ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබේ ජීවිතයේ විවිධ අවධීන්වලදී ඔබ ආහාරයට ගත යුතු වන්නේ මොනවා ද?
- Author, ජෙසිකා බ්‍රැඩ්ලි
- Role, BBC Future
දෙවන ලෝක යුද්ධ සමයේදී, බ්‍රිතාන්‍ය රජය එරට පවුල්වලට සතිපතා දීමනාවක් ලෙස සලාක ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේ ය. රට පුරා ආහාර සමානව බෙදා හැරිය හැකි බව සහතික කරන අතර ම, ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට උපකාර කිරීම මෙහි අදහස විය.
සීනි, එම සලාකයට ඇතුළත් වූ ආහාර ද්‍රව්‍යවලින් එකක් විය. සතියකට පැණි රස ද්‍රව්‍යවලින් අවුන්ස 8ක් (ග්‍රෑම් 227ක්) පමණ පුද්ගලයන්ට බෙදා හැරීමට අවසර ලබා දී තිබිණි. කෙසේ වෙතත්, අවුරුදු දෙකකට අඩු දරුවන්ට කිසිවක් වෙන් නොකිරීම බොහෝ දෙනාගේ නොසතුටට හේතු විය.
1953දී සීනි සලාකය අවසන් වූ විට, වැඩිහිටියන්ගේ සාමාන්‍ය සීනි පරිභෝජනය දෙගුණ විය. ඒ කාලයේදී, මෙය පසුව විද්‍යාඥයින්ට මුල් සීනි පරිභෝජනයෙන් අපගේ සෞඛ්‍යයට සිදුවන බලපෑම් හඳුනා ගැනීමට වටිනා අවස්ථාවක් ලබා දෙන බව ජනතාව තේරුම් ගත්තේ නැත.
2025දී පළ වූ පර්යේෂණ පත්‍රිකාවක, ගෝලීය පර්යේෂකයන් කණ්ඩායමක් 1951 සිට 1956 දක්වා සීනි සලාකය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වූ කාලය තුළ එක්සත් රාජධානියේ උපත ලැබූ පුද්ගලයින් 63,000කගේ වෛද්‍ය වාර්තා විශ්ලේෂණය කළහ.
එහිදී ඔවුන් සොයා ගත්තේ, සලාක ක්‍රමය අවසන් වූ පසු රසකැවිලි පරිභෝජනය කිරීමට අවසර හිමි වූ දරුවන්ට සාපේක්ෂව ගර්භාෂය තුළ කළල අවස්ථාවේ සිටියදී සහ ජීවිතයේ පළමු දින 1,000 තුළ සීනි සඳහා අඩු වශයෙන් නිරාවරණය වූ දරුවන්ට පසුකාලීන ජීවිතයේදී හෘදවාහිනී රෝග ඇති වීමේ සම්භාවිතාව 20%කින් අඩු බව මෙන් ම, හෘදයාබාධ ඇති වීමේ සම්භාවිතාව 25%කින් අඩු බව සහ ආඝාතය ඇතිවීමේ සම්භාවිතාව 31%කින් අඩු බව ය.
සීනි පරිභෝජනය සහ සෞඛ්‍යය අතර මෙම ශක්තිමත් සම්බන්ධතාව අප ඉපදුණු පසු අඛණ්ඩව පවතින බව දැන ගැනීම පුදුමයක් නොවේ. සරලව කිවහොත්, අප කුමන වයස් සීමාවක පසුවුව ද ප්‍රමාණය ඉක්මවා පැණි රස සීනි සහිත කෙටි ආහාර අනුභව කිරීම අපට නුසුදුසු ය.
නමුත් වෙනත් ආහාර වර්ග සම්බන්ධයෙන් ගත් කල පෝෂණ ප්‍රතිලාභ රඳා පවතින්නේ ඔබ ජීවිතයේ කුමන අවධියක පසුවන්නේ ද යන කරුණ මත ය. උදාහරණයක් ලෙස කුඩා දරුවන්ට සහ ළදරුවන්ට කිරි නිෂ්පාදන සහ සම්පූර්ණ කිරිවල අඩංගු මේද යහමින් අවශ්‍ය වන නමුත් එවැනි ආහාර වේලක් අවුරුදු 20 සහ 30 වයස් සීමාවල පසුවන පුද්ගලයෙකුට සෞඛ්‍ය සම්පන්න නොවේ.
