ඔත්තු සේවා: ජංගම දුරකතනවල දත්ත සොරා ගන්නේ යැයි කියන 'පෙගාසස්'

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

මේ දිනවල සමාජයේ මහත් කතාබහකට ලක් වන පෙගාසස් (PEGASUS) නම් ඔත්තු බැලීමේ මෘදුකාංගයකි. කුමක් ද මේ පෙගාසස් මෘදුකාංගය, මේ තුළින් ඔබේ ජංගම දුරකතනයට කුමක් කළ හැකිද?

පෙගාසස් යනු ඔත්තුසේවා මෘදුකාංගයක් වන අතර එය ඊශ්‍රායල මෘදුකාංග සහ තාක්ෂණික කණ්ඩායමක් වන එන්.එස්.ඕ. නම් ඔත්තු සේවා සපයන සමාගමක් විසින් නිර්මාණය කරන ලද අතර එය ඇපල් ජංගම දුරකතනවල මෙහෙයුම් පද්ධතිය වන iOS හි ඇතැම් අනුවාදයන් හි ධාවනය කරන උපාංගවල මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගවලද ස්ථාපනය කළ හැකි බව විශේෂඥයෝ සඳහන් කරති.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට අයත් අයිෆෝන් දුරකතයක් මත එය ස්ථාපනය කිරීමට ගත් අසාර්ථක උත්සාහයකින් පසු 2016 අගෝස්තු මාසයේදී මෙම මෘදුකාංගය පිළිබඳව ලොවට අනාවරණය වූ අතර ඉන් පසුව කරන ලද පරීක්ෂණයකින් මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගයේ විස්තර, එහි හැකියාවන් සහ එය අනතුරට භාජනය වියහැකි ආරක්ෂක දුර්වලතා පිළිබඳ තොරතුරු අනාවරණය විය.

මෙම මෘදුකාංගය මගින් එක් ජංගම දුරකතනයක දත්ත සොරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් 25,000ක් පමණ වැය වන බවත් අසීමිත දුරකතන සංඛ්‍යාවක දුරකතන දත්ත සොරාගැනීමට නම් රුපියල් බිලියන 2ක් නැතහොත් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වැයවන බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ අතර මෙම මෘදුකාංගය භාවිත කිරීමේ පහසුකම ශ්‍රී ලංකා රජය විසින් ද මිලදී ගෙන ඇති බවට විපක්ෂය චෝදනා කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ යම් අවධානයක් යොමුවෙමින් පවතී.

මේ පිළිබඳව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව සමාජ මාධ්‍යයේ සටහන් ව තිබු අයුරු

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවේ සඳහන් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අධිකරණ හෝ වෙනත් අවසරයකින් තොරව නිවාසවලට ඇතුළු වීම සහ පුද්ගලයන්ගේ සන්නිවේදනය අධීක්ෂණය කිරීමට රජයේ බලධාරීන්ට අවසර දී ඇති බවයි.

එමහින් තවදුරත් පවසන්නේ රජයේ බලධාරීන් අවසරයකින් තොරව පුද්ගලන්ගේ සංචරනයන් නිරීක්ෂණය කළ බව වාර්තා වන බවත් 2020 වර්ෂය තුළ සිවිල් සමාජය සහ මාධ්‍යවේදීන් සෝදිසි කිරීම් සහ නිරීක්ෂණය හෝ ආවේක්ෂණය කිරීම පිළිබඳ චෝදනා වාර්තා වන බවත්ය.

එම වාර්තාවේ අන්තර්ජාල නිදහස යන ඡේදයේ දක්වා ඇත්තේ "සුදුසු නෛතික බලයක් නොමැතිව රජය පුද්ගලික මාර්ගගත සන්නිවේදනයන් අධීක්ෂණය කළ බවට විශ්වාසදායක වාර්තා නොමැත. අසභ්‍ය යැයි සිතන වෙබ් අඩවි සඳහා රජය සීමිත සීමාවන් පනවා ඇත," යනුවෙනි.

මේ පිළිබඳව කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ තමා ඒ පිළිබඳව දැනුවත් නොමැති බවත් විපක්ෂය නඟන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.

"මට කියන්න පුළුවන් රජය මෙවැනි ක්‍රියාවක් නොකරන බව. මම පුදුම වෙනවා මෙම ප්‍රශ්නයෙන්. අපි මේ ගැන දැනුවත් නෑ. මට කියන්න තියෙන්නේ අපි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ නෑ මෙහි කිසිම සත්‍යතාවක් තියෙනවා කියලා," යනුවෙන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

වෙනත් රටවල තත්ත්වය

මෙම මෘදුකාංගය උපයෝගී කරගෙන 'වොෂිංටන් පොස්ට්' පුවත්පතට ලිපි සැපයූ ජමාල් කශෝගි නම් සෞදි අරාබි ජනමාධ්‍යවේදියා ගේ තොරතුරු එක්රැස් කළ බවටත් චෝදනා එල්ල විණි.

