ගාසා: සාගින්නේ සිටීමෙන් ශරීරයට සිදුවන්නේ කුමක් ද?

Hands holding cooking pots by a fence

ඡායාරූප මූලාශ්‍රය, Anadolu/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසාහි මානුෂීය තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර අවධානය වැඩිවෙමින් පවතී
    • Author, රෙබෙකා තෝන් සහ ඇන්ජෙලා හෙන්ෂෝල්
    • Role, බීබීසී ලෝක සේවය සෞඛ්‍යය

ගාසා තීරයේ සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු දින ගණනාවක් ආහාර නොමැතිව සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර වැඩසටහන අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සාගතයක් වැනි දෙයක් නොමැති බවට සිදු කළ අවධාරණාත්මක ප්‍රකාශයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ගාසා තීරයේ "සැබෑ සාගතයක්" ඇති බව ය.

කෙසේ වෙතත්, ගාසාවේ සාගතයක් නොමැති බව ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායලය, පසුගිය දින කිහිපය තුළ, කලාපයට ආධාර ලබා දීමට ඉඩ දීම සඳහා "සීමිත ප්‍රදේශයක සටන් විරාමයක්" ප්‍රකාශයට පත් කර තිබේ.

නමුත් එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී ටොම් ෆ්ලෙචර් පවසා ඇත්තේ කුසගින්නෙන් පෙළීම වැළැක්වීම සඳහා "විශාල ආහාර ප්‍රමාණයක්" අවශ්‍ය බව ය.

ගාසා නගරයේ ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන අතර දිනෙන් දින එම ගණන වැඩි වන බව එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (Unrwa) පවසයි.

ආහාර නොමැතිකම නිසා රෝගාතුර වී සිටින පුද්ගලයින් රෝහල්වලට ඇතුළත් කර ඇති බවත්, තවත් සමහරු වීදිවල ඇද වැටෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් එම ප්‍රදේශය තුළ සාගතයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, IPC අනතුරු අඟවන්නේ එය සාගතයක බරපතළ අවදානමක පවතින බව ය.

සාගතයක් යනු කුමක් ද සහ එය ප්‍රකාශයට පත් කරන්නේ කිනම් අවස්ථාවක ද?

ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) යනු ප්‍රමාණවත්, දැරිය හැකි, පෝෂ්‍යදායී ආහාර වෙත ප්‍රවේශ වීම ජනගහනයකට කෙතරම් දුෂ්කර දැයි විස්තර කිරීමට භාවිත කරන ගෝලීය ප්‍රමිතියකි.

ඉහළ ම අදියර, එනම් '5 වන අදියර සාගතය' පහත සඳහන් නිර්ණායක අනුව සකස් කෙරේ:

  • කුටුම්භවලින් 20%ක් දැඩි ආහාර හිඟයකට මුහුණ දෙයි.
  • අවම වශයෙන් ළමුන්ගෙන් 30%ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙයි.
  • ඍජු කුසගින්න හෝ මන්දපෝෂණය හා රෝගවල අන්තර්ක්‍රියා හේතුවෙන් සෑම දිනක ම පුද්ගලයින් 10,000කට අවම වශයෙන් වැඩිහිටියන් දෙදෙනෙක් හෝ ළමුන් හතර දෙනෙක් මිය යති.

මැයි 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද ගාසා පිළිබඳ IPC වාර්තාවේ සඳහන් වන්නේ, සමස්ත ජනගහනය ම අර්බුදකාරී (3 වන අදියර) සහ ඊට ඉහළ අදියරේ පසුවන බව ය.

2025 මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ 469,500කට ආසන්න පිරිසක් ව්‍යසනකාරී ආහාර අනාරක්ෂිතභාවයට (IPC අදියර 5) මුහුණ දෙනු ඇතැයි එය පුරෝකථනය කළේ ය.

මෙම තත්ත්වයන් ඇති වූ පසු, සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාගතයක් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ, ඇතැම් විට රටක රජය සමග ඒකාබද්ධව, සහ බොහෝ විට අනෙකුත් ජාත්‍යන්තර ආධාර සංවිධාන හෝ මානුෂීය ආයතන සමග එක්ව ය.