එක්සත් රාජධානියේ ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි සේවය කරන ෆෙඩ්රිකා අමාටි නමැති පෝෂණවේදිනියට අනුව දරුවන්ගේ ඉහළ ශක්ති ඉල්ලුම යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන්ට පෝෂ්‍ය පදාර්ථවලින් පිරුණු ආහාර වේලක් අවශ්‍ය වීම යි.
"ළමා කාලයේදී, ආහාර කියලා කියන්නේ ශරීරය සහ මොළය ගොඩනගන දෙයකට," අමාටි පවසයි. සෞඛ්‍ය සම්පන්න කැලරිවලට අමතරව, ප්‍රතිශක්තිය, මොළයේ වර්ධනය සහ මාංශ පේශි වර්ධනය සඳහා දරුවන්ට යකඩ, අයඩින් සහ විවිධ වර්ගවල විටමින් අවශ්‍ය වේ.
මෙමගින් අදහස් කෙරෙන්නේ, පලතුරු සහ එළවළු, ධාන්‍ය, බෝංචි සහ පරිප්පු, ඇට වර්ග සහ බීජ ඇතුළු හොඳ තත්ත්වයේ මේද සහ අතිශයින් සැකසූ ආහාර අවම වශයෙන් ගත යුතු බව ය.
"පිළිසිඳ ගැනීමේ සිට පළමු දින 1,000 දක්වා සහ පාසල් යන වයස් සීමාව දක්වා, දරුවන් වේගයෙන් වර්ධනය වෙනවා, ඔවුන්ගේ අස්ථිවල බරින් වැඩි ප්‍රමාණයක් මෙම කාලයේදී තමයි වර්ධනය වෙන්නේ," අමාටි පවසයි.
"ඒ නිසා තමයි මේ අවධියේදී කැල්සියම් සහ විටමින් ඩී ප්‍රමුඛ පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වන්නේ, ඒවා සාමාන්‍ය අස්ථි වර්ධනයට සහ සෞඛ්‍ය සම්පන්න උච්ච අස්ථි ඝනත්වය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන අතර එමගින් ජීවිතයේ පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් සහ අස්ථි බිඳීම් ඇති වීමේ අවදානම අඩු කරනවා."
ප්‍රායෝගිකව, අමාටි පැහැදිලි කරන්නේ, එහි අදහස කිරි, යෝගට්, චීස් හෝ වැඩිදියුණු කළ ශාකමය පාන වර්ග වැනි ආහාරවලින් නිතිපතා කැල්සියම් ලබා ගැනීම සහ හිරු එළියෙන් සහ මාළු හා බිත්තර වැනි ආහාර වලින් විටමින් D ලබා ගැනීම බව ය.
ළමා වියේදී නිසි ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් ජීවිතයේ පසුකාලීනව සෞඛ්‍යයට ලැබෙන වාසි පිළිබඳ පැහැදිලි සාක්ෂි පවතී. 2023දී කළ අධ්‍යයනයකදී, පර්යේෂකයින් ළමයින්ගේ ආහාර රටාවන් අධ්‍යයනය කර ඒවා ළමා වියේදී සහ තරුණ වියේදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සමග සසඳා බැලී ය. එහිදී ඔවුන් අනාවරණය කර ගනු ලැබුවේ අවුරුදු හතක වයස් සීමාවේ පසුවන දරුවන් අතරින් එක්සත් රාජධානියේ Eatwell Guide මගින් නිර්දේශ කරන ආහාර මාර්ගෝපදේශ තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පිළිපදින්නා වූ දරුවන්ට, එම නිර්දේශ කිසිවක් ම නොපිළිපදින දරුවන්ට සාපේක්ෂව, අවුරුදු 24 වන විට හෘද රෝග ඇති වීමේ අවදානම අඩු බව ය.
නව යොවුන් වියේ පසුවන්නන් සහ අවුරුදු 20 සීමාවේ පසුවන්නන්
ළමා විය වැදගත් වුව ද නව යොවුන් විය සහ අවුරුදු 20 සීමාවේදී අප ගන්නා ආහාර ද අපගේ අනාගත සෞඛ්‍යයට මූලික පදනමක් සකස් කරයි. අමාටි පවසන්නේ ජීවිතයේ එම අවධියේදී අපගේ අස්ථි සහ මාංශ පේශී සම්පූර්ණයෙන් වර්ධනය වීම අවසන් වන අතර, අධ්‍යාපනය, රැකියාව සහ සමාජ කටයුතු සඳහා වැඩි කාලයක් වැය කිරීම ආරම්භ කරන බැවින් මෙම මේ සියල්ල ම පෝෂක අවශ්‍යතා වැඩි කරන බව ය.
"නව යොවුන් විය සහ පූර්ව වැඩිහිටි සමය පෝෂණය සඳහා තවත් විශාල අවස්ථාවක්," අමාටි පවසයි.
"අවුරුදු 20 වයස් සීමාවේදී වර්ධනය මන්දගාමී වෙනවා, නමුත් ඒක ජීවිතයේ පශ්චාත් සමයේදී හදවත සහ මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කරන පුරුදු ඇති කර ගැනීම සඳහා තීරණාත්මක දශකයක්. රෝග ලක්ෂණ බොහෝ කලකට පසුව මතු වුණත්, හෘදවාහිනී රෝග සඳහා බොහෝවිට අඩිතාලම වැටෙන්නේ මෙම වයස් කාණ්ඩය තුළ කියලා අපට පෙනෙන්නට තියෙනවා."
නව යොවුන් වියේදී, විශේෂයෙන් ඔසප් වීම සිදුවන අයට, පසුකාලීන වැඩිහිටිභාවයට සාපේක්ෂව, කැල්සියම්, විටමින් D, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ප්‍රෝටීන් සහ බී විටමින් ද වැඩි ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය බව අමාටි පවසයි.
එසේනම් මෙම ආහාර වේල කුමන ආකාරයෙන් ලබා ගත යුතු ද? අමාටි පවසන්නේ නව යොවුන් වියේ පසුවන්නන් සහ පූර්ව වැඩිහිටි සමයේ සිටින පුද්ගලයින් ප්‍රධාන වශයෙන් ශාකමය ආහාරවලින් සමන්විත ආහාර රටාවක් අනුගමනය කළ යුතු බව ය. ඔවුන් අධිසැකසුම් ආහාරවලින් වැළකී සිටිය යුතු ය. එනම්, පලතුරු, එළවළු, ධාන්‍ය, බෝංචි, ඇට වර්ග, පරිප්පු සහ බීජ බහුලව ආහාරයට ගැනීම වැදගත් වේ. සෑම ආහාර වේලක ම ප්‍රමාණවත් ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වීම ද වැදගත් වන අතර, එය ශාකමය ආහාරවලින් ද ලබාගත හැකි බව ඇය පවසයි.
අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, එවැනි ආහාර වේලක් අනුගමනය කිරීම හුදෙක් ශරීරයට පමණක් නොව මානසික සෞඛ්‍යයට ද ප්‍රයෝජනවත් බවයි.
"නව යොවුන් වියේදී අනුගමනය කරන ආහාර රටා මානසික සෞඛ්‍ය අවදානමට බලපෑම් කළ හැකි බවට තිබෙන සාක්ෂි වැඩි වෙමින් තියෙනවා. අතිශයින් සැකසූ ආහාර බහුල සහ ශාක මත පදනම් වූ ආහාර අඩු ආහාර වේලක් ලබා ගැනීම මානසික අවපීඩනය සහ කාංසාව ඇතිවීමට වැඩි සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මධ්‍යස්ථ ආහාර රටාවක් පවත්වාගෙන යාම ආරක්ෂිත බව තමයි පෙනෙන්නට තියෙන්නේ," අමාටි පවසයි.
