කෙමෙන් අතුරුදන්ව යන ඉන්දියාවේ චීන ප්‍රජාව

ඡායාරූප මූලාශ්‍රය, Sudipta Das/Alamy
නිවාඩුවක් ගත කිරීම සඳහා චීනයට ගිය ජැනිස් ලී, නිවාඩුව කොයි මොහොතේ අවසන් වේදැ යි සිතිවිල්ලෙන් පසු වූවා ය. "මට ඒ භාෂාව කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. එහේ කෑම කන්න ත් මට ආසාවක් තිබුණේ නෑ. මං අතරමං වෙලා වගේ දැනුණා," ඇය සිහිපත් කළා ය.
ලීට විදේශීය සංස්කෘතියකට අනුගත වීමට නොහැකි වීම අමුතු දෙයක් නොවන්නට පුළුවන - නමුත් ඒ ඈ චීන සම්භවයක් ඇති අයෙකු වීම බව අසන තෙක් පමණි. "මට සහනයක් දැනුණේ ආපහු ආවට පස්සෙයි," යනුවෙන් පැවසීමෙන් ඇය අදහස් කළේ කොල්කතාහි පිහිටි ඇගේ නිවස පිළිබඳව ය. ලී යනු, හාකා සම්භවයක් ඇති පස්වන පරම්පරාවේ ඉන්දියානු චීන ජාතිකයෙකු වන අතර, අනෙකුත් චීන වැසියන්ට චීන සෝස් සහ නූඩ්ල්ස් සැපයීම සඳහා 1958 වසරේ දී ඇගේ සීයා විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයක් වන පූ චොංග් ෆුඩ්ස්හි සේවය කරයි.
ඉන්දියාවේ ප්‍රථම චීන සංක්‍රමණිකයා වන ටොං ආහ් චූ (බ්‍රිතාන්‍ය වාර්තාවලට අනුව, ඇචූ) 1778 වසරේ දී තේ තොගයක් සමග කොල්කතා වෙත පැමිණ, නගරය ආසන්නයේ සීනි කම්හලක් ආරම්භ කළේ ය. නැගෙනහිර වරායක් ලෙස කොල්කතා නගරය චීනයේ සිට සහ නැගෙනහිර ආසියාවේ සිට ඉන්දියාවට ඇතුළු වීමට තිබුණු සමීපතම පිවිසුම වූ අතර, ඒ අනුව, එය ඉන්දියාවේ එක ම චීන ප්‍රජාව දිවි ගෙවන නගරය බවට පත් විය. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී චීනයේ සිවිල් යුද්ධය හා චීනය සහ ජපානය අතර ඇති වූ ගැටුමෙන් මිදී, සම් පදම් කිරීමේ සහ සම් කර්මාන්ත ආශ්‍රිත රැකියා සොයා බොහෝ දෙනෙකු චීනයෙන් පලා ගිය අවස්ථාවේ මෙම නගරයේ චීන ජනගහණය 20,000 ඉක්මවා ගියේ ය. එහිදී ඔවුහු බෙංගාලි සහ හින්දි භාෂාව චතුර ලෙස හැසිරවීමට ඉගෙන ගනිමින් ප්‍රදේශවාසීන් සමග විවාහ වී ඔවුන් හා සංකලනය වූහ.
සීනි සමග ආහ් චූට පැවැති සම්බන්ධය, බෙංගාලි ඇතුළු බොහෝ ඉන්දියානු භාෂාවල චීන ජාතිකයින් හැඳින්වීමට තවමත් භාවිත කරන "චීනී" යන වචනය නිර්මාණයට පාදක වූ බව ලී පැහැදිලි කළා ය. එම වචනය 1950 ගණන්වල ජනප්‍රිය රාජ්‍යතාන්ත්‍රික සටන් පාඨයක් වූ "හින්දි චීනී භායි භායි" (ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් සහෝදරයෝ) තුළ ද දක්නට ලැබිණි. කොල්කතාවේ මුල් චයිනාටවුන් ප්‍රදේශය තවමත් හඳුන්වන්නේ, චීනපරා යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Neil McAllister /Alamy
අද වන විට කොල්කතාවේ ඉතිරිව සිටින්නේ චීන සම්භවයක් සහිත පුද්ගලයින් 2,000ක් පමණ ය. නමුත් ඔවුන්ගේ සංස්කෘතිය තිරෙතා (තිරෙති ලෙස ද හැඳින්වේ) බසාර් සහ තන්ග්‍රා ප්‍රදේශවල සෑම තැනක ම පාහේ දක්නට ලැබේ. වීදිවල ආහාර අලෙවි කරන වෙළෙන්දන්, තාඕ පන්සල් සහ ප්‍රජා සමාජවල මෙන් ම චන්ද්‍ර නව වසර පිළිගැනීම සඳහා පැවැත්වෙන වාර්ෂික සිංහ නැටුම් ද ඒවා අතර වේ.
සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ලන්ඩන් වැනි නගර චීන ජනතාව දිවි ගෙවන නගර (චයිනාටවුන්) සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුව ද, කොල්කතා වෙත එතරම් අවධානයක් යොමු වී නොමැත. ඉන්දියාවේ මේ දක්වා වෙනත් චයිනාටවුන් ප්‍රදේශ හමු නොවුණ ද කොල්කාහි එවැනි නගර එකක් නොව දෙකක් පවතියි. ඉන් මුල් නගරය වන තිරෙතා බසාර් 1800 ගණන්වල සිට පවතින අතර, අනෙක් නගරය 1900 ගණන්වල තන්ග්‍රාහි දී බිහි විය.
දැනට වසර ගණනාවක් පුරා දේශීය උරුමයන් පිළිබඳව තොරතුරු රැස් කරමින් සිටින කොල්කතාහි බ්ලොග්කරුවෙකු වන රංගන් දත්තා පැහැදිලි කළ පරිදි, පරිසර දූෂණයට හේතු වන සම් පදම් කිරීමේ කර්මාන්තයන් මධ්‍යම කොල්කතාවේ පිහිටි තිරෙතා බසාරයෙන් පිටතට ගෙන යන අවස්ථාවේ එම ජනයාගෙන් විශාල පිරිසකට ප්‍රධාන නගරයෙන් පිටත ඇති වගුරු බිම් ප්‍රදේශයකට යාමට සිදුවී ඇත.
"මේ චීන ජාතිකයන් මුලින් ම පදිංචි වුණේ බෙංගාලි නගරය සහ යුරෝපීය නගරය අතර තිබ්බ, ආර්මේනියානුවන් සහ ග්‍රීක ජාතිකයින් වගේ වෙනත් විදේශිකයන් වගේම, මාර්වාරි සහ පාර්සි වගේ බෙංගාලි නොවන ජනයා ජීවත් වුණු ප්‍රදේශයක. වෙළෙඳ කටයුතුවලට ඒ හැමෝම කොල්කතාවලට ආවා," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Charukesi Ramadurai
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම බහු සංස්කෘතික ප්‍රදේශය තුළ බෝ බැරැක්ක (ඇන්ග්ලෝ-ඉන්දියානු ප්‍රජාව ජීවත් වූ ස්ථානය), ආර්මේනියානු පල්ලිය සහ පාර්සි ගිනි කෝවිල යන සියල්ල ම එකිනෙක ආසන්නයේ පිහිටයි. එකල ද ප්‍රජාවේ සියලු දෙනා තිරෙතා බසාර්හි ජීවත් නොවූ බව, තෙවන පරම්පරාවේ කොල්කතා චීන ජාතිකයෙකු වන සූපවේදී පීටර් සෙං පැවසීය. ඔහු එම ප්‍රදේශයෙන් පිටත හැදී වැඩුණු අයෙකු වූ අතර එහි ජීවත් වූ ඥාති සහෝදරයන් හමුවීමට ගිය අයුරු සිහිපත් කරයි.
පොදු අවකාශයන් පුනර්ජීවනය කිරීම සඳහා ප්‍රාදේශීය සහභාගීත්වය ලබා ගැනීම අරමුණු කර ගත් තිරෙතා බසාර්හි ප්‍රජා කලා ව්‍යාපෘතියට නායකත්වය දුන්, කොල්කතාහි පදිංචි ස්වාති මිශ්‍රා පැවසුවේ, "සාමාන්‍ය චයිනාටවුන් එකක් වගේ නෙවෙයි, තිරෙතා බසාර් කියන්නේ ගේට්ටු දාපු, සංවෘත ප්‍රජාවක් කියලා කියන්න බෑ. මේ චීන ජාතිකයො මුල ඉඳල ම අනෙක් ප්‍රජාවන් එක්ක සමීපව යි ජීවත් වුණේ. ඒ අයගෙන් සමහරු මට ත් වඩා හොඳට බෙංගාලි භාෂාව කතා කරනවා." නමුත් පසුව බිහිවුණු තන්ග්‍රා ප්‍රදේශයට පිවිසීමට සඳහා, ලොව පුරා අනෙකුත් චයිනාටවුන් නගරවල ද දැකිය හැකි අන්දමේ විසිතුරු තොරණක් තිබේ.
චීන ප්‍රජාව, එහි ප්‍රදේශවාසීන් අතර තිබුණු පරතරය අඩු කර ගැනීමට යොදාගත් එක් ක්‍රමයක් වූයේ ආහාර ය. ඉන්දියාවේ ප්‍රථම චීන අවන්හල් දේශීය හාකා ප්‍රජාව විසින් කොල්කතාහි පිහිටුවන ලද අතර, කාලයත් සමග මෙම චීන-ඉන්දියානු හෝ "චින්දියන්" ජනයාගේ ආහාර රටේ සෙසු ප්‍රදේශවල ද පැතිර ගියේ ය. අද දක්වා ම, එය ඉන්දියාව ඔවුන්ගෙන් ලද ශ්‍රේෂ්ඨතම ත්‍යාගය ලෙස පවතියි. ඔවුන්ගේ ආහාර රට පුරා නිරන්තරයෙන් හමුවන අතර, වීදි කරත්තවල සිට සුඛෝපභෝගී අවන්හල් දක්වා සෑම තැනක ම දක්නට ලැබෙන, ඉන්දියාවේ ආහාර අතර ප්‍රධානතම අංගයකි.

ඡායාරූප මූලාශ්‍රය, RS Stock Images/Getty Images
සාම්ප්‍රදායික හාකා ආහාරවල "සෞම්‍ය" රසය සමග හැදී වැඩුණු සෙං පැවසුවේ, ඉන්දියානුවන්ගෙන් රස නහර පිනවීම සඳහා කෝකියන්ට යම් වෙනස්කම් කිරීමට සිදු වූ බව ය. "එයාලා අමු මිරිස්, ළූණු, කොත්තමල්ලි කුඩු සහ සමහර වෙලාවට, ගරම් මසාලා පවා එකතු කළා... එක එක්කෙනාට ගැලපෙන්නේ එක එක දේ," ඔහු ප්‍රයෝගික අයුරින් පැහැදිලි කළේ ය.
දේශීය කුළුබඩු සහ සෝස් එකතු කිරීම, චිලී චිකන් (අඳුරු සෝයා සෝස් යොදා පිසියි) සහ ගෝබි මැන්චූරියන් (ඉරිඟු පිටි හා කුළුබඩු දවටා බැදගත් මල්ගෝවා කිණිති) වැනි චීනයේ කිසිසේත් ම දක්නට නොලැබෙන ආහාර වර්ගවලට උපත දුන්නේ ය. පූ චොංග් ෆුඩ්ස් ද, පුදිනා (මින්ට්), කසුන්දි (බෙංගාලි පන්නයේ අබ සෝස්)) සහ චිලී චිකන් සෝස් වැනි ඉන්දියානු සෝස් වර්ග සෑදීම ආරම්භ කර ඇත. ඒවාට කොල්කතාහි වෙසෙන ඉන්දියානුවන් මෙන් ම චීන ජනයා ද එක සේ ආදරය කරති.
තිරෙතා බසාර්හි සුන්-යත් සෙන් වීදියේ තාවකාලික වීදි කඩවල ඉරිදා දිනවලදී පිළිගන්වන නැවුම් ඩම්ප්ලිං, වොන්ටොන් සහ නූඩ්ල්ස් වැනි චීන උදෑසන ආහාර සොයා යාම බොහෝ කොල්කතා වැසියන්ට ප්‍රිය උපදවන චාරිත්‍රයක් බඳු ය. උදෑසන 5:30 වන විට වෙළෙන්දෝ ඌරු මස් පිරවූ බනිස්, කුකුළු මස් මෝමෝ සහ ෆිෂ්බෝල් සුප්වලින් පිරුණු උස, සිලින්ඩරාකාර ඇලුමිනියම් වාෂ්ප බඳුන් අතැතිව සූදානම්ව සිටිති. තන්ග්‍රා ප්‍රදේශය වඩා ත් ප්‍රසිද්ධ වන්නේ බීජිං, ආහ් ලියොං, කිම් ලින්ග් සහ ගෝල්ඩන් ජෝයි (සෙංගේ පවුලේ ප්‍රියතම) වැනි චීන අවන්හල් සඳහා ය.
"කොල්කතා චීන ප්‍රජාව ලෝකෙ හැම තැනක ම වගේ ප්‍රසිද්ධ යි. නිව් යෝර්ක්වල අවන්හලක් පවා තියෙනවා,"යි ලී ප්‍රකාශ කළේ, "චීන ආහාර ඉන්දියානු ක්‍රමයට" සපයන තන්ග්‍රා ප්‍රදේශය ගැන සඳහන් කරමිනි.
ලෝක ස්මාරක අරමුදලට අනුව, දැන් සියවසකට වැඩි කාලයක් පුරාවට ඉන්දියාවේ කොටසක්ව සිටිය ද කොල්කතාහි චීන ප්‍රජාව වේගයෙන් හැකිළෙමින් සිටින අතර, එම ප්‍රදේශය පවා මුළුමනින් ම අතුරුදන්වීමේ අවදානමකට ලක්ව ඇත. ජනාකීර්ණ නගරයක හදවතේ පිහිටා ඇති ඉහළ වටිනාකමක් ඇති දේපළක ජීවත් වීම හේතුවෙන් මුහුණ දීමට සිදුවන, මැඩපැවැත්වීමට දුෂ්කර "ඉඩම් කොල්ලකෑම්" සහ දේපළ අයිතිය සම්බන්ධයෙන් සටන් කිරීමට සිදුවීම වැනි අභියෝග ගැන ද ලී සඳහන් කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Charukesi Ramadurai
එම පරිහානිය ආරම්භ වූයේ, 1962 වසරේ ඇරඹුණු ඉන්දු-චීන යුද්ධයත් සමග පරම්පරා ගණනාවක් මෙහි ජීවත්වූවන් දෙස පවා සැකයෙන් බැලීම හා ඔවුන්ට සතුරන් ලෙස සැලකීම නිසාවෙනි. චීන සංක්‍රමණිකයන් සිය ගණනක් කිසිදු පදනමක් නොමැතිව රැස් කර, රටේ අනෙක් කෙලවරේ ඇති රාජස්ථානයේ සිර කඳවුරු වෙත යවන ලද අතර එහිදී ඔවුන්ට දරුණු සැලකිලිවලට භාජනය වීමට සිදුවිය. ඔවුන් නැවත කොල්කතා වෙත ගිය පසු, ඔවුන් අතරින් බොහෝ දෙනෙකු නෑදෑයින් සහ මිතුරන් සිටින වෙනත් රටවලට යාමට තීරණය කළේ ය.
