බොල්ටිමෝර් අනතුර: ඩාලි නෞකාවේ සිටින ශ්‍රී ලාංකික නාවිකයා ඇතුළු 21 දෙනාට සිදුවන්නේ කුමක් ද?

බොල්ටිමෝර් කී පාලමේ ගැටීමෙන් ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් තුවාල ලැබුවේ එක් අයෙකු පමණි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොල්ටිමෝර් කී පාලමේ ගැටීමෙන් ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් තුවාල ලැබුවේ එක් අයෙකු පමණි

බොල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටී සතියකට ආසන්න කාලයක් ගත වෙද්දීත්, අනතුරට ලක්වූ නෞකාවේ නාවිකයින් 21 දෙනෙක් තවමත් කොටුවී සිටිති.

අඩි 948ක් (මීටර් 289) දිගින් යුත් ඩාලි නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් ඉන්දීය ජාතිකයෝ වෙති. නෞකාව පාලමේ ගැටුණු අවස්ථාවේ ඉන් එක් අයෙකු සුළු තුවාල ලැබීය.

පාලම කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙම අනතුරට හේතුව තීරණය කිරීම සදහා විමර්ශන නිලධාරීන් පරීක්ෂණ පවත්වන අතර, නෞකාවේ කාර්ය මණ්ඩලයට ඉන් පිටවීමට අවස්ථාව හිමි වන්නේ කව දා ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

ඩාලි නෞකාව මත සිටින පුද්ගලයින් සහ ඔවුන්ගේ වත්මන් තත්ත්වය ගැන අප දන්නා කරුණු කිහිපයකි, මේ.

ඩාලි නෞකාව මත සිටින පුද්ගලයින් සහ ඔවුන්ගේ වත්මන් තත්ත්වය ගැන අප දන්නා කරුණු කිහිපයකි, මේ.

කාර්ය මණ්ඩලය ගැන අප දන්නේ මොනවා ද?

ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කරන දින 27ක මුහුදු ගමන ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත සිදුවූ මෙම අනතුර සිදුවන අවස්ථාවේ සමස්තයක් වශයෙන් ඩාලි නෞකාව මත කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙක් වූහ.

ඉන් 20 දෙනෙකු ඉන්දීය පුරවැසියන් බව ඉන්දියාව තහවුරු කර තිබේ. ඉන්දීය රජයේ සංඛ්‍යා ලේඛන අනුව ඉන්දියානුවන් 315,000ක් නාවික කර්මාන්තයේ සේවය කරති. එය ලෝකයේ සමස්ත නාවික සේවකයින් අතරින් 20%ක ප්‍රතිශතයකි. එම කර්මාන්තයේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව අනුව ඉන්දියානුවන් දෙවැනි වන්නේ, පිලිපීන ජාතිකයින්ට පමණි.

ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසන පරිදි කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු, ශ්‍රී ලාංකිකයෙකි.

ඉන්දීය නිලධාරියෙකු පසුගිය සතියේ පැවසුවේ, සුළු තුවාල ලබා තුවාලයට මැහුම් දැමීමට සිදුවූ සාමාජිකයා ද ඇතුළුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව ය.

කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පසුබිම හෝ ඔවුන්ගේ පළපුරුද්ද ගැන ප්‍රසිද්ධ තොරතුරු කිසිවක් නැත.

කාර්ය මණ්ඩල සාමාජිකයින් සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන් කිහිප දෙනා අතර, නාවිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලාභ නොලබන සංවිධානයක් වන බැල්ටිමෝර් ජාත්‍යන්තර නාවිකයන්ගේ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ජෝෂුවා මෙසික් ද සිටී.

කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ තත්ත්වය කෙබඳු ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කාර්ය මණ්ඩල සාමාජිකයින් සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන් කිහිප දෙනා අතර, නාවිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලාභ නොලබන සංවිධානයක් වන බැල්ටිමෝර් ජාත්‍යන්තර නාවිකයන්ගේ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ජෝෂුවා මෙසික් ද සිටී.

වයිෆයි හොට්ස්පොට් සමගින් ඔවුන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමෙන් පසු, කාර්ය මණ්ඩල සාමාජිකයින් සමග වට්ස්ඇප් පණිවිඩ හුවමාරු කර ගත් බව මෙසික් බීබීසීයට පැවසීය.

ඔහු ඔවුන් ගැන විස්තර කළේ, "අසරණ වී සිටින" ඔවුන් විමර්ශනයක් සිදුවෙමින් පවතින හෙයින් තමන් පසුවන තත්ත්වය ගැන බොහෝ දුරට නිහඬව සිටින පිරිසක් යනුවෙනි.

"ඔවුන් සමග සම්බන්ධ වී සිටින කිසි ම කෙනෙකුට ඔවුන් වැඩි විස්තරයක් කියන්නෙ නෑ," මෙසික් පැවසීය.

"සෙනසුරාදා වෙනකම් ඔවුන්ට වයිෆයි තිබුණෙ නෑ. ඒ නිසා ලෝකය ඔවුන් ගැන දක්වන ආකල්පයක් මොකක් ද කියලා ඔවුන් ඇත්තට ම දැනගෙන හිටියෙ නෑ. ඔවුන්ට බනිනවා ද, ශාප කරනවා ද කියලාවත් හරියට දැනගෙන හිටියෙ නෑ. මොකක් බලාපොරොත්තු වෙන්න ද කියලවත් දැනගෙන හිටියෙ නෑ."

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "ඔවුන් ඉන්නේ ඉතා සංවේදී තත්ත්වයක. ඔවුන්ට කියන දෙයින් සමාගමේ අදහස පිළිබිඹු වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔවුන්ට දැනට නිහඬව ඉන්න කියලා උපදෙස් දීලා ඇති."

බොලටිමෝර් හරහා යාත්‍රා කරන නෞකාවල සිටින පුද්ගලයින් ගැන සොයා බලන Apostleship of Sea නමැති දූත සේවාව පවත්වාගෙන යන ඇන්ඩෲ මිඩ්ල්ටන් පැවසුවේ, අනතුර සිදුවූ අවස්ථාවේ සිට ඔහු "දිනකට කිහිප වරක්" කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබදව සොයා බලන බව ය.

"ඔවුන් කියන්නේ ඔවුන් සියලු දෙනා හොඳින් ඉන්නවා කියලා," ඔහු පැවසීය.

කාර්ය මණ්ඩල සාමාජිකයින් සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන් කිහිප දෙනා අතර, නාවිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලාභ නොලබන සංවිධානයක් වන බැල්ටිමෝර් ජාත්‍යන්තර නාවිකයන්ගේ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ජෝෂුවා මෙසික් ද සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඔවුන්ට නෞකාවෙන් පිටතට යා හැක්කේ කවදා ද?

බලධාරීන් පවසා ඇත්තේ, නැව පිළිසකර කිරීමේ කටයුතුවල තවමත් නිරතව සිටින ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන් පිටතට රැගෙන යාමට දැනට සැලසුමක් නොමැති බව ය. ඔවුන් යාත්‍රාව එම ස්ථානයෙන් රැගෙන යන තුරු ඉන් පිටව යනු ඇතැයි සිතිය නොහැකි ය. - එය සංකීර්ණ හා දීර්ඝ ක්‍රියාවලියකි.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අද්මිරාල් ෂැනන් ගිල්රීත් පසුගිය සිකුරාදා පැවසුවේ, බොල්ටිමෝර් වරාය සහ නැව් මාර්ගය නැවත විවෘත කිරීම සඳහා ඩාලි නෞකාව එම ස්ථානයෙන් රැගෙනයාම ද්විතීයික ප්‍රමුඛතාවක් බව ය.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ පවා, ඇමෙරිකාවේ වරායන්හි නැව්වලින් විදේශීය ජාතිකයින් සහිත කාර්ය මණ්ඩල ගොඩ බැස්වීම සඳහා සැලකිය යුතු ලේඛන ක්‍රියාවලියක් අවශ්‍ය වේ.

වීසාවලට අමතරව, නෞකාවකින් ගොඩබැසීම සඳහා නාවිකයින් සතුව පිළිගත හැකි වෙරළ අවසර පත් තිබිය යුතු ය. අදාළ ප්‍රදේශයේ නාවිකයින් සමග කටයුතු කරන විවිධ ලාභ නොලබන ආයතන හරහා එම කාර්යය ඉටු කර ගත හැකි වුව ද, නැවේ සිට පර්යන්ත ගේට්ටුව වෙත ගෙන යාමට ඔවුන්ට පරිවාර භටයන් ද අවශ්‍ය වේ.

නෞකාවෙන් ගොඩබැසීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩලය සතුව අවශ්‍ය පවතී ද යන්න පැහැදිලි නැත.

බොල්ටිමෝර් අනතුර සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම අධීක්‍ෂණය කරන ඒකාබද්ධ ආයතනය, සඳුදා බීබීසීයට පැවසුවේ, විමර්ශනය කොපමණ කාලයක් පවතිනු ඇත් ද යන්න පැහැදිලිව කිව නොහැකි බවත් “ක්‍රියාවලිය අවසන් වන තුරු කාර්ය මණ්ඩලය නෞකාවේ සිටිනු ඇති” බවත් ය.

එක්සත් රාජධානියේ මූලස්ථානය පිහිටි ජාත්‍යන්තර නාවිකයින්ගේ ශුභසාධන සහ ආධාර ජාලයේ ජාත්‍යන්තර මෙහෙයුම් කළමනාකරු ලෙස සේවය කරන ප්‍රවීණ ඉන්දීය නාවිකයෙකු වන චිරාග් බහ්රි පැවසුවේ, සියලු ම නාවිකයින්ට ආපසු සිය රට බලා යාමට මාස කිහිපයක් ගත වනු ඇතැයි තමා විශ්වාස කරන බව ය.

"සුළු සේවකයින්ගෙන් කිහිප දෙනෙක් සමහර විට සති කීපයකින් ගෙවල්වලට යවයි," ඔහු පැවසීය.

"නමුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විධිමත් පරීක්ෂණය සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන නිසා ඒ අය ඇමෙරිකාවේ රඳවා ගනියි."

කාර්ය මණ්ඩලයට අවශ්‍ය මොනවා ද?

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මුලින් අදහස් කර තිබූ ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩලයට ආහාර, ජලය සහ අනෙකුත් සැපයුම් හොඳින් ලැබී තිබේ.

නාවිකයින් ගැන සොයා බලන ලාභ නොලබන ආයතනවලින් බේකරි ආහාර සහ වෙනත් සත්කාරයන් කාර්ය මණ්ඩලයට හිමි වනු ඇතැයි මෙසික් පැවසීය.

වඩාත් හදිසි අවශ්‍යතාව වන්නේ මානසික සුවය බව මෙසික් මෙන් ම බහ්රි ද පැවසූහ.

නාවිකයින් දිගු කලක් හුදෙකලා වූ විට මුහුණ පාන දැවැන්ත ම අභියෝග වන්නේ, වැඩ නොකරන විට වෙහෙසට හා කම්මැලිකමට එරෙහිව සටන් කිරීම බව බහ්රි පැවසීය. බොහෝ නාවිකයෝ - බොහෝ විට තරුණ නාවිකයින් - කාලය ගත කිරීම සඳහා වීඩියෝ ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය වෙත යොමු වෙති.

"ප්‍රීතිමත් ම [නැව්] වන්නේ කාර්ය මණ්ඩලයට එකට එකතු වෙලා එකිනෙකාගේ ඇසුර භුක්ති විඳින්න පුළුවන් නැව් තමයි," මෙසික් පැවසීය. "ඒත් ඒක හැම තිස්සෙ ම එහෙම වෙන්නෙත් නෑ."

අනතුරින් පසු සිදුවූ වරද පිළිබඳව සහ වගකිය යුත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් පවතින දැඩි මාධ්‍ය අවධානය හේතුවෙන් කාර්ය මණ්ඩලයට මානසික සෞඛ්‍යමය සහයක් අවශ්‍ය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව බහ්රි පැවසීය.

"දැන් හැමෝම උත්සහ කරන්නේ, සිද්ධිය හාරා අවුස්සන්න. ඒක නතර කළ යුතු යි," ඔහු පැවසීය.

"මේ නාවිකයින් දැනටමත් කම්පනයට සහ ආතතියට ලක්වෙලා ඉන්නේ. ඔවුන් තවමත් ඉන්නේ විදේශීය රටක නැවක් ඇතුළේ. අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න ඕන. මේ අවශ්‍ය පැයේදී ඔවුන් විනිශ්චය නොකරන බවට ඔවුන් තුළ විශ්වාසයක් ඇති කළ යුතුයි."