බංග්ලාදේශ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ තරීක් රහ්මාන්ට වෙනසක් ගෙන ඒමට හැකි ද?

Bangladesh Nationalist Party (BNP) chairman Tarique Rahman gestures during an election campaign rally, ahead of the national election at Pallabi, in Dhaka, Bangladesh, February 8, 2026.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, යෝගිතා ලිමායේ
    • Role, දකුණු ආසියානු සහ ඇෆ්ගනිස්ථාන වාර්තාකාරිනී
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මීට වසර දෙකකට පමණ පෙර, වංචාසහගත ලෙස පැවති බවට බොහෝ දෙනෙකු හෙළා දකින ලද මැතිවරණයකින් ෂෙයික් හසීනා ජයගත් අවස්ථාවේ, වසර 15ක් පුරා පැවති ඇගේ බලය හදිසියේ බිඳ වැටෙනු ඇතැයි හෝ දේශපාලනික වශයෙන් පසුබෑමට ලක්ව සිටි ප්‍රතිවාදී පක්ෂයක් මෙතරම් ප්‍රබල ලෙස නැවත නැගී සිටිනු ඇතැයි යන්න සිතීම දුෂ්කර විය.

නමුත් බංග්ලාදේශ දේශපාලන චක්‍රය තුළ, මෙය දශක ගණනාවක් තිස්සේ මාරුවෙන් මාරුවට බලය අල්ලාගෙන සිටින හසීනාගේ අවාමි ලීගය සහ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) අතර වන තවත් බල මාරුවක් බවට පත් වී තිබේ.

ඒ හැරුණු විට, මෙය නව BNP නායක තරීක් රහ්මාන් පක්ෂයට නිල වශයෙන් නායකත්වය දෙන පළමු අවස්ථාව වන අතර ඔහු මැතිවරණයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාව ද වේ.

පසුගිය වසරේ අගභාගයේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගිය ඔහුගේ මව ඛලීඩා සියා, දශක හතරක් පුරා පක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා ය. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නිර්මාතෘ සහ බංග්ලාදේශ නිදහස් යුද්ධයේ ප්‍රධාන නායකයෙකු වූ ඔහුගේ පියා වන සියාඋර් රහ්මාන් ඝාතනය කිරීමෙන් පසු ඇය බලයට පත් වූවා ය.

තම මව බලයේ සිටියදී ඥාති සංග්‍රහයෙන් වාසි ලබා ගත් බවට චෝදනා ලැබ සිටින තරීක් රහ්මාන්ට දූෂණ චෝදනා ද එල්ල වී තිබේ. රටින් පිටුවහල්ව වසර 17ක කාලයක් ලන්ඩනයේ සිටි ඔහු මව මිය යාමට දින පහකට පෙර බංග්ලාදේශයට ආපසු පැමිණියේ ය.

60 හැවිරිදි රහ්මාන්, ඔහුගේ මව සිරගත කරන ලද අවස්ථාවේ සහ මෑතකදී ඇය අසනීප වූ අවස්ථාවේ දුර්වලව පැවති BNPයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇතත්, ඔහු බොහෝ දුරට පරීක්ෂාවට ලක් නොවූ නායකයෙකු ලෙස සැලකේ.

"ඔහුට පෙර අත්දැකීම් නොමැති වීම ඔහුට වාසියක්, මොකද මිනිස්සු වෙනසකට අවස්ථාවක් දෙන්න කැමැත්තෙන් ඉන්නවා," දේශපාලන විද්‍යාඥ නවින් මුර්ෂිඩ් පවසයි. "ඔවුන් සිතන්නේ අලුත්, හොඳ දේවල් ඇත්තට ම කළ හැකියි කියලා. ඒ නිසා ගොඩක් බලාපොරොත්තු තියෙනවා."

Bangladesh's former Prime Minister Sheikh Hasina inspects the guard of honour during a visit to Thailand in 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බංග්ලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙන ඒම තම පළමු ප්‍රමුඛතාව බව පක්ෂය පවසයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"පසුගිය දශකය තුළ විනාශ වුණු සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන [සහ] මූල්‍ය ආයතන, අපි මුලින් ම ඒවා යථා තත්ත්වයට පත් කළ යුතුයි," මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් ටික කලකට පසු BNP ජ්‍යෙෂ්ඨ නායක අමීර් ඛස්රු මහමුද් චෞද්‍රි බීබීසීයට පැවසීය.

බංග්ලාදේශයට එවැනි පොරොන්දු ලබා දීම සහ කඩ කිරීම පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අතර, පක්ෂ බලයට පත්වීමෙන් පසු වැඩි වැඩියෙන් ඒකාධිපති බවට පත්වේ.

නමුත් මෙවර, හසීනා බලයෙන් පහ කළ 2024 "ජූලි නැගිටීමට" දායක වූ රටේ තරුණ පරපුර, ඒ හා සමාන දෑ යළි පිළිගැනීමට වැඩි කැමැත්තක් නොදක්වන බව පෙනේ.

