'ලේඛනාරක්ෂණයට භාර නොදුන් ඓතිහාසික ලේඛන ආපදාවෙන් හානි වෙලා': ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව

හානිවූ ලේඛන පරීක්ෂාකරන නිලධාරිනියක්

ඡායාරූප මූලාශ්‍රය, Department National Archives

    • Author, බීබීසී සිංහල

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතූවෙන් ජීවිත මෙන් ම දේපළ රැසක් ද විනාශයට පත් විය.

එම තත්ත්වයෙන් බොහෝ පුද්ගලික මෙන් ම රාජ්‍ය ආයතන වල ලිපි ලේඛන රැසක් ද විනාශයට පත්වූ අතර ඇතැම් ඒවා නැවත භාවිතා කළ නොහැකි ලෙස සම්පුර්ණයෙන් ම විනාශයට පත්වී තිබේ.

ආපදා තත්ත්වයෙන් විනාශයට පත්ව ඇති ලේඛන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් ද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලැබී ය.

කෙසේ වෙතත් ගංවතුර හා නායයම් හේතුවෙන් මෙරට ඓතිහාසික ලේඛන රැසකට හානි වී ඇති අතර බීබීසි සිංහල සේවය ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලී ය.

ලේඛන හානි වී ඇති බවට වාර්තා වී ඇත්තේ කුමන ප්‍රදේශවලින් ද?

ආපදා තත්ත්වයෙන් විනාශයට පත්ව ඇති ලේඛන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් ද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලැබී ය.

ඡායාරූප මූලාශ්‍රය, Department National Archives

මහනුවර, අනුරාධපුර, ගිරිඋල්ල, මීගමුව සහ මහියංගණය වැනි ප්‍රදේශවල රාජ්‍ය ආයතන 40කට ආසන්න ප්‍රමාණයක ලේඛනවලට හානි වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ අතර ඓතිහාසික වටිනාකමකින් යුත් ලේඛන රැසක් ද පවතින බවත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය.

"දැනට රාජ්‍ය ආයතන 40කට ආසන්න ප්‍රමාණයකින් ලේඛන ජලයෙන් හානියට පත්වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. "ඓතිහාසික ලේඛන රැසක්ම ජල හානියට පත්වෙලා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. විශේෂයෙන් ම මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ලේඛන තමයි ජලයෙන් හානියට පත්වෙලා තියෙන්නේ."

'අපිට පවරපු නැති නිසත් මේ විනාශය වෙලා තියෙනවා'

වර්ෂ එක් දහස් අටසිය දක්වා පැරණි, බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවත එන ලේඛන මෙලෙස හානියට පත්ව ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියා ය.

එම ලේඛන ජාතික ලේඛනාගාරයේ භාරකාරත්වයෙන් තොරව පොදු අධිකාරිවල පවත්වාගෙන ගිය ලේඛන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ, ඒවා නිසි ලෙස ආරක්ෂා කර නොතිබුණ බවට චෝදනා කළා ය.

"ඒවා ජාතික ලේඛනාගාරයේ භාරකාරත්වය යටතේ තිබුණ ඒවා නෙමෙයි. පොදු අධිකාරිවල පවත්වාගෙන ගිය ලේඛන. අපි එතන දකින්නේ ඒවා නිසි ආකාරව ආරක්ෂා කරන්න අපිට පවරපු නැති නිසත් මේ විනාශය වෙලා තියෙනවා කියලා. ඒ ආයතනවල අවශ්‍ය තාක්ෂණික දැනුම නැතිකොට ඒ තරම් විශාල ලේඛන ප්‍රමාණයක් බලාගන්න, ආරක්ෂා කරන්න. ඒ ආයතනවලින් දැන්වත් තේරුම් ගන්න ඕනේ ඒ ලේඛන පැවරිය යුතුයි කියලා. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව හැටියට අපිට තාක්ෂණික දැනුමයි, ජාතික ලේඛනාරක්ෂක නීතිය යටතේ බලතල පැවරිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සංරක්ෂණ කටයුතු කරගෙන යන්න සහ ඒ වගේම ඒ ලේඛනවලට ප්‍රවේශය ලබා දෙන්නත් අපිට බලතල සහ පහසුකම් තියෙනවා," ඇය පැවසුවා ය.