මධ්‍යස්ථ ආහාර වේලකට එළවළු, රනිල කුලයට අයත් බෝග, ඇට වර්ග සහ ඔලිව් තෙල් බහුල විය යුතු අතර මාළු, කිරි නිෂ්පාදන සහ කුකුළු මස් කුඩා ප්‍රමාණයක් අන්තර්ගත විය යුතු ය.
මධ්‍යස්ථ ආහාර රටාව පවුලක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් සිටින පිරිමින් සහ කාන්තාවන්ට ද ප්‍රයෝජනවත් විය හැක. මෙය සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ 20, 30 සහ 40 යන වයස් කාණ්ඩවලදී සිදු වේ. අධ්‍යයන මගින් පෙන්වා දෙන්නේ මධ්‍යස්ථ ආහාර රටාව සරුභාවය සඳහා ධනාත්මක ලෙස බලපාන බව සහ සංතෘප්ත මේදය, මස් සහ සුදු කාබෝහයිඩ්‍රේට් වැඩි වශයෙන් අඩංගු බටහිර ආහාර රටාව කාන්තා සහ පුරුෂ දෙපාර්ශවයේ ම වඳභාවය සමග සම්බන්ධ වී ඇති බව ය.
කාන්තාවන් සඳහා, ෆෝලේට් බහුල ආහාර වේලක් සරුභාවයට ප්‍රතිකාර කිරීමට උපකාරී වන බව අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ. ෆෝලේට් බහුල ආහාර අතරට, තද කොළ පැහැති කොළ වර්ග, මුං බීජ, බ්‍රොකොලි සහ කඩල ඇතුළත් වේ.
මැදි විය
එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මානව පෝෂණය පිළිබඳ මහාචාර්ය එලිසබෙත් විලියම්ස් පවසන පරිදි, මැදිවියේදී, පසුකාලීන වසරවලදී යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා අපගේ ආහාර වේල වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
"අස්ථි ඝනත්වය වේගයෙන් අඩුවීම, සාර්කෝපීනියා [වයසට අනුව මාංශ පේශි අහිමි වීම] සහ ඔස්ටියෝපොරෝසිස් ඇති වන විට, ආර්තවහරණය සිදුවන වයසේදී කාන්තාවන්ට මෙය විශේෂයෙන් ම සත්‍යයක් වෙනවා," යැයි විලියම්ස් පවසයි.
ඔස්ටියෝපොරෝසිස් මෙන් ම, ආර්තවහරණය යනු තරබාරුකම, හෘද රෝග සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරන තත්ත්වයකි. ඊස්ට්‍රජන් සරු වයසේ සිටින කාන්තාවන්ගේ මධ්‍යම ස්නායු පද්ධතිය මත ක්‍රියා කර ආහාර රුචිය අඩු කරයි. එය ඉන්සියුලින් සංවේදීතාව සහ මාංශ පේශිවල ග්ලූකෝස් අවශෝෂණය ද වැඩි කරයි. කෙසේ වෙතත්, ආර්තවහරණයේදී ශරීරය තුළ ගලා යන ඊස්ට්‍රජන් ප්‍රමාණය අඩුවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස බර, අභ්‍යන්තර මේදය වැඩිවීමේ ප්‍රවණතාවක් පවතී.
කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කිරීමෙන් මෙම අවදානම සැලකිය යුතු ලෙස මගහරවා ගත හැකි ය. නිදසුනක් වශයෙන්, මෑත කාලීනව සිදු කළ ජනගහන අධ්‍යයනයකදී, පර්යේෂකයන් අවම වයස අවුරුදු 39ක් වූ එක්සත් ජනපද පිරිමින් සහ කාන්තාවන් 100,000කට වැඩි පිරිසකගේ ආහාර රටාවන් සහ සෞඛ්‍ය තත්ත්වය විශ්ලේෂණය කර ඇත.