පසුව 2018 ඔක්තෝබර් 2 වන දින තුර්කියේ ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලය වෙත ඇතුළු වීමෙන් අනතුරුව කශෝගි ඝාතනය කෙරුණු අතර එම සිදුවීම්වලට සෞදි රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුගේ සම්බන්ධයක් ඇති බවට චෝදනා නැගුනත් සෞදි රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එසේම වොෂිංටන් පෝස්ට් හි හිමිකාරිත්වය දරන ලෝප්‍රකට ව්‍යාපාරික ඇමර්සන් හි හිමිකරු වන ජෙෆ් බෙසොස් ගේ දුරකතනයෙන් ද මෙම මෘදුකාංගය උපයෝගී කරගෙන තොරතුරු සොරාගත් බවට චෝදනා එල්ල වේ.

මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගය ජංගම දුරකතනවල ස්ථාපනය කිරීමෙන් එයට ලැබෙන හා ඒ මගින් යවන කෙටි පණිවිඩ කියවීම, ඇමතුම් විස්තර ලබාගැනීම, මුරපද ලබාගැනීම, ජංගම දුරකතන තිබෙන තැන පිළිබඳ විස්තර ලබාගැනීම, ඉලක්කගත උපාංගයේ මයික්‍රොෆෝනය සහ කැමරාව වෙත ප්‍රවේශ වීම, ලිපිගොනු, ඡායාරූප සහ ඊමේල් සහ යෙදුම් වල ඇති තොරතුරු රැස් කිරීමේ හැකියාව ලැබෙන බව කියවේ.

තාක්ෂණවේදීන් පවසන පරිදි:

මෙම මෘදුකාංගය ජංගම දුරකතනයක් තුළ ස්ථාපනය කිරීම සඳහා අදාළ ජංගම දුරකතනයට වට්ස් ඇප් ඇමතුමක්, කෙටි පණිවුඩයක් හෝ ඊමේල් පණිවුඩයක් යැවීමෙන් අදාළ දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි වේ. එම පණිවුඩය විවෘත කළ මොහොතේ සිටම අදාළ ජංගම දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් වේ.

'පෙගාසස්' මෘදුකාංගය ජංගම දුරකතනයක ස්ථාපිත වූ විට එයින් ඉවත් වීමට ඇති එකම ක්‍රමය, අදාළ ජංගම දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීම හෝ එය විනාශ කිරීම පමණකි.

අලුතින් ජංගම දුරකතනයක් භාවිත කරන්නට පටන් ගත් විටද, මින් පෙර භාවිත කළ ගූග්ල්, වට්ස් ඇප් සහ ෆේස් බුක් ගිණුම් ඔස්සේ නව දුරකතනය ද ආක්‍රමණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුය.

ඇපල් සමාගමේ ප්‍රතිචාරය

"ඇපල් හි, අපගේ කණ්ඩායම් අපගේ පරිශීලකයින්ගේ දත්ත සහ උපාංගවල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරයි. iOS 14 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම ආරක්ෂාවෙහි ඉදිරි පිම්මක් වන අතර මෙවැනි ප්‍රහාරයන්ට එරෙහිව නව ආරක්ෂාවක් එමගින් සපයයි." යනුවෙන්, මෙම මෘදුකාංගය හඳුනාගත් අවස්ථාවේදී ඇපල් සමාගමේ ප්‍රකාශයක් උපුටා දක්වමින් 'ද ගාඩියන්' පුවත්පත පැවසීය.

"තමන් සහ තමන්ගේ දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා මෙහෙයුම් මෘදුකාංගයේ නවතම අනුවාදය බාගත කරන ලෙස අපි සැමවිටම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු." යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් විය.