"අපිට ආයෙත් සටන් කරන්න ඕන නෑ," ශිෂ්‍ය නැගිටීමට සහභාගී වූ 19 හැවිරිදි තසින් අහමඩ් පවසයි.

"කලින් අගමැති ඉවත් වීම ජයග්‍රහණය නෙවෙයි. අපේ රට කිසි ම දූෂණයකින් තොරව සුමටව ඉදිරියට යන දවසක් තමයි අපේ ප්‍රධාන ජයග්‍රහණය වෙන්නේ."

21 හැවිරිදි ඇගේ ඥාති සොහොයුරිය වන තමීනා තස්නිම් මෙසේ පවසයි: "අපට අවශ්‍ය පළමු දේ ජනතාව අතර සමගිය. ස්ථාවර රටක් සහ ස්ථාවර ආර්ථිකයක් සඳහා අපට අයිතියක් තිබෙනවා. අපි නැගිටීමක කොටසක් වුණා වගේ ම ආපහු සටන් කරන්නේ කොහොම ද කියලත් අපි දන්නවා. ඒ නිසා, ආයෙත් එක ම දේවල් සිද්ධ වුණොත්, අපිට ආයෙත් ඒක කරන්න අයිතියක් තියෙනවා."

A couple of young women in Bangladesh smile and give the thumbs up sign

ඡායාරූප මූලාශ්‍රය, Sanjay Ganguly/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ඥාති සොහොයුරියන් වන 21 හැවිරිදි තමීනා තස්නිම් සහ 19 හැවිරිදි තසින් අහමඩ් සිසු විරෝධතාවලට සහභාගී වූ අතර පළමු වරට ඡන්දය භාවිත කළේ මෙම මැතිවරණයේදී ය

හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු, බංග්ලාදේශයේ අන්තර්කාලීන නායකතත්වයට පත්වූ මොහොමඩ් යූනුස්ගේ ධුර කාලය තුළ සැලකිය යුතු ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා බහුල විය.

නීතිය හා සාමය තම ප්‍රතිස්ථාපනය නව රජයට ප්‍රධාන ප්‍රමුඛතාවක් විය යුතු ය. ආර්ථිකය පුනර්ජීවනය කිරීම, ආහාර මිල අඩු කිරීම සහ බංග්ලාදේශයේ තරුණ ජනගහනය සඳහා රැකියා උත්පාදනය කිරීම අනෙකුත් දැවැන්ත අභියෝග වේ.

රජයක් පවත්වාගෙන යාමේ අත්දැකීම් නොමැතිකම සියලු පක්ෂවලට බලපාන බව සමාජ විද්‍යාඥ සමීනා ලුත්ෆා පවසයි.

හසීනාගේ පාලන කාලය ඇතුළුව බංග්ලාදේශ ඉතිහාසයේ දෙවරක් තහනම් කෙරුණු ඉස්ලාමීය ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂය, සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් දිනාගත් පළමු අවස්ථාවයි.

එහි හවුල්කාර පක්ෂය වන මහජන නැගිටීමට නායකත්වය දුන් සිසුන් කිහිප දෙනෙකු විසින් පිහිටුවන ලද ජාතික පුරවැසි පක්ෂය (NCP), එහි මංගල මැතිවරණයේදී ආසන හයක් දිනා ඇත.

"මීට පෙර කවදාවත් පාර්ලිමේන්තුවට නොගිය නායකයින් අපි පාර්ලිමේන්තුවේ දකින්න යනවා," ලුත්ෆා පවසයි.

"එන්සීපී තරුණයින්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තියෙනවා. අනෙක් අය පළපුරුදු දේශපාලනඥයන් වුණත් ඔවුන්ට රට පාලනය කිරීමේ අත්දැකීම් නැහැ. ඒ නිසා ඒක දුෂ්කර කාර්යයක් වේවි."

A mother and daughter smile on voting day. The daughter gives a thumbs up sign

ඡායාරූප මූලාශ්‍රය, Aakriti Thapar/BBC

ජමාත්හි ප්‍රතිපත්ති ප්‍රකාශනය ආගම පදනම් කර නොගත් හා සංවර්ධනය කේන්ද්‍ර කරගත් එකක් වූ අතර ඉස්ලාමීය නීතිය ගැන කිසිදු සඳහනක් නොකළේ ය.

නමුත් එහි වෙබ් අඩවියේ මෙසේ සඳහන් විය: "දේශපාලන බලය නොමැතිව ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බැවින් ජමාත් දේශපාලන පිටියේ තරග කරයි", එය කවදා හෝ බලයට පත් වුවහොත් පක්ෂය කුමක් කරනු ඇතැයි ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කිරීමට හේතු වී තිබේ.

මෙම මැතිවරණයේදී ජමාත් පක්ෂයේ ක්‍රියාකාරිත්වය පුදුමයට කරුණක් නොවන බව මුර්ෂිඩ් පවසයි.