පලතුරු, එළවළු, පූර්ණ ධාන්‍ය වර්ග, අසංතෘප්ත මේද, ඇට වර්ග, රනිල කුලයට අයත් බෝග සහ අඩු මේද සහිත කිරි නිෂ්පාදනවලින් පොහොසත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, නිරෝගීව වයසට යාම සමග දැඩි ලෙස සම්බන්ධ වී ඇති බව ඔවුහු සොයා ගත්හ. (එය නිදන්ගත රෝග නොමැතිව අවම වශයෙන් අවුරුදු 70ක් ජීවත් වීම සහ හොඳ මානසික, ශාරීරික සහ සංජානන සෞඛ්‍යයක් ලෙස අර්ථ දැක්වේ.)
"කාන්තාවන් ඔවුන්ගේ අවුරුදු 40 සහ 50 වගේ වයස් සීමාවලට ඇතුළත් වෙනකොට හෘද සෞඛ්‍යය සහ අස්ථි සහ මාංශ පේශි සෞඛ්‍යය වශයෙන් විශාල පෝෂණ ප්‍රමුඛතා දෙකක් මතු වෙනවා," අමාටි පවසයි. "ආර්තවහරණයට මාරුවීම හෘද රෝග අවදානම සැලකිය යුතු ලෙස වැඩි කිරීමට සම්බන්ධ සම්බන්ධයි. මොක ද ඊස්ට්‍රජන් මට්ටම පහත වැටීම රුධිර මේද, රුධිර නාල සහ ශරීරයේ මේදය බෙදා හරින ආකාරය කෙරෙහි බලපාන නිසා."
විශේෂයෙන් මැකරල් සහ සැමන් වැනි තෙල් සහිත මාළුවල ඇති ඔමෙගා 3 මේද හෘද රෝග සඳහා පවතින අවදානම් සාධක අඩු කරන අතර, ඒවා තුළ ප්‍රදාහ නාශක බලපෑම් ද අන්තර්ගත බව අමාටි පවසයි.
මේ අතර, මාංශ පේශිවල බර නැතිවීමේ බලපෑම්වලට එරෙහිව ප්‍රෝටීන් පරිභෝජනය සුළු වශයෙන් වැඩි කිරීම සහ වඩාත් යහපත් හෘද පරිවෘත්තීය සෞඛ්‍යය තත්වයක් පවත්වා ගෙන යාම සඳහා මධ්‍යස්ථ රටාවකින් යුත් ආහාර වේලක් ලබා ගැනීම ආහාර ජීරණ පද්ධතියේ සහ මානසික සෞඛ්‍යය ද වඩාත් සුදුසු විය හැකි ය.
අවසාන වශයෙන් ඇය පවසන්නේ, අතිශයින් සැකසූ ආහාර පරිභෝජනය අවම කරමින් හෘදය, අස්ථි සහ මොළයේ සෞඛ්‍යයට සහය වන පරිදි ප්‍රමාණවත් ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් D සහ ඔමේගා–3 අඩංගු, විවිධත්වයෙන් යුතු ශාකමය ආහාර අඩංගු මධ්‍යස්ථ ආහාර රටාවක් අනුගමනය කිරීම වැදගත් බව යි.
වියපත් ජීවිතය
අප වියපත්භාවයට පත්වන විට අපගේ ශරීර සංයුතිය වෙනස් වන අතර, අපගේ ශක්ති අවශ්‍යතා අඩු වේ. එබැවින් අප අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතු ය. කෙසේ වෙතත්, අස්ථි සහ මාංශ පේශි ශක්තිමත්ව පවත්වා ගැනීමට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ලබා ගත යුතු ය.
