කේරළ මුහුදේ පෙරළුණු නෞකාවේ තිබූ ප්ලාස්ටික් පෙලට්ස් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට ගොඩගසයි
- Author, බීබීසී සිංහල
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ආසන්න අරාබි මුහුදේදී තෙල් සහ අන්තරායකර භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පෙරළී මුහුදු බත් වීමෙන් පසු, එහි තිබූ ප්ලාස්ටික් පෙලට්ස් ශ්‍රී ලංකාවේ වෙරළට ගොඩ ගසමින් ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
නෞකාවේ තිබූ ප්ලාස්ටික් පෙලට්ස්, යාපනය ඩෙල්ෆ්, නාගදීප වෙරළට, මන්නාරම ආශ්‍රිත වෙරළ තීරයට මෙන්ම පුත්තලම සහ හලාවත වෙරළ තීරය වෙත ද ළඟා වී ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර ප්‍රකාශ කළේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම නිසා, ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණතම සමුද්‍රීය පරිසර විනාශය සිදුවූ අවස්ථාවේදී ද එම නෞකාවේ තිබූ ප්ලාස්ටික් පෙලට්ස් මෙරට වෙරළ තීරයට ගොඩගසා තිබිණි.
පසුගිය ඉරිදා (මැයි 25) කෝචි නගරයට ආසන්න මුහුදේදී ලයිබීරියානු ධජය සහිත MSC ELSA 3 නමැති මෙම නෞකාව මෙලෙස පෙරළී ඇති අතර එහි අඩංගු ද්‍රව්‍ය මුහුදට කාන්දු වීමක් ද සිදුවී ඇත. මෙම වෙරළබඩ ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් පොහොසත් වන අතර එය වැදගත් සංචාරක ගමනාන්තයක් ද වේ.

ඡායාරූප මූලාශ්‍රය, MEPA
නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාම මුදාගෙන ඇති නමුත් නෞකාවේ බහාලුම් 640න් සමහරක් වෙරළ දෙසට ගසාගෙන යමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව, එම ප්‍රදේශයේ පුද්ගලයින් ඉවත් කිරීමට ද ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබිණි.
නෞකාවෙන් සහ එහි භාණ්ඩවලින් කාන්දු වී ඇති ඉන්ධන සහ අනෙකුත් හානිකර ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශ වාසීන්ගේ සෞඛ්‍යයට සහ සමුද්‍ර ජීවීන්ට අනතුරක් සිදුවිය හැකි බවට බලධාරීහු බිය පළ කරති.
'කේරළ වෙරළ තීරයේ ඕනෑ ම තැනකට තෙල් තට්ටුව ළඟා විය හැකි බැවින් වෙරළබඩ තීරය පුරා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත,' කේරල ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ නිවේදනයක සඳහන් විය.
මුහුද අසල ජීවත් වන පදිංචිකරුවන්ට වෙරළට ගසාගෙන පැමිණිය හැකි කිසිදු බහාලුමක් හෝ කාන්දු වී ඇති තෙල් ස්පර්ශ නොකරන ලෙස බලධාරීන් උපදෙස් දී ඇති අතර, ගිලී ගිය නෞකාව ආසන්නයට යාමෙන් වළකින ලෙස ධීවරයින්ට දැනුම් දී තිබේ.
සඳුදා (මැයි 26) නිලධාරීන් පැවසුවේ, මුහුදට කාන්දු වුණු තෙල් සහ ඉන්ධන පැතිරීම පාලනය කිරීම සඳහා සමුද්‍ර දූෂණ පාලන පියවර තීව්‍ර කළ බව ය.
කේරළයේ විලිංයම් වරායේ සිට කෝචි දක්වා යාත්‍රා කරමින් තිබූ MSC ELSA 3 නම් නෞකාව, කෝචි වෙරළේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් තිබීයදී භයානක ලෙස ඇලවීමට පටන්ගෙන තිබිණි.
පසුව, එහි එක් මැදිරියක් තුළට ජලය කාන්දු වීම හේතුවෙන් ඉරිදා අලුයම එය පෙරළී ගියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, MEPA
ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පැවසුවේ, නෞකාවේ අන්තරායකර භාණ්ඩ අඩංගු බහාලුම් 13ක් තිබූ බවයි. ඉන් කැල්සියම් කාබයිඩ් අඩංගු බහාලුම් 12ක් තිබී ඇත. කැල්සියම් කාබයිඩ් මුහුදු ජලය සමග ප්‍රතික්‍රියා කර දැවෙනසුලු වායුවක් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයකි.
