'ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ වර්ගවාදය විවේචනය' කරමින් උස්මාන් කවාජා ක්‍රිකට් පිටියට සමුදෙයි

උස්මාන් කවාජා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උස්මාන් කවාජා ටෙස්ට් ලකුණු 6,206ක් රැස් කර ඇති අතර එහි සාමාන්‍යය 43.39කි. ඊට ශතක 16 ක් ද ඇතුළත් ය.
    • Author, ස්ටෙෆාන් ෂෙමිල්ට්
    • Role, සිඩ්නිහි ප්‍රධාන ක්‍රිකට් වාර්තාකරු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළ ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා, තමන් තවමත් "වර්ගවාදයට" එරෙහිව පොරබදමින් සිටින බව පැවසීය.

39 හැවිරිදි ඔහු එළඹෙන ඉරිදා (ජනවාරි මස 04) සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිත එංගලන්තයට එරෙහි අළු බඳුන අවසන් තරගයේදී සිය 88 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති අතර, 2011 දී එංගලන්තයට එරෙහිව ඔහුගේ මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කළේ ද එම ක්‍රීඩාංගණයේදී ය.

පකිස්ථානයේ උපත ලැබූ කවාජා මීට වසර 15 කට පෙර එංගලන්තයේ 3-1ක තරගාවලි ජයග්‍රහණයේදී රිකී පොන්ටිං වෙනුවට ක්‍රීඩා කළ අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා බවට ද පත්විය.

"මම පකිස්ථානයෙන් ආව අඳුරු සමක් ඇති අභිමානවත් මුස්ලිම් කොල්ලෙක්. ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න මට කවදාවත් බැහැ කියල සමහර අය කිව්වා. දැන් මං දිහා බලන්න," යනුවෙන් ද ඔහු පැවසීය.

මෙම වමත් පිතිකරුවා බ්‍රහස්පතින්දා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගි වූ හැඟීම්බර මිනිත්තු 50ක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිය සමුගැනීම පිළිබඳව නිවේදනය කළේ ය.

තරගාවලියේ ආරම්භය ගැන සඳහන් කරමින්, පළමු ටෙස්ට් තරගයට පෙර දින තමන් ගොල්ෆ් ක්‍රීඩා කිරීමෙන් පසුව සහ ඉන් අනතුරුව පර්ත්හිදී කොන්දේ කැක්කුමක් ඇති වූ විට තමා විවේචනයට ලක්වූ බව කවාජා පැවසූ අතර, තමන්ට "වෙනස් ලෙස සලකනු ලැබූ" බව ද පැවසීය.

"මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් දැඩි ලෙස මට චෝදනා එල්ල කළා. මට ඒ චෝදනා දවස් දෙකක් දරාගන්න පුළුවන්, නමුත් මට දවස් 05ක් පුරාවට ඒ චෝදනා දරාගෙන ඉන්න සිද්ධ වුණා," ඔහු පැවසීය.

"මගේ සූදානම පිළිබඳව එල්ල කෙරුණ විවේචන ඉතා පෞද්ගලික බවක් දැනුණා. ඔවුන් මම ආත්මාර්ථකාමී, කම්මැලි, කණ්ඩායම වෙනුවෙන් කැප කිරීම් නොකරන, නිසි ලෙස පුහුණුවීම් නොකරන අයෙක් වගේ ම තරගයට පෙර දිනයේ ගොල්ෆ් තරගයක් ක්‍රීඩා කිරීම ඇතුළුව විවිධ චෝදනා එල්ල කළා."

"මේවා එක ම ආකාරයේ අදහස්, වර්ගවාදී අදහස්, මම මගේ මුළු ජීවිත කාලය පුරා ම මුහුණ දුන් ආකාරයේ අදහස්."

"මම හිතුවේ මාධ්‍ය සහ පැරණි ක්‍රීඩකයින් සහ අනෙක් සියල්ලන් ම ඒ අතීතයෙන් ඉවතට ගමන් කරලා ඇති කියලා, ඒත් පැහැදිලිව ම එහෙම කරලා නැහැ."

'මට ඒ ගැන මෙතනදී ම දැන් ම කතා කරන්න ඕන'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"තරගයට පෙර දවසේ ගොල්ෆ් ක්‍රීඩා කරලා ආබාධයට ලක්වූ ක්‍රීඩකයින් ගණනාවක් ගැන මට ඔබට කියන්න පුළුවන්. නමුත් ඒ ගැන කිසි දෙයක් කියන්නේ නැහැ," එක ප්‍රශ්නයක් සඳහා ඔහු ලබා දුන් මිනිත්තු හතක ප්‍රතිචාරයේදී, කවාජා එලෙස පැවසීය.