රාජ්‍ය ආයතනවලින් නිසි වෙලාවට ඓතිහාසික ලේඛන, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව වෙත පවරා තිබුණේ නම් මෙවන් හානියක් වීම වළක්වා ගැනීමට තිබු බව ද ආචාර්යවරිය පැවසුවා ය.

ලේඛනාරක්ෂණයේ උපදෙස් නොපිළිපැදීම නිසා වූ හානිය

අධ්‍යක්ෂ ජනරාල්වරිය චෝදනා කරන්නේ රාජ්‍ය ආයතනවල ලේඛනාගාර පහළ මාලවල පවත්වාගෙන නොයන ලෙස උපදෙස් දී තිබුණ ද, උපදෙස් නොසලකා පහළ මාලයේ ලේඛනාගාර පවත්වාගෙන යාම ද මෙම හානියට හේතුවක් වී ඇති බව ය.

"රේකෝඩ් රූම්ස් පහළ තට්ටුවේ දාගෙන ඉන්නවා, අපි කොච්චර උපදෙස් දුන්නත් පල්ලෙහා තට්ටුවේ දාන්න එපා කියලා. ඒ වගේ දුර්වලතා ඉදිරියේ දී හරි නිවැරදි කරගන්න කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

මධ්‍යගත ලේඛනාගාරයක් පිහිටුවීමේ උත්සාහය

හානියට පත්ව ඇති ලේඛන, සංරක්ෂණය සඳහා වැඩපිළිවෙලක් යොදා ගත යුතු බවට යෝජනා කළ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ, මධ්‍යගත ලේඛනාගාරයක් පිහිටුවීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසුවා ය.

"ලේඛන සංරක්ෂණය කරගන්න ලොකු වැඩපිළිවෙලක් දාගන්න වෙනවා. මධ්‍යස්ථානයක් සකස් කරගන්න අපි උත්සාහ දරනවා. අනුමත වෙලා නැහැ මොනවත්. හැබැයි අපි සාකච්ඡා කරමින් යනවා එහෙම ලේඛන සංරක්ෂණ මධ්‍යස්ථානයක්, මධ්‍යගත එකක් ලේඛන සංරක්ෂණය කරන්න පටන් ගන්න. හැබැයි තවම සාකච්ඡා මට්ටමින් තමයි පවතින්නේ," ඇය පැවසුවා ය.

රාජ්‍ය ආයතනවල පවතින ඓතිහාසික ලේඛන, ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන ස්ථිර ලෙස සංරක්ෂණය කිරීම වෙනුවෙන් එම ලේඛන මධස්ථානයක් පිහිටුවීමට උත්සාහ දරන බව ද ඇය සඳහන් කළා ය.

'එක්දාස් අටසිය ගාණන් ඉඳන් පැවත එන ලේඛන තියෙනවා'

ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත්ව ඇති ඓතිහාසික ලේඛන සම්බන්ධව නිශ්චිතව පැවසිය නොහැකි බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළ අතර ඒ සම්බන්ධ ලැයිස්තුවක් තම ආයතනය සතුව නොමැති බව ද කියා සිටියා ය.

"ඒවා තිබුණේ රජයේ ආයතන සතුව. ඉන්වෙන්ට්‍රියක් එහෙම තිබුණේ නැහැ. හැබැයි එක්දාස් අටසිය ගාණන් ඉඳන් පැවත එන ලේඛන කියලා කියන්න පුලුවන්. ඒ වගේ ලැයිස්තුවක් වුණත් හරියාකාරව හදන්නේ ජාතික ලේඛනාගාරයෙන්නේ. ඒවාට මහජනයාට පහසුවෙන් ප්‍රවේශ හැකි විදියට ඉන්වෙන්ට්‍රිය හදන එකට අපිට බලතල පැවරිලා තියෙන වැඩක්. හැබැයි ඒ ආයතනවල තියෙනකොට කවුරුවත් දන්නේ නැහැ මොනවාද තියෙන්නේ කියලා," ඇය පෙන්වා දෙයි.

