ෆේස්බුක්: දත්ත අපහරනය නිසා සමාගමට පවුම් ලක්ෂ පහක දඩයක්

දත්ත සුරැකීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට එරෙහිව පවුම් ලක්ෂ 5 ක දඩයක් පැනවීමට එක්සත් රාජධානියේ තොරතුරු කොමසාරිස්වරිය බලාපොරොත්තු වේ.

කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය තම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දත්ත මකාදමන බවට සහතික වීමට ෆේස්බුක් සමාගම අපොහොසත්වූ බව තොරතුරු කොමසාරිස්වරියගේ කාර්යාලය පැවසීය.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ අක්‍රීය මව් සමාගමවන SCL Election සමාගමට එරෙහිව ද තොරතුරු කොමසාරිස්වරියගේ කාර්යාලය අපරාධ චෝදනා ගොනුකරනු ඇත.

එසේම, "තොරතුරු බ්‍රෝකර්වරු" වෙතින් පෞද්ගලික දත්ත මිලදී ගන්නා දේශපාලන පක්ෂ පිළිබඳව ද ඔවුන් තම අවධානය යොමුකර ඇත.

එම වාර්තාවට තමන් "ඉක්මණින්ම" වාර්තාවට ප්‍රතිචාර දක්වන බව ෆේස්බුක් සමාගම පවසයි.

දේශපාලන ප්‍රචාරක ව්‍යාපාර පුද්ගල දත්ත උපයෝගී කරන්නේ යැයි සමාජ ක්‍රියාකාරිකයෙකු වන ක්‍රිස්ටෝපර් විලී හඬ නැගීමෙන් පසුව මාස 16 ක් පුරා කරන ලද විභාගයකින් අනතුරුව, තොරතුරු කොමසාරිස් කාර්යාලය මෙම පියවර ගනු ලැබ ඇත.

ලන්ඩනය මුල්කරගෙන පිහිටුවා ඇති දේශපාලන උපදෙස් ලබාදෙන සමාගමක්වූ 'කේම්බ්‍රිජ් ඇනලිටිකා'හි සේවය කළ ක්‍රිස්ටෝපර් විලී, සමාගම ෆේස්බුක් ඔස්සේ මිලියන ගණනක් අනවසරයෙන් පුද්ගල දත්ත ලබාගත් බව පවසයි.

තොරතුරු කොමසාරිස් කාර්යාලයට අනුව, ෆේස්බුක් සමාගම තම සමාගමේ නියමයන් පවා උල්ලංඝණය කර ඇති අතර, කේම්බ්‍රිජ් ඇනලිටිකා දත්ත මකාදමන බවට සහතික වීමට අපොහොසත්වී ඇත.

"මම මාස ගණනකට පෙර ෆේස්බුක් සහ කේම්බ්‍රිජ් ඇනලිටිකා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආයතනවලට පැමිණිළි කළා," යනුවෙන් තොරතුරු කොමිසමේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ක්‍රිස්ටෝපර් විලී පවසයි.

"එම තොරතුරු පදනම් කරගෙන, ෆේස්බුක් සමාගමට බ්‍රිතාන්‍ය නීතියට අනුව උපරිම දඩය නියමකර තිබෙනවා."

"කේම්බ්‍රිජ් ඇනලිටිකා සහ බොහෝවිට එහි අධ්‍යක්ෂවරු අපරාධයට වග උත්තරකරුවන් වේවි," යනුවෙන් ද ඔහු පැවසුවේය.

සබැඳි පුවත්: