හැකියාවක් නොමැති බව ය.

"මේ නඩුවේ තීන්දුවෙ තියෙන්නෙ නැවේ අයිතිකරු, දේශීය නියෝජිත, නැව ඔපරේට් කරපු එක්කෙනා, නැවේ කැප්ටන් සියලු දෙනා ම ඒකාබද්ධ වගකීමට බැඳිල ඉන්නව. නැවේ දේශීය නියෝජිතයා ඇවිල්ලත් හිටියා මේ නඩුවට අද. නැවේ අයිතිකරු ඉන්නෙ සිංගප්පූරුවෙ වුණාට, කොඩිය සිංගප්පූරුවෙ වුණාට ලංකාවෙ ඉන්නව දේශීය නියෝජිතයා. එතකොට කිසි ගැටලුවක් නෑ ඒකාබද්ධ සහ වෙන වෙන ම වගකීමක් තියෙනවා මේගොල්ලන්ට. ඒ නිසා මේ ඩොලර් බිලියනය ගෙවන්න ඕන අවුරුද්දක් තුළ. පළවෙනි වාරිකය 2025 සැප්තැම්බර් 23. ප්‍රශ්නෙ තියෙන්නෙ බැරි වෙලා හරි මේක ගෙව්වෙ නැත්නම් ඒක අධිකරණයට අපහාසයක්. එතකොට දේශීය නියෝජිතයො ඉන්නව ලංකාවෙ. ඒ අයව අත්අඩංගුවට ගන්න පුළුවන්."

දැවැන්ත පාරිසරික හානියක්

මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි.

2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වන දින ගින්න හටගෙන තිබිණි.

මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කටාර්හි හමාඩ් සිට යාත්‍රා කර ඉන්දියාවේ හසීරා වරායට ගොස් එතැනින් කොළඹ වරාය දෙසට ගමන් ආරම්භ කර තිබිණි.

2021 ජුනි 17 වන දින එය දින 13 ක් ගිනි ගැනීමෙන් පසු මුහුදේ ගිලී ගියේ ය.

එම ව්‍යසනයෙන් පසු කැස්බෑවුන්, ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් රැසක් ශ්‍රී ලංකා වෙරළට ගොඩගැසූ අතර, තෙල් විසිරීමක් සහ වෙරළ දූෂණය වීම දක්නට ලැබිණි.

එම ව්‍යසනයෙන් පසු කැස්බෑවුන්, ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් රැසක් ශ්‍රී ලංකා වෙරළට ගොඩගැසූ අතර, තෙල් විසිරීමක් සහ වෙරළ දූෂණය වීම දක්නට ලැබිණි.