ශ්‍රී ලංකාව තුළ ඔබට විදේශ මුදල් ඒකකවලින් ගෙවීම් කළ හැකි ද?

විදේශ මුදල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 3

මහ බැංකුවේ අවසරයකින් තොරව ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකු මෙරට වෙළෙඳ ආයතනයක් වෙත විදේශ මුදලින් ගෙවීම් සිදු කිරීම හෝ වෙළෙඳ ආයතන විදේශ මුදලින් ගෙවීම් ලබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින් විසින් මෙරට දී සිදුකරනු ලබන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කරන අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී ඇති බව ය.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධානවලට අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දෙනු ලැබ ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයින් අතර සිදුවන සියලු ම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව මහ බැංකුව එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

තහනම් ගනුදෙනු මොනවා ද?

මහ බැංකුවේ නිවේදනයට අනුව, ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල්වලට පරිවර්තනය කරමින්, විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් (හර හෝ බැර කාඩ්පත්) මගින් සිදු කරන ගෙවීම් ද ඇතුළුව, දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම්, විදේශ විනිමය ගිණුමකට බැර කරවා ගැනීම සඳහා දේශීය වෙළෙඳුන් හට අවසර හිමි නොවේ.

ඒ අනුව, මහ බැංකුවේ අවසරයකින් තොරව, ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකු මෙරට වෙළෙඳ ආයතනයක් වෙත විදේශ මුදලින් ගෙවීම් සිදු කිරීම හෝ ඕනෑ ම වෙළෙඳ ආයතනයක් භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුගෙන් විදේශ මුදලින් ගෙවීම් ලබා ගැනීම, ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වරදක් වේ.

ලැබිය හැකි දඬුවම් මොනවා ද?

මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියාවක නිරතවන තැනැත්තෙකුට මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන නඩු විභාගයකින් අනතුරුව වරදකරුවෙකු වුවහොත් රුපියල් මිලියන විසි පහකට නොවැඩි දඩයක්; හෝ වසර තුනකට නොවැඩි කාලයක් සඳහා (බරපතළ හෝ ලිහිල්) සිර දඬුවමක්; හෝ මෙම දඩය සහ සිර දඩුවම යන දඬුවම් දෙක ම ලැබිය හැකි බව ය.

ඒ හේතුවෙන්, දැඩි නීතිමය ක්‍රියා මාර්ගවලට භාජනය වීම වැළැක්වීම සඳහා, මෙම නීතිමය අවශ්‍යතාවලට "දැඩි ලෙස" අනුගත වන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.