'ආපදාවෙන් පසු පැමිණි ආපදාවක්': ටොන් දස දහස් ගණනක කසළ කඳුවලට විසඳුම කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
දිට්වා සුළි කුණාටුව රටින් පහව ගිය පසු ශ්‍රී ලංකාවේ ආපදාවට පත්වූ ප්‍රදේශවල ජීවත් වන පිරිස් දැන් මුහුණ දී සිටින තවත් දැවැන්ත ප්‍රශ්නයක් වී ඇත්තේ ආපදාව හේතුවෙන් ගොඩගැසුණු කසළ කඳු ය.
කොළඹ දිස්ත්‍රික්කයේ, කොටිකාවත්ත, බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ ජීවත් වන මුදිතා ජයවර්ධනගේ නිවස ද එම ප්‍රදේශයට ඇතිවූ ගංවතුරට හසුවී තිබිණි.
ඇය පැවසුවේ ඒ හේතුවෙන් ඇයට දින 12ක් පමණ නිවසින් පිටව සිටීමට සිදුවූ බවයි.
නැවත නිවසට පැමිණ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ පසු තවමත් ඇය මුහුණ දෙමින් සිටිය ප්‍රශ්නයක් වන්නේ කසළ ප්‍රශ්නයයි.
"අපේ පැත්තේ තව ම කුණු පාර දෙපැත්තේ ගොඩගහලා තියෙනවා," ඇය විස්තර කරයි.
"අඩි 12ක් විතර පළල පාරක් තියෙන්නේ. පාර දෙපැත්තේ කුණු ගොඩගහලා තියෙනවා, කොච්චර තියෙනවා ද කියනවා නම් පාරේ වාහන දෙකකට මාරු වෙන්න බැරි තරම් කුණු ගොඩ ගැහිලා," ආපදා තත්ත්වයෙන් පසු උදෑසන රැකියාවට යන විටත්, ආපසු පැමිණෙන විටත් ඇයට දැකීමට සිදුව ඇති සහ මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය ඇය එලෙස විස්තර කළා ය.
සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් පහව ගොස් මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතව තිබුණ ද, දරුණු ලෙස ගංවතුර සහ නායයෑම්වලට මුහුණ දුන් බොහෝ ප්‍රදේශවල තත්ත්වය ද මෙයින් බොහෝ සෙයින් වෙනස් වූවක් නොවේ.
ගොඩගැසුණු ටොන් දස දහස් ගණනක කසළ කඳු
ගංවතුරෙන් දැඩි ලෙස බලපෑමට ලක්වූ බස්නාහිර පළාත හා මධ්‍යම පළාත තුළ මෙම කසළ ප්‍රශ්නය මේ වන විට උපරිම මට්ටමකට ළඟා වී ඇති බව බලධාරීහු පවසති.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් විසින් 2025.12.12 පටිගත කළ මාධ්‍ය නිවේදනයේ එක් එක් පළාත්වල එකතුවූ කසළ ප්‍රමාණයන් පිළිබඳව විස්තර කළේ ය.
"කොළොන්නාව ප්‍රදේශයේ නිවාස 50,000ක් විතර ගංවතුරට යට වෙලා තියෙනවා. ඒ නිසා මිශ්‍ර කසළ ටොන් 8,000ක් පමණ ගොඩගැහිලා තියෙනවා. කඩුවෙල ප්‍රදේශයේ නිවාස 20,00ක් පමණ යටවෙලා තියෙනවා, කසළ ටොන් 8,000ක් විතර තියෙනවා. කඩුවෙල ප්‍රදේශයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම නිම කරලා තියෙන්නේ. කොටිකාවත්ත - මුල්ලේරියාව වගේ ප්‍රදේශවල ටොන් 10,000ක් 12,000ක් විතර ප්‍රමාණයක් තියෙනවා," මහාචාර්යවරයා විස්තර කළේ ය.
කෙසේනමුත් තවමත් ඇතැම් නිවාස සහ ආයතන පිරිසිදු කරමින් පවතින නිසා තවමත් කසළ ජනනය වෙමින් පවතින බැවින් මෙම සංඛ්‍යාවන් ඉහළ යා හැකි බව ඔහු පැවසුවේ ය.
එමෙන් ම, "ගම්පොල විශාල කසළ ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කියුබ් 6,500ක් පමණ," යැයි ඔහු විස්තර කළේ ය.