"තරගයට පෙර දින රාත්‍රියේ බියර් 15ක් බීලා, තුවාල වෙලා, කවුරුත් වචනයක්වත් කතා නොකරපු අය ගැන මට තව තොරතුරු කියන්න පුළුවන්. ඒක හරි, එයාලා ඔස්ට්‍රේලියානු හිතුවක්කාරයො නේ - මම නිකම් කොල්ලෙක් විතර නේ."

"සාමාන්‍යයෙන් වෙනත් ක්‍රීඩකයෙක් තුවාල වුණා ම, ඔබට ඔවුන් ගැන පුද්ගලයෙකු ලෙස දුක හිතෙනවා. 'අසරණ ජෝෂ් හේසල්වුඩ් නැත්නම් අසරණ නේතන් ලයන් - ඔවුන් ආබාධයට ලක්වෙලා තිබෙනවා කියනවා. ඒත් මම තුවාල වුණා ම, හැමෝම මගේ විශ්වසනීයත්වය සහ මම පුද්ගලයෙකු ලෙස කවුද කියන එක ගැන ප්‍රශ්න කළා."

"ඒක ගැන තමයි මට ගොඩක් දුක හිතුණෙ, ඒ වගේ ම මම ගොඩක් කාලයක් තිස්සේ මුහුණ දෙන දේත් ඒක. මම ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ, නමුත් මට හිතුණා මෙතනදී ම සහ දැන් ම ඒ ගැන කතා කරන්න ඕනේ කියලා."

කවාජාට වයස අවුරුදු පහේදී ඔහුගේ පවුල පකිස්ථානයේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය. 2020 දී ඔහු පැවසුවේ ඔහුගේ පසුබිම තමන්ව "කම්මැලියෙකු" ලෙස වර්ග කිරීමට හේතු වූ බව ය.

2023 දී ගාසා තීරයේ ජනතාවට සහයෝගය දැක්වීමක් ලෙස ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී කළු පටියක් පැළඳීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට චෝදනා ගොනු කළේ ය.

"මම මාව ජනතාවගේ ශූරයා කියලා හඳුන්වන්නේ හැමෝම මට ආදරය කරන නිසා නෙමෙයි, අනෙක් අය කතා කිරීමට අකමැති මිනිසුන් වෙනුවෙන් මම කතා කරන නිස යි," කවාජා එලෙස පැවසීය.

"ක්‍රිකට් පිටියෙන් පිටත යම් යම් දේවල් ගැන මම කතා කරලා තියෙනවා, ඒකෙන් මාව නිරාවරණය වෙනවා, ගොඩක් අය ඒකට කැමති නැහැ. මේ නිස යි මාව නිරන්තරයෙන් ම විවේචනයට ලක්වෙන්නේ. මට ඒ ගැන තේරෙනවා."

"මම දන්නවා මෙතන මම සමහර මාතෘකා ගැන කතා කරද්දී මිනිස්සු කියයි 'මෙන්න උස්මාන් ජාතිවාදය ඇදලා ගන්නවා කියලා'. මේ දේවල් හැම වෙලාවෙ ම වෙනවා කියලා අපි ඒක දකිනවා, අපි ඒ ගැන කතා කරන්නේ නැහැ."

"මට මේ ගැන කතා කරන්න ඕන වුණේ නැහැ, නමුත් මට ඕන ඊළඟ උස්මාන් කවාජා කෙනෙකුගේ ගමන මීට වඩා වෙනස් වෙන එක විතර යි."

"මට අවශ්‍ය වෙන්නේ ඔහුට හෝ ඇයට එක හා සමානව සලකනවා දැකීම යි, ඔවුන් කවුරුන් ද? යන්න පිළිබඳව වාර්ගික ප්‍රතිරූපයකින් බලන්න අවශ්‍ය නැහැ."

2023 දී ගාසා තීරයේ ජනතාවට සහයෝගය දැක්වීමක් ලෙස පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ පළමු ටෙස්ට් තරගයේදී කළු අත් පටියක් පැළඳීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට චෝදනා එල්ල කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මයික් හසී අභිබවා යමින් ඔස්ට්‍රේලියාවේ වැඩි ම ලකුණුලාභීන්ගේ පිතිකරු ලැයිස්තුවේ 14 වන ස්ථානයට පත්වීමට සහ 13 වන ස්ථානයේ සිටින ශ්‍රේෂ්ඨ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පිටුපසින් සිටීමට කවාජා ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේදී තවත් ලකුණු 30ක් රැස් කළ යුතු ය.

'මම තේරුම් ගන්න පුළුවන් - මගේ නම ජෝන් ස්මිත් නෙමෙයි'

කවාජා අළු බඳුන තරගාවලි 6කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී තරගාවලි දෙකක් ජයග්‍රහණයෙන් ද, තවත් දෙකක් පරාජය වෙමින් සහ තරගාවලි දෙකක් ජය පරාජයෙන් තොරව ද අවසන් විය. ඔහු 2023 දී ලෝක ටෙස්ට් ශූරතාව දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙකු විය.

මයික් හසී අභිබවා යමින් ඔස්ට්‍රේලියාවේ වැඩි ම ලකුණු ලාභීන්ගේ පිතිකරු ලැයිස්තුවේ 14 වන ස්ථානයට පත්වීමට සහ 13 වන ස්ථානයේ සිටින ශ්‍රේෂ්ඨ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පිටුපසින් සිටීමට කවාජා ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේදී තවත් ලකුණු 30ක් රැස් කළ යුතු ය.

කවාජා 2019 දී ඔහුගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ අතර ඔහු තරග 40කදී ලකුණු 1,554ක් ලබා ගත්තේ, ලකුණු 42ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහු පන්දු වාර 20 ජාත්‍යන්තර තරග 09කට පමණක් ක්‍රීඩා කළ අතර ලකුණු 241ක් රැස් කළේ, 26.77ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

දැන් ක්වීන්ස්ලන්ත කණ්ඩායම වෙනුවෙන් දේශීය තරග ක්‍රීඩා කරන කවාජා, 2008 දී නිව් සවුත් වේල්ස් කණ්ඩායම සමග වෘත්තීය ක්‍රිකට් දිවිය ආරම්භ කළ පිටියේදී ම ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය ක්‍රිකට් ජීවිතය අවසන් කරනු ඇත, නමුත් ඔහු දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම අඛණ්ඩව කරගෙන යාමට අදහස් කර යි.

ඔහුගේ ටෙස්ට් දිවිය තුළ, ඔහු බොහෝ අවස්ථාවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි වූ, නමුත් ඔහු ඔස්ට්‍රේලියාවේදී පැවති 2021-22 අළු බඳුන තරගාවලියේදී නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළේ ය.

පර්ත්හි පැවති ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී කවාජා වෙනුවට ට්‍රැවිස් හෙඩ් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසියේ ය. හෙඩ් විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාව කඩුලු අටක ජයග්‍රහණයක් කරා මෙහෙයවීය.

කවාජාට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය මග හැරුණු අතර තුන් වන තරගයෙන් ඉවත් කිරීමට නියමිතව තිබිණි. නමුත් ස්ටීව් ස්මිත් ආබාධයට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී කණ්ඩායමට කැඳවන ලදී.

කවාජා ඇඩිලේඩ්හිදී ලකුණු 82ක් සහ 40ක් ලබා ගනිමින් සිව් වන ටෙස්ට් තරගය සඳහා තම ස්ථානය තහවුරු කර ගත්තේ ය.

අළු බඳුන තරගාවලියෙන් පසු ඔස්ට්‍රේලියාව එළඹෙන අගෝස්තු මාසය වන තෙක් කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකරනු ඇත.

"වයස අවුරුදු 25 දී මම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ගැළපෙන්න ගොඩක් උත්සාහ කළා. මම අනිත් අය වගේ අඳින්න උත්සහ කළා; මම මත්පැන් නොබිව්වත් සමාජ ශාලාවලට ගියා," කවාජා පැවසීය.

"මම ඒ ඔක්කොම උත්සහ කළා, ඒත් ඒක හරි ගියේ නෑ. මාව තාමත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කරනවා."

"මට තේරෙනවා - මගේ නම ජෝන් ස්මිත් නෙවෙයි. 50-50ක අවස්ථාව ආව ම ඒවා මගේ පැත්තට යන්නේ නැහැ. මම අනිත් හැමෝම වගේ වෙන්න හදන්නේ ඇයි?"

"ඊළඟ උස්මාන් කවාජාගේ ගමන ටිකක් පහසු වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා, පරම්පරා ගණනාවක් ගියත්, ඒ උස්මාන් කවාජා ජෝන් ස්මිත් හා සමාන වන රේඛාවකට ළඟා වෙනවා. මම මගේ මුළු කාලය පුරා ම උත්සාහ කළේ ඒක යි."

"ඔස්ට්‍රේලියානු සමාජය පෙරට වඩා සියලු ජන කොටස්වලට අවස්ථාව ලබා දෙන නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව තවමත් බොහෝදුරට සුදු සමක් සහිත ක්‍රීඩකයින් ආධිපත්‍යය දරන බැවින් කළ යුතු වැඩ කොටස ඉතා වැඩි යි," ඔහු පැවසීය.

"ඒකට කාලයක් ගත වෙන්න පුළුවන්, නමුත් ඔබ ඒ සඳහා ක්‍රියාත්මක නොවුණොත් කිසි දෙයක් සිද්ධ වෙන්නෙ නෑ."