චීන දේශසීමාවේ නගරයක් ලිංගික ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත්කළ මියන්මාර් පවුලකට චීනය මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

    • Author, කෝ ඊව්

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මියන්මාරයේ මූල්‍ය වංචා සිදුකරන ස්ථාන පවත්වාගෙන ගිය පවුලක සාමාජිකයින් 11 දෙනෙකුට චීනය මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

සෙජියැං පළාතේ අධිකරණයක් සැප්තැම්බර් මාසයේදී මින්ග් පවුලේ සාමාජිකයින්ට මිනීමැරුම්, නීති විරෝධී රඳවා තබා ගැනීම, වංචා කිරීම සහ සූදු ස්ථාන පවත්වාගෙන යාම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම කර තිබිණි.

මින්ග් පවුල චීන දේශසීමාව අසල මියන්මාරයේ කුඩා නගරයක් වන ලාවුක්කයිං පාලනය කළ වංශ කිහිපයකින් එකකි. දිළිඳු නගරයක්ව පැවති එය ඔවුන්ගේ පාලනය යටතේ, කැසිනෝ සහ ලිංගිකත්වය කේන්ද්‍ර කරගත් ව්‍යාපාර සමග සම්බන්ධ කාර්යබහුල මධ්‍යස්ථානයක් බවට පත් කරන ලදී.

චීනය වෙතින් එල්ල වූ බලපෑම හේතුවෙන් මියන්මාර් බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන චීනයට භාර දීමෙන් පසු 2023 දී ඔවුන්ගේ ජාවාරම් අධිරාජ්‍යය බිඳ වැටිණි.

චීන පුද්ගලයින් දහස් ගණනක් මියන්මාරයේ පිහිටි මෙම මධ්‍යස්ථානවලට රැගෙන ගොස් ඔවුන් එහි රඳවා තබා ගනිමින් ඔවුන්ට විදේශයන්හි වෙසෙන පුද්ගලයින්ගේ මුදල් වංචා කිරීමට බල කරනු ලැබේ.

ඉකුත් වසරේ, චීන නළුවෙකු රැකියාවක් සඳහා තායිලන්තයට ගිය නමුත් ඔහුව මියන්මාරයේ මූල්‍ය වංචා සිදුකරන මධ්‍යස්ථානයකට ගෙන ගොස් තිබිණි. මෙවැනි සිද්ධි චීනයේ කලකිරීම වැඩි කළ අතර මූල්‍ය වංචා කල්ලි නැවැත්වීමට චීනය මියන්මාර් ජුන්ටාවට බලපෑම් කළේ ය.

2015 සහ 2023 අතර කාලය තුළ මින්ග් මාෆියා පවුල මූල්‍ය වංචා සහ සූදු මගින් යුවාන් බිලියන 10කට වඩා (ඩොලර් බිලියන 1.4; පවුම් බිලියන 1) උපයා ඇති බව අධිකරණය පැවසීය.

ඔවුන්ගේ අපරාධ හේතුවෙන් චීන පුරවැසියන් 14 දෙනෙකු මියගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු වූ බව අධිකරණයේදී අනාවරණය විය.