ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිටුපස කතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම අහෝසි කරමින් පසුගිය සැප්තැම්බර් 25 වන දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරිණි.
එම ගැසට් පත්‍රයට අත්සන් තබා තිබුණේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ ය.
ඒ අනුව, මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට, වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් නොගෙවනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පසුගිය සැප්තැම්බර් මස 11 වන දා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වේ.
කලින් පැවති ක්‍රමය යළිත්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් මෙවර අහෝසි කරන ලද්දේ, පළමු වරට නොවේ.
මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වන දා සිට අහෝසි කර තිබිණි.
කෙසේ වෙතත්, පසුව යළිත් 2015 වසරේ ජනවාරි මස පළමු වන දා සිට යළිත් විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්ට ද, 2015 ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මාසික විශ්‍රාම වැටුපක් හිමි විය.
වැටුපෙන් 74%ක්
මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප් ලෙස ගෙවීමට නියම කර තිබුණේ, අවසන් වරට ගෙවන ලද වැටුපෙන් 74%ක මුදලකි.
අධිපතිවරුන් සේවය කළ වසර ගණන නොසලකා අදාළ මුදල ගෙවීමට එමගින් හිමිකම් ලබා දී තිබිණි.
විශ්‍රාම වැටුප් අහිමි වන්නේ කාට ද?
නව ගැසට් නිවේදනයට අනුව 2024 සැප්තැම්බර් 11 වන දාට පසු කිසිදු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය එච්.කේ.ජේ. ඒකනායක ප්‍රකාශ කළේ, නව ගැසට් පත්‍රය අනුව වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට ද විශ්‍රාම වැටුපක් හිමි නොවන බව ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා හැර සෙසු සේවකයින්ට විශ්‍රාම වැටුප් හිමි වේ.
හදිසියේ ගත් තීරණයක් ද?
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම හදිසියේ ගත් තීරණයක් නොවන බව සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය එච්.කේ.ජේ. ඒකනායක සඳහන් කළා ය.
එම තීරණය ගනු ලැබ ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසිනි.
“ඒක කලකට කලින් පාලක මණ්ඩලය ගත්ත තීරණයක්. හදිසි තීරණයක් නෙවෙයි,” ආචාර්ය එච්.කේ.ජේ. ඒකනායක තහවුරු කළා ය.
මහ බැංකු අධිපතිවරයෙකුගේ සේවා කාලය
ශ්‍රී ලංකා මහ බැංකුවට අධිපතිවරුන් පත් කරනු ලබන්නේ, වසර 6ක සේවා කාලයක් සඳහා ය.
තවත් වසර 6ක් දක්වා සේවා දිගුවක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය එච්.කේ.ජේ. ඒකනායක පැවසීය.
කෙසේ වෙතත්, ඇය සඳහන් කළේ, වසර 12කට වඩා වැඩි කාලයක් අධිපති ධූරයේ සේවය කළ නොහැකි බව ය.