විලියම්ස් පවසන පරිදි වයස්ගත වන විට අප වැඩි අවධානය යොමු කළ යුතු ප්‍රධාන පෝෂක දෙක වන්නේ කැල්සියම් සහ විටමින් D ය. කැල්සියම් හෝ විටමින් D ප්‍රමාණවත් ලෙස නොලැබෙන වැඩිහිටි පුද්ගලයන්ට ඔස්ටියෝපොරෝසීස් සහ පහසුවෙන් අස්ථි බිඳීම් ඇතිවීමේ අවදානම වැඩි වේ. කිරි, විකල්ප පාන වර්ග, චීස්, යෝගට්, සාඩින්, ටෝෆු සහ නිවිති වැනි ආහාරවල කැල්සියම් අන්තර්ගත වේ. තෙල් සහිත මාලු වර්ග, බිත්තර කහ පැහැති කොටසේ සහ ශක්තිජනක ආහාරවල විටමින් D බහුලව ඇත.
අප වයස්ගත වන විට ප්‍රමාණවත් ගුණාත්මක ප්‍රෝටීන් අනුභව කිරීම ද ඉතා වැදගත් බව එක්සත් රාජධානියේ බෝර්න්මූත් විශ්වවිද්‍යාලයේ වයස්ගත වීම සහ ඩිමෙන්ෂියා පර්යේෂණ මධ්‍යස්ථානයේ සම ප්‍රධානී සහ ආහාරවේදිනී ජේන් මර්ෆි පවසයි.
"අපි වයසට යද්දි, අපගේ ස්වරූපය සහ ක්‍රියාකාරිත්වය පිරිහෙනවා, අපට මාංශ පේශි ප්‍රමාණය සහ ඒවායේ ශක්තිය නැතිවෙලා යනවා, ඒක නිසා අපට සාර්කොපීනියා තත්ත්වය ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වනවා," ඇය පවසයි.
නමුත් අපගේ ශරීරයට එය නිසි ලෙස භාවිත කරන බව තහවුරු කිරීම සඳහා, ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට්, හොඳ තත්ත්වයේ මේද (ඔලිව් තෙල්, අලිගැට පේර, ඇට වර්ග සහ තෙල් සහිත මාළු ඇතුළු අසංතෘප්ත මේද වැනි) සහ විටමින් සහ ඛනිජ ලවණ ඇතුළත් සමබර ආහාර වේලක් ලබා ගත යුතු බව මර්ෆි තවදුරටත් පවසයි.
අපි වයසට යත් ම, අපගේ ශරීරයේ ක්ෂුද්‍රජීව ගහණය ද වෙනස් වේ. මෙය ප්‍රධාන වශයෙන් සිදු වන්නේ ෆර්මිකියුටීස් සහ බයිෆිඩෝබැක්ටීරියම් වැනි ප්‍රයෝජනවත් බැක්ටීරියා අඩුවීමත්, ක්ලොස්ට්‍රිඩියම් වැනි සෞඛ්‍යයට හානිකර විය හැකි බැක්ටීරියා වැඩිවීමත් සමග ය. මෙම අසමතුලිතතාවය ඇල්සයිමර්ස් රෝගය, ආඝාතය සහ හෘද රෝග වැනි සෞඛ්‍ය තත්ත්ව කිහිපයක් සමග සම්බන්ධ වී ඇත.
විවිධ රෝග ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ආන්ත්‍රික ක්ෂුද්‍රජීවී පද්ධතියේ භූමිකාව ගැන පර්යේෂකයින් තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නැති වුව ද, වයස අවුරුදු 100 සම්පූර්ණ වූ පුද්ගලයින්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකි බව, එක්සත් රාජධානියේ ලන්ඩනයේ පිහිටි කිංග්ස් විද්‍යාලයේ වයෝවෘද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සායනික කථිකාචාර්ය මේරි නිලොක්ලේන් පවසයි.
"වයස අවුරුදු 100 දක්වා ජීවත් වන පුද්ගලයින් අනෙක් පුද්ගලයින්ට පොදු, වයස්ගත වීමේ තවත් බොහෝ අංග ප්‍රතික්ෂේප කරන බව පේන්න තියෙනවා," නී ලොක්ලේන් පවසයි. "ඔවුන්ට අනෙක් වැඩිහිටි පුද්ගලයන්ට වඩා වෙනස් ලෙස පෙනෙන, විවිධත්වයෙන් යුතු ක්ෂුද්‍රජීවී පද්ධතියක් තිබෙනවා."
සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්න හෝ සෞඛ්‍ය සම්පන්න නොවන බඩවැල් බැක්ටීරියා යනුවෙන් පැහැදිලි අර්ථකථනයක් නැත. සෞඛ්‍යය තත්වය පවත්වා ගැනීම සඳහා එකිනෙකා සමග එකතු වී ක්‍රියා කරන ක්ෂුද්‍ර ජීවීන් අතර සමතුලිතතාවයක් පැවතීම වැදගත් ය. කෙසේ වෙතත්, සෞඛ්‍යයට ආරක්ෂිත බව පෙනෙන ෆිසලෝබැක්ටීරියම් ප්‍රවුස්නිට්සි වැනි නිශ්චිත බැක්ටීරියා විශේෂ කිහිපයක් හඳුනාගෙන ඇත.
නී ලොක්ලේන් පවසන පරිදි, සෞඛ්‍ය සම්පන්න ලෙස වයස්ගත වන පුද්ගලයන් අතර F. prausnitzii බැක්ටීරියාව පවතින සම්භාවිතාව වැඩි වන අතර එයට ආරක්ෂාකාරී සහ ධනාත්මක ගුණාංග ඇති බව තහවුරු කර තිබුණත්, එය නිශ්චිතව ම කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි වී නැත. ඔබගේ ආහාර ජීරණ පද්ධතිය තුළ F. prausnitzii වර්ධනය වීමට උත්තේජනය කිරීමට අවශ්‍ය නම්, තන්තු සහ පොලිෆීනෝල් බහුල, එනම් පලතුරු සහ එළවළු වැඩිපුර ඇතුළත් ආහාර රටාවක් අනුගමනය කිරීම හොඳ ම ක්‍රමය වේ.
සෞඛ්‍ය සම්පන්න බඩවැල් තිබීම මහලු වියට සම්බන්ධ සමහර පෝෂණ ඌණතා කළමනාකරණය කිරීමට ද උපකාරී වේ. මන්ද වැඩිහිටි පුද්ගලයින් තරුණ පුද්ගලයින්ට වඩා අඩු කාර්යක්ෂමව ආහාරවලින් විටමින් අවශෝෂණය කරන බැවිනි.
අධ්‍යයනවලින් පෙනී යන්නේ, නිරෝගී බඩවැල් බැක්ටීරියා මගින් පුද්ගලයෙකුගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් විටමින් B12 නිපදවිය හැකි බවත්, සමහර බැක්ටීරියා මගින් ෆෝලික් අම්ලය නිපදවිය හැකි බවත් ය. සෞඛ්‍ය සම්පන්න බඩවැල් ක්ෂුද්‍ර ජීවයක් මහලු වියේදී මාංශ පේශි අහිමි වීමේ සහ සාර්කොපීනියා අවදානම අඩු කිරීමට ද උපකාරී වේ.
අවසාන වශයෙන්, ඇතැම් ආහාර අතිරේක පසුකාලීන ජීවිතයේදී ප්‍රයෝජනවත් විය හැකි ය. නී ලොක්ලේන් විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී යන්නේ, හොඳ බැක්ටීරියා වර්ධනයට සහය වන ප්‍රීබයෝටික් අතිරේක මගින් සති 12ක් පුරා වැඩිහිටි වැඩිහිටියන්ගේ සිතීමේ හැකියාවන් වැඩිදියුණු කළ හැකි බව ය. මෙම ප්‍රීබයෝටික් අතරට තන්තු වර්ගයක් වන ඉනුලින් සහ ශාක සීනි වන ෆෲක්ටෝ-ඔලිගොසැකරයිඩ ඇතුළත් වේ. වෙනත් අධ්‍යයනවලින් පෙනී යන්නේ, වැඩිහිටි පුද්ගලයින්, විශේෂයෙන් රැකවරණ නිවාසවල ජීවත් වන අයට විටමින් D අතිරේකවලින් ද ප්‍රයෝජන ගත හැකි බව ය.