හානියට පත්ව ඇති ලේඛන අධිශීතකරණ ගත කර සංරක්ෂණය කිරීමට තවමත් හැකියාව පවතින අතර, සංරක්ෂණ කිරීමට කටයුතු ප්‍රමාදයට පත් වී පුස් බැඳුණහොත් ඉන් බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අනතුරු ඇඟවුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Department National Archives

ලේඛනවලට පුස් බැඳුණොත්?

හානියට පත්ව ඇති ලේඛන අධිශීතකරණ ගත කර සංරක්ෂණය කිරීමට තවමත් හැකියාව පවතින අතර, සංරක්ෂණ කිරීමට කටයුතු ප්‍රමාදයට පත් වී පුස් බැඳුණහොත් ඉන් බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අනතුරු ඇඟවුවාය.

"ජල හානියට පත් වුණා ම ජලය නිසා ඒ ලේඛන විකෘති වෙනවා. පුස් බැ‍‍දෙනකොට ලොකු වෑයමක් දරන්න වෙනවා ඒක බේරගන්න."

ගංවතුර හේතුවෙන් විනාශයට පත්වූ පෞද්ගලික ආයතනවල ලේඛන සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් උපදෙස් ලබා දෙනු ලබයි.

රාජ්‍ය ආයතනවල හානියට පත්ව ඇති ලේඛන නැවත භාවිතයට ගත හැකි ලෙස සකස් කර ගැනීමට උපදෙස් සහ දායකත්වය එම දෙපාර්තුමේන්තුව විසින් සපයනු ලබයි.

අධිශීතකරණ ලබා දෙන ලෙස ඉල්ලීමක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර ජලයෙන් හානියට පත් වූ ලේඛන ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියට අධිශීතකරණ අවශ්‍ය වී ඇති බැවින් තාවකාලික පදනම මත අධිශීතකරණ පහසුකම් ලබා දෙන ලෙස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.

"ජලයෙන් හානි වූ ලේඛන අධිශීත කිරීමෙන් පුස් බැඳීම වර්ධනය නතර වන අතර නිසි සංරක්ෂණ ප්‍රතිකාරයක් කළ හැකි වන තෙක් එම ලේඛන ස්ථාවර කරයි. එමගින් වටිනා කාලය ඉතිරි කර ගත හැකි ය. අධිශිතකරණ ධාරිතාවක් නොමැතිව, වැදගත් ලේඛන, ඉඩම් ලේඛන, අධිකරණ ලේඛන, ඓතිහාසික ලේඛන සහ පුරවැසියන් මිලියන ගණනකට ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සාක්ෂි අහිමි වනු ඇත," යි එම දෙපාර්තුමේන්තුව නිකුත් කරන ලද නිවේදනයේ දක්වා ඇත.

අධිශීතකරණ ලබා දීමට කැමැත්තක් දක්වන්නේ නම්, 0776815551 යන දුරකතන අංකය ඔස්සේ ජ්‍යෙෂ්ඨ ලේඛනාරක්ෂක, අනුරාධ අදිකාරම් අමතන මෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.

"අප අධිශීතකරණ ඉල්ලා සිටින නමුත් අප සැබැවින්ම ඉල්ලා සිටින්නේ ජාතික ලේඛනමය යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට සහය වන ලෙසයි," එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ මැදිහත්වීම මත පෞද්ගලික ආයතනයක් විසින් ලබා දුන් අඩි 40 අධිශීතකරණ සහිත කන්ටේනර් බහාලුම් තුනක් යොදා ගනිමින් හානියට පත් ලේඛන සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද ආචාර්ය නදීරා රූපසිංහ කියා සිටියා ය.