"ඊට අමතරව, [නැවේ] ටැංකිවල ඩීසල් මෙට්‍රික් ටොන් 84.44ක් සහ එහි ටැංකිවල දැවිතෙල් මෙට්‍රික් ටොන් 367.1ක් තිබුණා," ඔවුහු පැවසූහ.
පැය ගණනක් පුරා සිදු කළ මෙහෙයුමකින් පසු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් කාර්ය මණ්ඩල සාමාජිකයෝ බේරා ගනු ලැබූහ.

ඡායාරූප මූලාශ්‍රය, MEPA
කෙසේ වෙතත්, නෞකාවේ රසායනික මුහුදට එක්වීම සමග එවා තනුක වන නිසා, ඉන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම ඉතා අල්ප බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර සඳහන් කළේය.
ඔහු කියා සිටියේ, ඒ නිසා මසුන් ඇල්ලීමට සහ මත්ස්‍ය පරිභෝජනය සම්බන්ධයෙන් හෝ ශ්‍රී ලංකාවට සෞඛ්‍යමය වශයෙන් බිය වීමට හේතුවක් නැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Indian Coast Guard/Twitter
ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි තර්ජනය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර පැවසුවේ, නෞකාවේ අපද්‍රව්‍ය මෙරට පරිසරයට එක්වීමෙන් පරිසරයට සිදුවිය හැකි හානිකර තත්ත්වය අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවය.
ඔහු කියා සිටියේ, නෞකාවේ ප්ලාස්ටික් පෙලට්ස් අඩංගු බහාලුම් 60ක් තිබී ඇති බවය.
මෙම නෞකාව මුහුදු බත්වූ ස්ථානයට කිලෝ මීටර් 2ක අරයක් සහිත ප්‍රදේශයේ මසුන් ඇල්ලීමෙන් වළකින ලෙස ඉන්දීය කේරළ ප්‍රාන්ත බලධාරීන් එරට ධීවරයින්ට අනතුරු අඟවා තිබේ.
නෞකාව මුහුදුබත් වීමත් සමග ඉන් මෙරට පරිසරයට ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන විසින් මැයි 28 වැනිදා මෙරටට දැනුම් දී ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සඳහන් කළේය.
අනතුරුව මැයි 30 වැනිදා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් ද මෙම අවදානම පිළිබඳ මෙරටට දැනුම් දී තිබේ.
නෞකාවේ තිබූ ප්ලාස්ටික් පෙලට්ස් ජුනි 11 වැනිදා ඩෙල්ෆ්, නාගදීප, කිලිනොච්චිය යන ප්‍රදේශවල මුහුදු වෙරළට ගොඩගසා තිබිණි.
අද දිනයේ, එම ප්ලාස්ටික් පෙලට්ස් මන්නාරම, පුත්තලම සහ හලාවත දක්වා වූ වෙරළට සුළු වශයෙන් ගොඩගසා තිබිණි.
වෙරළ තීරය පවිත්‍ර කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ජුනි 13 වැනිදා සිට එම කටයුතු තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර සඳහන් කළේය.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, වෙරළට සන්බුන් ගොඩ ගැසී ඇත්නම්, 1949 හදිසි දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි.
කේරළ මුහුදේ දී ගිනි ගනිමින් පවතින තවත් නෞකාවක් ගැන පරිසර අංශ අවදානයෙන්
මේ අතර, දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ වෙරළට ආසන්නයේ අරාබි මුහුදේ සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අඛණ්ඩව උත්සාහ කරමින් සිටී.
කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි නගරය බලා ය්‍රාතා කරමින් තිබූ MV Wan Hai 503 නෞකාවේ බහාලුම් පිපිරීමක් සදුදා වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නෞකාවේ විශාල ගින්නක් ඇති විය.
නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දහඅට දෙනෙකු බේරාගෙන ඇති අතර, හතර දෙනෙකු අතුරුදන් වී ඇත. ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට සිංගප්පූරුව ද කණ්ඩායමක් යවා තිබේ.
නෞකාවේ තෙල් කාන්දුවක් සහ සුන්බුන් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ඉන්දීයාවේ ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය (INCOIS) කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සිදුවිය හැකි පරිසර හානි වැළක්වීම සඳහා නෞකාව එම මුහුදු ප්‍රදේශයෙන් ගැඹුරු මුහුදු ප්‍රදේශයකට ඇදගෙන යාමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.