A long line of Palestinians carrying sacks of flour from aid trucks in northern Gaza on July 27

ඡායාරූප මූලාශ්‍රය, Majdi Fathi/NurPhoto/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසාවේ උතුරු ප්‍රදේශයේ සිකිම් දේශසීමා හරස් මාර්ගයෙන් පැමිණෙන ආධාර ට්‍රක් රථවලින් බෙදා හරින පිටි ගෝනි රැගෙන යන පලස්තීනුවන්

කුසගින්නෙන් පෙළෙන විට පුද්ගලයෙකුගේ ශරීරයට සිදුවන්නේ කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සාගින්න ඇති වන්නේ දිගු කලක් ආහාර නොගෙන සිටීමෙන් වන අතර එයින් අදහස් කරන්නේ ශරීරයට එහි මූලික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් කැලරි නොලැබෙන බව ය.

සාමාන්‍යයෙන් ශරීරය ආහාර ග්ලූකෝස් බවට බිඳ දමයි. නමුත් ආහාර ලබා නොගත් විට, ශරීරය අක්මාවේ සහ මාංශ පේශිවල ඇති ග්ලයිකෝජන් බිඳ දමා රුධිරයට ග්ලූකෝස් මුදා හැරීම ආරම්භයි.

එම සම්පත් ක්ෂය වූ විට, ශරීරය ගබඩා කර ඇති මේදය ත්, අවසානයේ මාංශ පේශි ස්කන්ධය ත් භාවිත කරමින් ප්‍රමාණවත් ශක්තියක් නිපද වීමට කටයුතු කරයි.

සාගින්න පෙනහලු, ආමාශය සහ ප්‍රජනක අවයව හැකිලීමට හේතු විය හැකි අතර මොළයට ද බලපෑම් කළ හැකි ය. එමගින් විවිධ මායාවන්, විෂාදය සහ කාංසාව ඇති විය හැක.

ඇතැම් අය සාගින්නෙන් මිය ගියත්, උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අය බොහෝ විට මිය යන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සිදුවන හානිය නිසා ශ්වසන හෝ ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදන වැනි සංකූලතා හේතුවෙනි.

සාගින්න මිනිසුන්ට තවත් ආකාරවලින් බලපායි.

"ඔයාව එක පාරට දරුණු ලෙස මන්දපෝෂණ තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. මේ දරුවන්ට මීට පෙර සරම්ප, නියුමෝනියාව, පාචනය හෝ ඒ හා සමාන රෝග ඇති වී තිබෙන්නට පුළුවන්," එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මානව පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාර (ගෞරව) මහාචාර්ය චාලට් රයිට් පවසයි.

"කලින් නිරෝගීව සිටි නමුත් දැන් සාගින්නේ සිටීමට පටන් ගෙන ඇති දරුවන්ට ආහාර තිබේ නම් ඒවා අනුභව කර ජීර්ණය කිරීමට තවමත් ශක්තිය තියෙනවා. අනෙක් අයගේ ශරීර ක්‍රමයෙන් දුර්වල වෙනවා."

The long term effects of going hungry

මන්දපෝෂණය ළදරුවන්ට සහ දරුවන්ට බලපාන්නේ කෙසේ ද?

ළමා කාලය තුළ ආහාර නොමැතිකම ජීවිත කාලය පුරාවට ම බලපෑම් ඇති කළ හැකි අතර, එයට සංජානන වර්ධනය අඩාල වීම සහ කුරු වීම ඇතුළත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කුරු වීම යනු, දුර්වල පෝෂණය, නැවත නැවත ආසාදන ඇතිවීම සහ ප්‍රමාණවත් මනෝ සමාජයීය උත්තේජනයක් නොමැතිකම හේතුවෙන් ළමුන් අත්විඳින වර්ධනය හා සංවර්ධනය අඩාල වීම ලෙස අර්ථ දක්වනු ලබයි.

එක්සත් ජාතීන්ගේ පදනමට අනුව, මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් බිහි කිරීමේ සම්භාවිතාව වැඩිය.

යුනිසෙෆ් ආයතනය පවසන්නේ ගර්භණී සමයේදී දුර්වල ආහාර වේලක් ගැනීම මව්වරුන්ගේ රක්තහීනතාව, පූර්ව-එක්ලැම්ප්සියාව, අභ්‍යන්තර රුධිර වහනය සහ මරණයට මෙන් ම මළ දරු උපත්, අඩු උපත් බර, ක්ෂය වීම සහ දරුවන්ගේ වර්ධන ප්‍රමාදයන්ට හේතු විය හැකි බව ය.

මන්දපෝෂණයෙන් පෙළෙන මව්වරුන්ට තම ළදරුවන් පෝෂණය කිරීමට ප්‍රමාණවත් පෝෂ්‍යදායී කිරි නිපදවීම ද ගැටලුවක් විය හැකි ය.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ Médecins Sans Frontièresහි විශේෂඥ වෛද්‍ය නුරාඩීන් අලිබබා පැවසුවේ, එහි බලපෑම ජීවිත කාලය පුරා ම පැවතිය හැකි බව ය.

"[මන්දපෝෂණය] ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද අකර්මණ්‍ය කරන අතර එමගින් ඔවුන් ආසාදනවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි කරනවා.

"බොහෝ දෙනෙකුට සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැති එක් වැදගත් දෙයක් තමයි, ගැහැනු දරුවන් සඳහා ඇත්ත වශයෙන් ම මදසරුභාවයට හේතු විය හැකි මන්දපෝෂණ මට්ටමක් පවතිනවා කියන එක. ඒ වගේ ම ඔවුන් ගැබ් ගත්තොත් මේ කාන්තාවන් අඩු බරැති දරුවන් බිහි කිරීමේ සම්භාවිතාව බොහෝ වැඩියි."

ඔස්ටියෝපොරෝසිස් තවත් සංකූලතාවක් විය හැකි ය.

"ජීවිතයේ පසුකාලීනව බිඳෙනසුලු අස්ථි වඩා ත් බිඳෙනසුලු තත්ත්වයට පත් හැකි අතර එමගින් ඔවුන්ට තමන්ගේ ශරීර බර ප්‍රමාණවත් ලෙස දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා කුඩා සිදුවීමකින් පවා අස්ථි බිඳී යන්න පුළුවන්," වෛද්‍ය අලිබබා පැවසීය.

Palestinians including children use cans and bowls to take hot food from a large pot

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මන්දපෝෂණයට ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?

"මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා, ඔබට මූලික වශයෙන් ප්‍රවේශයන් දෙකක් අවශ්‍ය වෙනවා - ඒ කියන්නේ ගාසා වෙත වැඩිපුර ආහාර සැපයීම සහ වඩා මිල අධික පෝෂ්‍ය පදාර්ථ අධික ආහාර [රෝගී දුර්වල පුද්ගලයින් සඳහා ලබා දෙයි] සැපයීම යන දෙක ම," මහාචාර්ය රයිට් පැවසීය.

"ආහාර ඉක්මනින් දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් වෙත යොමු කළ යුතුයි."

"ළදරුවන්ට මව්කිරි දීම ආරක්ෂිතම සහ සෞඛ්‍යාරක්ෂිතම විකල්පයයි, නමුත් කිරි දෙන්න පුළුවන් වෙන්න මව ආහාර ගන්න ඕනේ. ඒක තමයි සැබෑ අභියෝගය. පිරිමින්ට වඩා ආහාර ඔවුන්ට සැබවින් ම ලැබෙන බව සහතික කර ගැනීම.

"ප්‍රධාන පණිවිඩය තමයි දරුවන්ට සහ මව්වරුන්ට ප්‍රමුඛතාව දිය යුතු බව ත්, ඔවුන්ට විශාල ප්‍රමාණයක් අවශ්‍ය නැහැ කියන එකත්."

වෛද්‍යවරියක ලෙස පුහුණුව ලත් බීබීසී ප්‍රවෘත්ති සෞඛ්‍ය වාර්තාකාරිනී ස්මිතා මුණ්ඩසාද් පැහැදිලි කරන්නේ, මන්දපෝෂණය පුළුල් පරාසයක විනාශකාරී බලපෑම් ඇති කළ හැකි බව ත් විශේෂයෙන් ළමුන්ට ප්‍රතිකාර කිරීම සැමවිට ම සරල නොවන බව ත් ය.

දරුණු අවස්ථාවලදී, යමෙකුට තවදුරටත් ආහාර ගිල දැමීමට නොහැකි වූ විට, ඔවුන්ට රෝහලක හෝ සායනයක විශේෂයෙන් සකස් කරන ලද ආහාර අවශ්‍ය විය හැකි අතර "ආසාදන හෝ ඇති විය හැකි සංකූලතා සඳහා වෙනත් ප්‍රතිකාර" අවශ්‍ය විය හැකි බව ඇය පැවසුවා ය.

"සමහර අවස්ථාවලදී, කෙනෙකුට ඉක්මනින් කැවීම හෝ වැරදි ආහාර ලබා දීම භයානක වෙන්න පුළුවන්.

"එහෙනම් පිළිතුර තමයි ආහාර ලබා ගැනීම විතරක් නෙවෙයි, නිවැරදි ආහාර ලබා ගැනීම. ඒ වගේ ම මේකට සහය වෙන්න සක්‍රීය සෞඛ්‍ය සේවා පද්ධතියක් තිබීම."