වැඩිම කසළ බස්නාහිර පළාතෙන්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එන්. ඩී. එන්. පුෂ්පකුමාර, බීබීසී සිංහල කළ විමසීමකදී කියා සිටියේ බස්නාහිර පළාත තුළ පමණක් මේ වන විට දිනකට කසළ ටොන් 1,500කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරමින් ඇති බව ය.
"දිනකට ටොන් 1,500ක් විතර ප්‍රමාණය විදිහට අපි ළඟ සටහන් වෙලා තියෙනවා. පහුගිය දෙසැම්බර් 10 වෙනිදා ප්‍රධාන කසළ බැහැර කිරීමේ ස්ථාන 3ට ටොන් 1,769ක් බැහැර කරලා තියෙනවා. දෙසැම්බර් 09 වෙනිදා ටොන් 1,488යි. දෙසැම්බර් 08 1,100යි, 07 වෙනිදා 843යි. දෙසැම්බර් 01 වෙනිදා පටන් අරගෙන ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙලා මේක දැන් දවසකට ටොන් 1,500 දක්වා වැඩි වෙලා තියෙනවා," ඉංජිනේරුවරයා විස්තර කළේ ය.
වැඩි ම කසළ ප්‍රමාණයක් එකතු වී තිබෙන්නේ ද බස්නාහිර පළාතෙන් බව ඔහු පැවසුවේ ය.
"වැඩිපුර ම කසළ ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතේ බැහැර කරන කසළ එයාලගේ නිවාස ඉදිරිපිට වීදිවල ගොඩගහලා තියෙනවා. ඒවා දැනට ඉවත් කරමින් පවතිනවා. මේ වෙනකොට ඒක උපරිම මට්ටමකට ළඟා වෙලා තියෙනවා, දවසකට ටොන් 1,500ක් විතර බස්නාහිර පළාතේ විතරක් ඉවත් කරනවා. අවසන් බැහැර කිරීමේ ස්ථාන වන කරදියාන, කෙරවළපිටිය සහ දොම්පේ බිම් පිරවුම් වෙත ගෙන යමින් තියෙනවා," ඔහු විස්තර කළේ ය.
බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ශහීනා එම්. මයිසාන් පැවසුවේ කොළොන්නාව ප්‍රදේශයේ කසළ ඉවත් කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහය ද ලබා දී ඇති බව ය.
"කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ලොකු ප්‍රදේශයක් යට වුණේ නෑ. ඒ නිසා ඒ ටික දැන් අස් කරලා ඉවරයි. කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවලට අපේ වාහන යවලා තියෙනවා, නමුත් තාම අස් කරලා ඉවර නෑ," ඇය පැවසුවා ය.
"තවම කුණු එකතු කරලා ඉවර නෑ. අස් කරනකොට තව තව කුණු එනවා පාරට. කොළොන්නාව පැත්ත තවම ගන්න දෙයක් නෑ. අපි අස් කරන්න කොළොන්නාවට උදවු කරනවා. එයාලට තනියම කරගන්න අමාරුයි. එහෙම කරලත් ඉවර කරගන්න බැරුව ලොකු අමාරුවක වැටිලා අපි ඉන්නේ."
'ගම්පොල කියුබ් 6,500ක කසළ'
මධ්‍යම පළාතේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයාගෙන් ලබාගත් දත්ත අනුව, මේ වන විට ගම්පොල ප්‍රදේශයේ ද විශාල කසළ ප්‍රමාණයක් එකතුවී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසීය.
"ගම්පොල ඇති විශාල කසළ ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කියුබ් 6,500ක් විතර," ඔහු පැවසීය.
ගම්පොල ප්‍රදේශයේ කසළ ගැටලුව සම්බන්ධයෙන් බොහෝ පිරිස් සමාජ මාධ්‍ය තුළ ද අදහස් පල කර තිබිණි.
බීබීසී සිංහල ද මේ සම්බන්ධයෙන් ගම්පොල නගර සභාවෙන් විමසීමක් සිදු කරන ලදී. එහි සෞඛ්‍ය අංශයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත පැවසුවේ මෙතෙක් කොපමණ කසළ ප්‍රමාණයක් එකතුවී තිබෙන්නේ ද යන්න නිශ්චිතව පැවසීමට නොහැකි බව ය.