"ජමාත් කියන්නේ ඉතා සංවිධානාත්මක දේශපාලන පක්ෂයක්. පසුගිය දශක කිහිපය තුළ ඔවුන් බිම් මට්ටමේදී නොනවත්වා වැඩ කරලා තියෙනවා," ඇය පවසයි.

"මම හිතන්නේ ඒක පිළිගත යුතුයි, නමුත් ඇත්ත වශයෙන් ම ගැටලුසහගත කොටස තමයි ඔවුන් ස්වභාවයෙන් ම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ස්ත්‍රී විරෝධී සහ පීතෘමූලික වීම."

ලුත්ෆා පවසන්නේ සියලු ම පක්ෂ බංග්ලාදේශයේ කාන්තාවන් කලකිරීමට පත් කර ඇති බවයි. අපේක්ෂකයින්ගෙන් කාන්තාවන් සිටියේ 4%කට වැඩි ගණනකි.

"ජූලි නැගිටීමේ කොටස්කරුවන් වුණේ අපි කාන්තාවන් - ඒත් සියලු ම දේශපාලන පක්ෂ අසමත් වෙලා තියෙනවා ඒ සහභාගීත්වය සැබෑ දේශපාලන නියෝජනයක් බවට පත් කරන්න," ඇය පවසයි.

"පාර්ලිමේන්තුව තුළ කාන්තාවන් සඳහා වෙන් කර ඇති ආසන සඳහා දක්ෂ, අවංක සහ සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට හැකි වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් ඉක්මනින් කටයුතු කළ යුතුයි."

A man carries a ballot box above his head amid a crowd of people in Bangladesh

ඡායාරූප මූලාශ්‍රය, Aakriti Thapar/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වීමට පෙර ප්‍රතිඵලය දැන නොසිටි මැතිවරණ කිහිපයකින් පළමුවැන්න මෙයයි

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350න් 300ක් සඳහා මැතිවරණයෙන් සාමාජිකයින් තෝරා පත් කර ගන්නා අතර සෙසු ආසන 50 සඳහා දේශපාලන පක්ෂ කාන්තාවන් නම් කරන අතර, එක් එක් පක්ෂයට ලැබෙන ආසන ගණන රඳා පවතින්නේ එම පක්ෂය මැතිවරණයේදී කෙතරම් හොඳින් තරග කළේ ද යන්න මත ය.

හසීනා යටතේ පැවති පසුගිය මැතිවරණ කිහිපයට වඩා මෙම මැතිවරණය හාත්පසින් ම වෙනස් වූ අතර - එය සැබවින් ම තරගකාරී විය. ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ප්‍රතිඵලය දැන සිටියේ නැත. ඇගේ පක්ෂයට මැතිවරණය සඳහා අවසර නොලැබීම මැතිවරණයේ එහි විශ්වසනීයත්වය ගැන සැකයක් නිර්මාණය කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇති කිරීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රකාශ සැලකිල්ලට ගෙන, අවාමි ලීගය නැවත දේශපාලන රාමුවට ගෙන ඒමට සහය දක්වන්නේ දැයි විමසූ විට, BNP ජ්‍යෙෂ්ඨ නායක චෞද්‍රි මෙසේ පැවසීය: "එය තීරණය කිරීම අපට අයිති දෙයක් නෙවෙයි.

"අවාමි ලීගය බංග්ලාදේශයේ මැතිවරණ ක්‍රියාවලියට නැවත පැමිණීමට නම්, ඔවුන්ගේ විශ්වසනීයත්වය ප්‍රශ්නාර්ථයක් වන නිසා, ඒකට යම් කාලයක් ගත වේවි. ඔබේ ම ජනතාව ඝාතනය කිරීම, කෲරකම් කිරීම, පීඩා කිරීම සම්බන්ධයෙන් ඔබට චෝදනා එල්ල වුණා ම, අනාගතයේ බංග්ලාදේශ දේශපාලනයේ ඔවුන් ගැලපෙන්නේ කොතැනට ද යන්න ජනතාව තීරණය කරාවි."

රටින් පිටුවහල්ව ඉන්දියාවේ සිටින හසීනා පෙබරවාරි 12 පැවති මැතිවරණය "වංචාසහගත සහ විහිළුසහගත මැතිවරණයක්" ලෙස හැඳින්වූ අතර අවාමි ලීගයට සහභාගී වීමට අවසර දී ඇති නව මැතිවරණයක් ඉල්ලා තිබේ.

මේ මොහොතේ, ඇගේ පක්ෂයට එරෙහි මහජන කෝපය දැඩි ය. නමුත් බංග්ලාදේශ දේශපාලන ඉතිහාසය දෙස බලන විට, අවාමි ලීගය කිසිදා යථා තත්ත්වයට පත් නොවනු ඇතැයි කීමට තවමත් කල් වැඩි ය.

අතිරේක වාර්තාකරණය ආක්‍රිතී තාපර් විසිනි