එතැන් සිට, සම් පදම් කිරීමේ කම්හල් සහ එම නිෂ්පාදන ආශ්‍රිත කම්හල් සිය ගණනක් රජයේ නියෝග මත වසා දමා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවනෝපාය අහිමි වීම හේතුවෙන් තව ත් බොහෝ දෙනෙක් ඕස්ට්‍රේලියාවට, එක්සත් ජනපදයට සහ කැනඩාවට සංක්‍රමණය වූහ. පසුගිය දශක කිහිපය තුළ, ඉන්දියාවේ අනෙකුත් ප්‍රජාවන්වල මෙන්ම ඉන්දියානු චීන ප්‍රජාවේ තරුණ තරුණියන් ද වඩා හොඳ අධ්‍යාපනයක් හා රැකියා අවස්ථා සඳහා විදේශගත වී ඇත.
ඔහුගේ පාසලේ සිටි බොහෝ චීන මිතුරන් දැන් ටොරොන්ටෝහි ජීවත් වන බව දත්තා සඳහන් කළේ අතර, සෙං පැවසුවේ ස්ථාවර ව්‍යාපාර ඇති අය පමණක් දැන් කොල්කතාවේ සිටින බව ත්, විදේශගතවීම සඳහා ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ගෙන් බලපෑම් එල්ල වන බව ත් ය.
ප්‍රජාව අත්විඳින සාමූහික කම්පනයේ කැළැල් කිසිවක් තැකීමට ලක් නොකරන ලී, ඒ වෙනුවට ඇගේ ජීවිතය මෙරට දීම උපරිමයෙන් ගත කිරීමට උත්සහ කරයි. "අපි පුංචි, තදින් බැඳුනු ප්‍රජාවක්. අපි තවමත් අපේ සිරිත් විරිත් අනුගමනය කරනවා වගේ ම, චීන අලුත් අවුරුද්ද වගෙ උත්සවවලට එකට එකතු වෙනවා," ඇය පැවසුවා ය. සෙං දැන් චෙන්නායිහි රැකියාවක නිරත වන අතර එම උත්සවය සඳහා වසරකට වරක් ඔහුගේ දෙමාපියන් බැලීමට කොල්කතා වෙත පැමිණේ. ක්‍රමයෙන් හීන වී ගිය කටහඬකින් ඔහු ප්‍රකාශ කළේ, "අපිට පවුලක් එහේ ඉන්න තාක් කල්, අපි අපේ සංස්කෘතිය රැකගන්නවා..."

ඡායාරූප මූලාශ්‍රය, Sudipta Das/Alamy
ලී පවසන පරිදි, බෙංගාලි වෙළෙන්දන් හාකා බසින් කතා කිරීමට ඉගෙන ගැනීම සහ බොක් චෝයි, කයිලාන් සහ අබ කොළ වැනි චීන එළවළු විකිණීම යන දෙආකාරයෙන් ඔවුන් සහ චීන ප්‍රජාව සංකලනය වීම සිදුවී ඇත. සියල්ලට ම වඩා, ඇය ඉන්දියාවේ ජීවත් වීමට කැමති බව ත්, ඇය මෙරටට අයිති බවක් හැඟෙන බව ත් ඇය පැවසුවා ය.
"මට මිෂ්ටි දොයි සහ රසගුල්ලා නොකා ඉන්න බෑ," ඇය සිනාසෙමින් පැවසුවේ, දැන් ඇගේ ජීවිතයේ ආපසු හැරවිය නොහැකි අංගයක් වන බෙංගාලි රසකැවිලි ගැන සඳහන් කරමිනි.