"තාම කවුන්ට් එකක් කියන්න බෑ. තාම අපි එකතු කරනවා. තාවකාලිකව එකතු කරලා තියෙන්නේ. එකතු කරලා වෙනත් තැනකට ගෙනියන එක තමයි කරන්නේ. තාම ප්‍රධාන මාර්ගය අවට ටික තමයි එකතු කරමින් තියෙන්නේ," ඔහු පැවසුවේ ය.
දුම්රිය ස්ථානය සහ අතුරු මාර්ගවල කසල ගොඩගසා තිබීම සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසීමක් සිදු කරන ලදී.
"දැනට අපි තාවකාලිකව නිදහස් මාවත කියලා තැනක එකතු කරලා තියෙනවා, දුම්රිය ස්ථානය ආසන්නයේ තියෙන කසළ ටිකත් අයින් කරනවා. ක්ෂණිකව නගරයේ තියෙන කසළ ටික ඉවත් කරගන්න ඕන නිසා තමයි එතනට එකතු කළේ. ගම් වශයෙන් තවම කසළ එකතු කරලා නෑ," ඔහු පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කසළ එකතු කිරීමට ලිහිල් කරන ලද නිර්ණායක
ආපදා තත්ත්වය හේතුවෙන් විශාල වශයෙන් ගොඩගැසී ඇති කසළ කඳු එකතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලිහිල් නිර්ණායක හඳුන්වා දී ඇති බව එහි සභාපතිවරයා සඳහන් කළේය.
"අපේ මාර්ගෝපදේශ තියෙන්නේ මේ කසළ වෙන් කරලා නිසි විදිහට බැහැර කරන්න. නමුත් මෙවැනි ව්‍යසනකාරී ආපදාවකදී එම මාර්ගෝපදේශ භාවිත කරන්න අපට බැරි වෙනවා. ඒ නිසා ක්ෂණිකව අපි ලිහිල් කරන ලද මාර්ගෝපදේශ සකස් කරලා කසළ එකතු කිරීම කරන පළාත් පාලන ආයතන වෙත යැව්වා," මහාචාර්යවරයා පැවසුවේ ය.
"උදාහරණයක් විදිහට මේ වෙලාවේ එකතු වෙන්නේ මිශ්‍ර සහ අපවිත්‍ර වුණු කසළ. ගෙයක් යටවුණාට පස්සේ ඒ තෙත් කසළ වෙන් කරන්න බෑ. එතකොට ඉස්සෙලම කිව්වේ මේවා තාවකාලික ස්ථානවල තැන්පත් කරන්න කියලා. පසුව ඒවා වෙන් කරලා නිසි ලෙස බැහැර කරන්න කියලා තමයි අපේ මාර්ගෝපදේශවලින් අපි දැනුම්දීලා තියෙන්නේ."
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන්නේ "කසළ කළමනාකරණය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම," බව ද ඔහු පැවසුව් ය.
'කසළ කළමනාකරණයක් නම් කරන්න වෙන්නේ නෑ'
කෙස්වෙතත් මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරු ජල සහ අපජල, ඝන අපද්‍රව්‍ය අංශයේ ප්‍රධානී ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක පවසන්නේ මෙම කසළ පසුව වෙන් කිරීම ප්‍රයෝගික නොවන බව ය.
"මිශ්‍ර කසළ තමයි එන්නේ. කසළ කළමනාකරණයක් නම් කරන්න වෙන්නේ නෑ. කොට්ට මෙට්ට ලී බඩු, කඩවල්වල තිබුණු බඩු, හාල්, පරිප්පු පිටි වගේ හැම ජාතිකයක් ම කලවම් වෙලා එන්නේ. මඩ ගිහිල්ලා තියෙන්නේ," බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ය.
"මධ්‍යම පරිසර අධිකාරියෙන් කියලා තියෙනේ මිශ්‍ර කසළ එකතු කරලා පස්සේ වෙන් කරන්න කියලා. පස්සේ වෙන් කරන එක ප්‍රයෝගික නෑ. මඩත් එක්කනේ තියෙන්නේ. වෙන් කරන්නත් අමාරුයි, වෙන් කළා කියලා වැඩක් ගන්නත් අමාරුයි," ඔහු පවසයි.
"අලුත් ම මෙට්ටයක් වුණත් මද වතුර ගියාට පස්සේ වැඩක් නෑනේ. කවුද ඕවා හෝද හෝද වෙන් කරන්නේ? හෝදන්නත් වතුර අවශ්‍යයිනේ. මට නම් ලොකු ප්‍රායෝගික බවක් පෙන්නේ නෑ. නමුත් මිශ්‍ර කසළ එකතු කරනවා ඇරෙන්න වෙන විකල්පයකුත් නෑ," ඉංජිනේරුවරයා කියා සිටියේ ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිසර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඒ. කේ. කරුණාරත්න ද බීබීසී සිංහල වෙත පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දී ඇති නිර්ණායකවල ද ප්‍රායෝගික ප්‍රශ්න ඇති බව ය.
"ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා. විශේෂයෙන් ම මධ්‍යයම පළාත, ඌව පළාත, කුරුණෑගල වගේ පළාත් ගොඩක නායයෑම් සහ ගංවතුර තත්ත්වයන්වලට මුහුණ දුන් තැන්වලට තවම කසළ එකතු කිරීමේ පහසුකම් දෙන්න බැරි තැන් තියෙනවා," ඔහු පැවසුවේ ය.
'ගොහාගොඩ දිරන කුණු දාලා තිබුණු තැනක් නාය ගියා. එතනත් ටොන් 400ක් 500ක් විතර'
මහනුවර මහ නගර සභාවේ කසළ බැහැර කරන ගොහාගොඩ කසළ අංගනයේ දිරන කසළ කන්දක් ද නායගිය බව ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක පැවසුවේ ය.
"අපේ දිරන කුණු දාලා තිබුණු තැනක් නාය ගියා. එතනත් ටොන් 400ක් 500ක් වගේ නාය ගිහින් තියෙනවා. මහවැලි ගඟට නම් එහෙම ගියේ නෑ. එහා පැත්තේ වෙල් යායක් තියෙනවා, එතනට තමයි ගිහිල්ලා තියෙන්නේ," ඔහු පැවසුවේ ය.
මේ වන විට ආසන්න වශයෙන් ටොන් 500ක පමණ කසළ ගොහාගොඩ කසළ අංගනයට බැහැර කර ඇති බවත්, තවත් ටොන් 200ක පමණ කසළ එම අංගනය වෙත ගෙන එනු ඇතැයි ද ඔහු පවසයි.
කෙසේවෙතත් මේ වන විට ගොහාගොඩ කසළ අංගනයේ ද කසළ බැහැර කිරීම පිළිබඳ ගැටලුවක් ඇතිවී ඇතැයි ඉංජිනේරුවරයා පැවසුවේ ය.
"ගොහාගොඩ දැන් දාන්න තැනකුත් නෑ. එත් මේ වෙලාවේ මිනිස්සු අලුතෙන් ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ නිසා කුණු දාන්න ඉඩ දීලා තියෙනවා. ඒ වෙලාවට එක එක නීති දාලා වැඩක් නෑනේ. මෙතෙක් කල් කලවම් කුණු ගේන්න දෙන්නේ නැතිව දැඩි ලෙස අපි හිටියා. නමුත් මේ මොහොතේ ඒවා කතාකරන්න ගියොත් 'පිස්සු ද?' කියලා අහයි," ඉංජිනේරුවරයා පවසයි.
මෙම වසරේ අප්‍රේල් මාසයේ පැවති දළඳා දැක්ම හේතුවෙන් ද මිශ්‍ර කසළ ටොන් 500කට අධික ප්‍රමාණයක් මෙම කසළ අංගනය වෙත ගෙන ආ අතර, ඒ අවස්ථාවේදී බීබීසී සිංහල සමග කළ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ එම කසළ වෙන් කිරීම සඳහා වසර දෙකක් පමණ ගතවන බව ය.
එමෙන් ම සෑම වසරක ම පෙරහැර කාලසීමාවේදී ද ටොන් 200ත් 300ත් අතර කසළ ප්‍රමාණයක් එම කසළ අංගනය වෙත යොමු කෙරෙන බව ද ඔහු එහිදී කියා සිටියේ ය.
එම දත්ත අනුව සලකා බැලීමේදී, ගොහාගොඩ කසළ අංගනය වෙත මෙම වසරේදී මේ දක්වා මිශ්‍ර කසළ ටොන් 1,000කට වඩා වැඩි කසළ ප්‍රමාණයක් අනපේක්ෂිතව යොමු කිරීමට සිදුව ඇති බව පෙනී යයි.

ආචාර්ය ඒ. කේ. කරුණාරත්න බීබීසී සිංහල වෙත පැවසුවේ ගොහාගොඩ කසළ කන්දේ ස්ථායීතාවය පිළිබඳ ගැටලුවක් ඇති බව ය.
"ගොහාගොඩ මීට අවුරුදු 10කට කලින් වෙද්දීත් ධාරිතාවය සම්පූර්ණ වෙලා තිබුණේ. නගර සභාවට කරන්න දෙයකුත් නෑ නගරයේ කුණු ඉවත් කරගන්නත් ඕනේ. සමාජීය, පරිසර, දේශපාලන හැම පැත්තෙන් ම හැමෝම පිළිගන්න දෙයක් තමයි ඒක එතන තියන්න සුදුසු නෑ කියලා. වෙන් කරපු කුණු පවා එතනට ගන්න එක අභියෝගයක්," ඔහු පෙන්වා දෙයි.
"කුණු කන්දේ ස්ථායීතාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා, මීතොටමුල්ල වගේ උපරිමයකට ළගා වෙලා තියෙන්නේ."
එමෙන් ම මිශ්‍ර කසළ හේතුවෙන් පිටවන අපජලය මහවැලි ගඟට මිශ්‍ර වීමේ අවදානමක් පවතින බව ද ආචාර්යවරයා පෙන්වා දෙයි.
"ගඟට මීටර් 300ක් වගේ තමයි තියෙන්නේ," ඔහු පවසයි.
"කුණු කන්දෙන් යන අපජලය පිරිසිදු කිරීමේ ක්‍රමයකුත් ඔතන තියෙනවා. දැන් මිශ්‍ර කසළ ගොඩ ගැහුණම ඒ පිරිපහදුවටත් දරාගන්න බැරි ප්‍රමාණයක්. දැනට පාවිච්චි කරන තාක්ෂණය සහ මූලික පහසුකම් ටිකත් මේ ධාරිතාවය දරා ගන්න බෑ."
'වෙරළේ කිලෝමීටර් 140.3ක් පමණ ප්‍රමාණයක් අතිශය දූෂණයට ලක්වෙලා'
මේ අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර එම ආයතනයේ නිල ෆේස්බුක් පිටුවේ පල කර ඇති වීඩියෝවක පැවසුවේ ගංගාවලින් ගසාගෙන පැමිණි අපද්‍රව්‍ය හේතුවෙන් වෙරළ තීරය සහ මුහුද ද අපවිත්‍ර වී ඇති බව ය.
"සමුද්‍රීය දූෂණයක් සහ අති විශාල වෙරළ දූෂණයක් අපි මේ දවස්වල නිරීක්ෂණය කළා. මේ සම්බන්ධයෙන් අපි සමීක්ෂණයක් කළා. ශ්‍රී ලංකා ගංඟා මෝයවල් අශ්‍රිතව කිලෝමීටර් 140.3ක් පමණ ප්‍රමාණයක් අතිශය දූෂණයට ලක්වෙලා තියෙනවා," සභාපතිවරයා විස්තර කළේ ය.
'මෙය ස්වභාවික නොවන කාර්යයන් නිසා ඇති වූ ස්වභාවික විපතක්'
තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය ස්වභාවික නොවන කාර්යයන් නිසා ඇති වූ ස්වභාවික විපතක් බව ය.
"මේ වගේ විපතක් අපි ස්වභාවික විපතක් ලෙස හඳුන්වනවා. නමුත් මම මේක හඳුන්වනවා ස්වභාවික නොවන කාර්යයන් නිසා ඇති වූ ස්වාභවික විපතක් හැටියට. මේක මිනිසා විසින් ඇතිකරගත් දෙයක්," සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ ය.
'ව්‍යසනයකදී එන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ'
පරිසර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඒ. කේ. කරුණාරත්න පවසන්නේ ව්‍යසන අවස්ථාවකදී පැමිණෙන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු බව ය.
"ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ තමයි ව්‍යසනයකදී ගොඩක් වෙලාවට එන්නේ. ගෘහ භාණ්ඩ, ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි රෙදි, කාපට්, කොන්ක්‍රීට් වගේ ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න අවශ්‍ය පහසුකම් ලංකාවේ නෑ," ඔහු පෙන්වා දුන්නේ ය.
"දැන් ඒ පහසුකම් ඇතිවිය යුතු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේ ම ඊට පස්සේ හදාගන්න අවශ්‍යයි මේ වගේ ලොකු ප්‍රමාණයක් එද්දී ඒවා ගබඩා කරගැනීමේ පහසුකම්. ව්‍යසනයකදී අන්තරායකර නොවන කසළ ගබඩා කරගැනීම තමයි කරන්නේ."
එවැනි ගබඩා පහසුකම් තිබුණේ නම් ඒවා ගබඩා කරගෙන ක්‍රමානුකූලව ප්‍රතිචක්‍රීකරණය කිරීමට තිබූ බව ඔහු පැවසුවේ ය.
නමුත් මේ වන විට මිය ගිය සත්ව මළකුණු සහ වැසිකිළි අපද්‍රව්‍ය ගබඩා කරගැනීමට නොහැකි බව ඔහු පෙන්වා දෙයි.
"මැරිච්ච සත්තු, වැසිකිළි අපද්‍රව්‍ය තියෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ පුළුවන් තරම් වෙන් කරලා සනීපාරක්ෂක දාහකයකින් පුළුස්සන එක. ලංකාවේ දැනට එකක් තියෙනවා. නමුත් ප්‍රයෝගික ප්‍රශ්නයක් තියෙනවා, ඒක තියෙන්නේ කෙරවළපිටියේ, කුණු තියෙන්නේ මහනුවර හෝ බදුල්ලේ. ප්‍රයෝගිකව ඒවා ගේන්න පහසුකමක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්," ආචාර්යවරයා පවසයි.
එම නිසා හොඳ ම විසඳුම නොවූව ද, "ප්‍රයෝගික විසඳුම විදිහට තියෙන්නේ භූගත ජලය නැති තැනක වලක් කපලා වළලන එක," යැයි ඔහු පැවසීය.
කොවිඩ් වසංගත සමයේ ද එවැනි විසඳුමකට ගිය බව ඔහු පෙන්වා දෙයි.
දැනට කසළ ඉවත් කිරීමට ඇති සැලසුම කුමක් ද?
මේ වන විට බස්නාහිර පළාත තුළ එකතුවන කසළ ලොරි රථ මගින් කෙරවළපිටිය, දොම්පේ සහ කරදියාන කසළ අංගන වෙත ගෙන යමින් පවතින බව බලධාරීහු පවසති.
මෙම කසළ ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා පුද්ගලයින් රැසක් ද ස්වේච්ඡාවෙන් සම්බන්ධ වී සිටිති.
ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එන්. ඩී. එන්. පුෂ්පකුමාර පවසන්නේ මේ වන විට බස්නාහිර පළාතෙන් දිනකට ටොන් 1,500ක් පමණ ඉහත කසළ අංගන වෙත බැහැර කෙරෙමින් පවතින බව ය.
"දවසකට ටොන් 1,500ක් විතර බස්නාහිර පළාතේ විතරක් ඉවත් කරනවා. අවසන් බැහැර කිරීමේ ස්ථාන වන කරදියාන, කෙරවළපිටිය සහ දොම්පේ බිම් පිරවුම් වෙත ගෙන යමින් තියෙනවා," ඔහු පැවසුවේ ය.
කෙරවළපිටියේ තාවකාලිකව කසළ තැන්පත් කිරීම සඳහා ඉඩමක් ලබා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ ය.
"බස්නාහිර පළාත් අධිකාරිය කෙරවළපිටියේ ඉඩමක තාවකාලිකව තමයි කසළ තැන්පත් කරලා තියෙන්නේ... බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් දිනකට ලොරි 100ක් විතර යොදවලා සාර්ථක මෙහෙයුමක් කරනවා. දින 10ක් වගේ කාලයකදී ඒක ඉවර කරයි," ඔහු කියා සිටියේ ය.
එමෙන් ම ගම්පොල ප්‍රදේශයේ ද මේ වන විට කසළ බැහැර කිරීම සඳහා එලුගොඩ නමැති ප්‍රදේශයක ස්ථානයක් ලබා දී තිබේ.
"එලුගොඩ ප්‍රදේශයේ අතහරින ලද කළුගල් වලවල් තියෙනවා, ඒවාට ගම්පොල ප්‍රදේශයේ කසළ ගෙනියමින් තියෙනවා. ගෙලිඔය ප්‍රදේශයේ කසළත් එලුගොඩ පිහිටි කළුගල් වලවල් සඳහා බැහැර කරනවා. ඒ කටයුතු මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවෙනවා," ඔහු පැවසීය.
ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ගම්පොල ප්‍රදේශයේ දිනකට ටොන් 60ත් 100ත් අතර කසළ ප්‍රමාණයක් ඉවත් කරමින් පවතින බව ය.
"කුණු, ගඟ ඉහළ කෝරළයට සහ තවත් ස්ථානයකට බැහැර කිරීම සිදු කරනවා. ඒ ක්‍රියාවලිය ඉතා වේගයෙන් කරනවා. ගඟ ඉහළ කෝරලය ටිකක් ඉහළින් පිහිටලා තියෙන තැනක්. ඒ මාර්ගයේ ලොකු වාහන යන්න බෑ. පොඩි ලොරි දාලා තමයි අරගෙන යන්නේ. ඒත් දවසට වාර 30ක් විතර ගෙනියනවා. සාමාන්‍යයෙන් ටොන් 1 1/2ක් 2ක් වගේ එක ලොරියකින් අරගෙන යනවා. දවසට ටොන් 60 - 100ක වගේ ප්‍රමාණයක් දවසට ඉවත් කරනවා," ඔහු පවසයි.
එමෙන් ම මුහුද සහ වෙරළ ආශ්‍රිත පිරිසිදු කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ ය.
"අපි සැලැස්මක් හදලා ඒ අනුව ක්‍රමානුකුලව පිරිසිදු කරමින් යනවා. රටපුරා පවතින අපේ මධ්‍යස්ථාන 13, පළාත් පාලන ආයතන, ස්වේච්ඡා සංවිධාන, මහජනතාවගේ සහභාගීත්වයෙන් 19 වැනිදා දක්වා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා," සභාපතිවරයා පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එකතු කරන කසළ කඳුවලට සිදු කරන්නේ කුමක් ද?
මෙලෙස එකතු කරන කසළ කඳුවලට සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි බීබීසී සිංහල, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගෙන් ද විමසා සිටියේ ය.
"ප්‍රාදේශීය සභා මට්ටමින් කසළ වර්ගීකරණය කරන්නත්, වර්ගීකරණය කරන කසළ කොම්පෝස්ට් කරන්නත්, අනෙකුත් කසළ ඒවා ගන්න කැමති සමාගම්වලට දෙන්නත් කටයුතු කරමින් තිබුණේ. නමුත් මේ ආපදා තත්ත්වය විසින් අපට දැන් බලකරන්න බෑ ඒ විදිහට ම ක්‍රියාත්මක වෙන්න කියලා," අමාත්‍යවරයා කියා සිටියේ ය.
"ඒ නිසා අපි මේ කාලයට අදාළව කිසියම් සහනදායක මාර්ගෝපදේශ ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා."
"මධ්‍යම පරිසර අධිකාරිය කරන්නේ මේකට අවශ්‍ය මාර්ගෝපදේශ හදන එක. අපි දොම්පේ ජාත්‍යන්තර මට්ටමේ කසළ අංගනයක් පවත්වාගෙන යනවා. අනෙකුත් වැඩකටයුතු කෙරෙන්නේ එක් එක් පළාත් පාලන ආයතන මගින්. අපි ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ, නිර්ක්ෂණ, නිර්දේශ ලබා දෙන එක තමයි කරන්නේ," ඔහු තවදුරටත් පැවසුවේ ය.
මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය කෙරවළපිටියේ එකතු කරන කසළ බලශක්තිය බවට හැරවීමට බලාපොරොත්තු වන බව ය.
"ඔවුන් බලාපොරොත්තු වෙනවා ක්‍රෂර් එකක් භාවිත කරලා මේ කසළ කුඩු කරලා ඊට පස්සේ Waste to Energy බවට පත් කරන්න. මේක නුදුරු කාලයේදී සිදුවෙයි. අපි ඒවා අධීක්ෂණය කරනවා," ඔහු පැවසීය.
පශ්චාත් ආපදා කසළ කළමනාකරණ වැඩපිළිවෙලක අවශ්‍යතාවය
ආපදාවකදී කසළ කළමනාකරණය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවට නොමැතිවීම මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවක් වූ බව ආචාර්ය ඒ. කේ. කරුණාරත්න පැවසුවේ ය.
"ආපදාවකදී කසළ කළමනාකරණය කරන ක්‍රමයක් ගැන හරියට සැලසුමක් නෑ. සුනාමියෙන් පසුවත් යම්කිසි මට්ටමක පොඩි ආරම්භයන් තිබුණා. නමුත් මේ වගේ ලොකු දෙයක් සිදු නොවුණු නිසා ඒවා දිගට ම පැවතුණේ නෑ," ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
"ආපදාවකදී සෞඛ්‍ය සහ ජීවිතාරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා වගේ ම විය යුතු දෙයක් තමයි කසළ බැහැර කිරීම. මොකද ව්‍යසනයකට පස්සේ කසළ නිසා තවත් ද්වීතික රැල්ලක් ඇති වෙන්න පුළුවන් බෝ වන රෝග, පරිසර හානි වගේ ගොඩක් දේවල්," ඔහු පෙන්වා දෙයි.
එමෙන් ම පරිසර අමාත්‍යවරයා ද බීබීසී සිංහල වෙත පැවසුවේ ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය පිළිබඳ ජාතික වැඩපිළිවෙලක් නොමැති වීම ගැටලුවක් බව ය.
"රටේ එක කසළ කළමනාකරණ වැඩපිළිවෙලක් නෑ. පළාත් පාලන ආයතනවල වගකීමක් තමයි කසළ කළමනාකරණය. එක් එක් පළාත් පාලන ආයතනවල ලොකු විවිධත්වයක් සහිතව කරගෙන යන්නේ," අමාත්‍යවරයා පවසයි.
"හොඳ ආදායම් තියෙන පළාත් පාලන ආයතනවලින් හොඳින් කළමනාකරණය කරගෙන යනවා, අඩු ආදායම් තියෙන ආයතනවලට ඒ වගේ පහසුකම් නැති නිසා කුණු ටික තැනකට එකතු කරනවා වගේ ඒවා කරනවා."
ආචාර්ය කරුණාරත්න පෙන්වා දෙන්නේ මෙවැනි අවස්ථාවල කසළ ගබඩා කිරීම සඳහා ස්ථානයක් කලින් හඳුනාගෙන තබා ගත යුතු බව ය.
සාමාන්‍යයෙන් හොඳ ආපදා කළමනාකරණ සැලැස්මක, අපි හඳුනාගෙන තියෙන්න ඕනේ, හදිසි අවස්ථාවකදී පුද්ගලයන්ව ආරක්ෂිතව ඉවත් කරන ස්ථාන වගේ, හදිසියකදී ගොඩනැගිලි අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය, පස් වගේ දේවල් ගෙනියන්න තැනක්. ඒක දැනට ම හඳුනාගෙන තියෙන්න ඕනේ. ඒවා ගැන ජනතාවට දැනුවත් කරලා තියෙන්න ඕනේ මේ තැන්වලට ඒවා අරගෙන යන්න පුළුවන් කියලා," ආචාර්යවරයා පෙන්වා දෙයි.
ආපදා කළමනාකරණ සැලසුම්වලදී ද කසළ කළමනාකරණය සම්බන්ධයෙන් තවමත් යොමුවන අවධානය සහ වෙන්වන මුදල් ප්‍රමාණවත් නොවන බව ආචාර්යවරයා පවසයි.
"අරුවක්කාලු කසළ අංගනය 2026 අග වෙද්දීවත් වැඩ ඉවර කරගත්තොත් එතන ධාරිතාවයක් තියෙනවා මේ වගේ අවස්ථාවක කසළ බැහැරකිරීමේ පහසුකම් සඳහා," ඔහු පැවසීය.
ආචාර්යවරයා පෙන්වා දුන්නේ 2004 සුනාමියෙන් එකතු වූ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ජර්මනියෙන් පහසුකම් ලබා දුන් බව ය. නමුත් ඒවා වර්තමානයේ ප්‍රමාණවත් නොවන බවත් එවැනි නව පහසුකම්වල අවශ්‍යතාවයන් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
"පහුගිය කාලේ අපට ජාත්‍යන්තර ආයතනවලින් කසළ කළමනාකරණයට විවිධ ආධාර දීලා තියෙනවා. නමුත් අවශ්‍ය යටිතල පහසුකම් හැදිලා ඒවා සංවර්ධනය වෙලා නෑ. ඒවගේ නෂ්ඨාවශේෂ වගේ දේවල් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එහෙම ආධාර විවිධ පාලනයන් යටතේ ලැබිලා තිබුණට ඒවායින් හොඳ ම ප්‍රයෝජනයක් අරගෙන නෑ," අමාත්‍ය ධම්මික පටබැඳි පවසයි.














