ඊශ්‍රායලය කොන්දේසි නොපිළිගන්නේ නම් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, බීබීසී සිංහල
ඊශ්‍රායලය "ගාසා තීරයේ පවතින බිහිසුණු තත්ත්වය අවසන් කිරීමට සැලකිය යුතු පියවර" නොගතහොත්, සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානිය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ශ්‍රීමත් කියර් ස්ටාර්මර් පැවසීය.
සටන් විරාමයකට එකඟ වීම, ද්වි-රාජ්‍ය විසඳුමක් ලබා දෙන දිගුකාලීන තිරසර සාමයකට කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආධාර සැපයුම නැවත ආරම්භ කිරීමට ඉඩ දීම ඇතුළු අනෙකුත් කොන්දේසි ද ඊශ්‍රායලය සපුරාලිය යුතු බව අගමැති පැවසීය. එසේ නොමැති වුවහොත් සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී එක්සත් රාජධානිය මෙම පියවර ගනු ඇත.
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ, මෙම පියවර "හමාස් සංවිධානයේ බිහිසුණු ත්‍රස්තවාදයට පළ දුන් විපාකයක්" බව ය.
සාම ක්‍රියාවලියක කොටසක් ලෙස, උපරිම බලපෑමක් ඇති කළ හැකි අවස්ථාවක පලස්තීනයට පිළිගැනීමක් ලැබිය යුතු බව එක්සත් රාජධානියේ රජය මීට පෙර පවසා තිබිණි.
කොන්දේසි මොනවා ද?
වැදගත් අනතුරු ඇඟවීම් තිබේ. ඊශ්‍රායල් රජය "ගාසා තීරයේ ඇති භයානක තත්ත්වය අවසන් කිරීමට සැලකිය යුතු පියවර" නොගතහොත් සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානිය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව අගමැතිවරයා පැවසීය.
විශේෂ කොන්දේසි තුනක් තිබිණි: ඊශ්‍රායලය...
- සටන් විරාමයකට එළඹීම
- බටහිර ඉවුරේ ඈඳා ගැනීමක් සිදු නොවන බව පැහැදිලිව තහවුරු කිරීම
- ද්වි රාජ්‍ය විසඳුමක් ලබා දෙන දිගුකාලීන සාම ක්‍රියාවලියකට කැපවීම
හමාස් සංවිධානයට ද කොන්දේසි තිබේ. බ්‍රිතාන්‍ය රජය පැවසූ පරිදි ඔවුන්:
- සියලු ම ප්‍රාණ ඇපකරුවන් වහා ම නිදහස් කළ යුතු ය
- සටන් විරාමයකට අත්සන් තැබිය යුතු ය
- නිරායුධ වී ගාසා රජයේ කිසිදු කාර්ය භාරයකට සම්බන්ධ නොවන බව සහතික කළ යුතු ය
කෙසේ වෙතත්, මෙම කොන්දේසි කෙතරම් යථාර්ථවාදී ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පවතී.
ද්වි රාජ්‍ය විසඳුමකට විරුද්ධ අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන්ගේ සහය මත විශ්වාසය තබන ඊශ්‍රායල් රජයේ සංයුතිය සැලකිල්ලට ගත් විට, ඊශ්‍රායලය ඊට එකඟ වනු ඇතැයි සිතිය නොහැකි බව පෙනේ.
ඊට අමතරව, හමාස් සංවිධානය ගාසා තීරය තුළ නිරායුධ කිරීම සහ රජයේ කිසිදු කාර්ය භාරයකට සම්බන්ධ නොවී සිටීම ඔවුන් පිළිගනු ඇත්දැයි යන්න ද ප්‍රශ්නාර්ථයකි.
අගමැතිවරයාට එල්ල වන පීඩනය
කෙසේ වෙතත්, අගමැතිවරයාට - ඔහුගේ ම මන්ත්‍රීවරුන්ගෙන් ද ඇතුළුව - යුහුසුළුව ක්‍රියාත්මක වන ලෙස වැඩි වැඩියෙන් පීඩනය එල්ල වෙමින් පවතී.
පසුගිය සතියේ ප්‍රංශය ද සැප්තැම්බර් මාසයේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බව නිවේදනය කළේ ය. ලොව ධනවත් ම රටවල එකතුවක් වන G7 කණ්ඩායමේ රටක් පලස්තීනය පිළිගත් පළමු වන අවස්ථාව මෙය යි.
හදිසි කැබිනට් රැස්වීමකින් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රීමත් කියර් ස්ටාර්මර් පැවසුවේ, ගාසාහි "ඉවසිය නොහැකි තත්ත්වය" සහ "ද්විරාජ්‍ය සංකල්පය යටතේ විසඳුමක් ඇති කර ගැනීමේ හැකියාව අඩු වෙමින් පවතින" බවට ඇති කනස්සල්ල නිසා සිය සැලැස්ම ප්‍රකාශයට පත් කරන බව ය.
"ස්වෛරී පලස්තීන රාජ්‍යයක් සමග ආරක්ෂිත ඊශ්‍රායලයක්" යන එක්සත් රාජධානියේ ඉලක්කය "පෙර නොවූ විරූ පීඩනයකට ලක්ව ඇති" බව ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
ගාසාහි පවතින තත්ත්වය යහපත් අතට හැරවීම තම "ප්‍රධාන අරමුණ" බවත්, ඊට ආධාර ලැබෙන බව සහතික කිරීම ඇතුළු අරමුණු ඇතුළත් බවත් අගමැතිවරයා පැවසීය.
එක්සත් රාජධානිය ඊශ්‍රායල් රජය ගත යුතු පියවර ඉදිරිපත් කරමින්, බටහිර ඉවුරේ කිසිදු ඈඳා ගැනීමක් සිදු නොවන බව පැහැදිලි කළ යුතු බව ද ශ්‍රීමත් කියර් පැවසීය.
වත්මන් ඊශ්‍රායල් රජය ද්වි-රාජ්‍ය විසඳුමක් කරා යන ගමනට විරුද්ධ වන බැවින් කොන්දේසිවලට එකඟ වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය.
මේ අතර, හමාස් සංවිධානය වහා ම සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවත්, සටන් විරාමයකට අත්සන් කළ යුතු බවත්, නිරායුධ විය යුතු බවත්, ගාසා රජයේ කිසිදු කාර්යභාරයක් සිදු නොකරන බව පිළිගත යුතු බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
නිවේදනයට ප්‍රතිචාර වශයෙන් නෙතන්යාහු සමාජ මාධ්‍යවල මෙසේ ලිවීය: "අද ඊශ්‍රායල් දේශසීමාවේ ජිහාඩ් රාජ්‍යයක් හෙට බ්‍රිතාන්‍යයට තර්ජනය කරනු ඇත."
"ජිහාඩ් ත්‍රස්තවාදීන්ට සහනයක් ලබා දීම සැමවිට ම අසාර්ථක යි. එය ඔබව ද අසාර්ථක කරනු ඇත. එය සිදු නොවනු ඇත."