මේ අතර ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පුරවැසි විද්‍යාගාරයේ පර්යේෂකයෝ 2020 වසරේදී පැවසුවේ, 2020 ජුලි සහ අගෝස්තු මාසවලදී, අල් ජසීරා මාධ්‍ය ජලයේ හි මාධ්‍යවේදීන්, නිෂ්පාදකයින්, නිවේදකයින් සහ විධායක නිලධාරීන්ගේ පුද්ගලික දුරකතන 36 ක් තුලට රහසිගතව ඇතුළුවීමට (හැක් කිරීමට) රජයේ ක්‍රියාකාරීන් එන්එස්ඕ සමූහයේ 'පෙගාසස්' ඔත්තු මෘදුකාංග භාවිතා කළ බවත් ලන්ඩන් නුවර අල් අරාබි රූපවාහිනියේ මාධ්‍යවේදියෙකුගේ පෞද්ගලික දුරකතනයද හැක් කර තිබෙන බවත්ය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණවේදියෙකුගේ අදහස

තාක්ෂණවේදී අසේල වෛද්‍යලංකාර බීබීසී සිංහල සේවය සමග පැවසූවේ ඉතා මිල අධික මෙම ඔත්තු සේවා මෘදුකාංගය, බොහෝ රටවල භාවිත කෙරෙන අතර සෞදි අරාබිය, මෙක්සිකෝව, ඉන්දියාව වැනි රටවල ආණ්ඩු පවසන්නේ තම ආරක්ෂාවට එල්ලවන තර්ජන නැවැත්වීම සඳහා 'පෙගාසස්' මෘදුකාංගය යොදා ගන්නා බවය.

නමුත් එය සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහිව යොදා ගන්නා අවස්ථා ද බහුලව දැකිය හැකි බවට තාක්ෂණවේදී අසේල වෛද්‍යලංකාර පැවසීය.

මෙවැනි තර්ජනාත්මක මෘදුකාංග තුළින් ජනතාවගේ ජංගම දුරකතනවලට බලපෑම් සිදුවීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව කෙතරම් සූදානම් ද යන්න "ප්‍රශ්ණ සහගත" බව ඔහු පැවසීය. සමහර රටවල ත්‍රස්තවාදය මර්දනය කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම හා අනෙකුත් අපරාධ මැඩලීමේ දී දුරකතන සංවාදවලට සවන් දීම, දුරකතන ඔස්සේ එම පුද්ගලයන් ගමන්ගන්නා මාර්ග සොයාගැනීම වැනි කටයුතුවලට නීත්‍යානුකූල පසුබිමක් ඇති බව පෙන්වා දෙන ඔහු ඇමරිකාව වැනි රටවල ඒ සඳහා නීති ඇති බැවින් මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් වගවීමක් තිබෙන බව සඳහන් කළේය.

"එත් ලංකාවේ එහෙම නීති නෑ ඇමරිකාවේ දී whire tapping වලට fisa warrent එකක් ලබාගත යුතුයි. ඒ තුළින් යම් නිත්‍යානුකුල භාවයක් ලැබෙනවා විතරක් නෙමෙයි එමගින් යම් වගවීමක් සහ කවුරුන්ද මෙය කරන්නේ කාගේ දුරකතනවලටද ඇහුම්කන් දෙන්නේ, මොකක් නිසාද කරන්නේ කියන වගවීම තියෙනවා. එහෙම නැතිව හිතෙන හිතෙන අයගේ දුරකතන සංවාද හා එහි ඇති දත්ත බලන්න අයිතියක් නෑ," යනුවෙන් අසේල වෛද්‍යලංකාර පැවසීය .

තවත් නම හෙළිකිරීමට අකමැති වූ නීතිඥයෙක් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මෙවැනි ඔත්තු බැලීමේ සේවාවන් ක්‍රියාත්මක වීම නැවැත්විය නොහැකි අතර එසේ ක්‍රියාත්මක වීමේදී යම්කිසි පාලනයක් ඇතිව සිදුකිරීම ඉතාමත් වැදගත් වන බවය. එසේ නොවුවහොත් එමගින් අත්වන ප්‍රතිඵල ඉතාමත් භයානක විය හැකි බව ද ඔහු පෙන්වා දුණි.

"රටක ආරක්ෂාව වෙනුවෙන් ඔත්තු බැලීම සාධාරණීකරණය කළ හැකි වූවත් දේශපාලන විරුද්ධවාදීන්ගේ මුලික අයිතිවාසිකම් හා පෞද්ගලිකත්වයට හානි පැමිණවීමේ අරමුණින් මෙසේ ඔත්තු බැලීමේ සේවාවන් ක්‍රියාවට නැංවීම අනුමත කරන්න බැහැ. ඒ සඳහා නීති සැදිය යුතුයි." ඔහු පැවසීය.

අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා නවීන ඔත්තු භාණ්ඩ භාවිතා කළ හැකි ආකාරය බීබීසීය වාර්තා කර තිබු ආකාරය.

මේ තොරතුරුද කියවන්න: