දකුණු අප්‍රිකාවේ SA20 ක්‍රිකට් තරගාවලියේ වැඩි ම අවධානයක් යොමු වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

ඡායාරූප මූලාශ්‍රය, Instagram/Tharindu Rathnayake
- Author, බීබීසී සිංහල
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 2026 ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුගේ දක්ෂතා පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල ද දැඩි අවධානයක් යොමු වී තිබේ.
ඔහු නමින් තරිඳු රත්නායක ය.
දඟ පන්දු යවන්නෙකු වන ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කර තිබේ.
SA20 2026 ලීග් තරගාවලියේ දැක්වූ දක්ෂතා
Sunrisers Eastern Cape කණ්ඩායම නියෝජනය කරමින් තරිඳු රත්නායක මේ වන විට SA20 2026 ලීග් තරගාවලියේ තරග දෙකකට ක්‍රීඩා කර තිබේ.
එහිදී ඔහු තරග දෙකේදී ම කඩුලු 2 බැගින් බිඳ හෙළූ අතර, ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු වාර 4කදී ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත්තේ ය.
පාල් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු වාර 2.5කදී ලකුණු 9ක් පමණක් ලබා දී කඩුලු දෙකක් බිඳ හෙළී ය.
තරිඳු රත්නායකගේ මෙම දක්ෂ පන්දු යැවීම මේ වන විට දකුණු අප්‍රිකාවේ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යවල ද අගැයීමට ලක්ව තිබේ.
ඔහුට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ආකර්ෂණයක් ද හිමි වී තිබේ.
සන්රයිසර්ස් ඊස්ටර්න් කේප් කණ්ඩායම පළ කර ඇති වීඩියෝවක තරිඳු රත්නායක පවසන්නේ, සිය දක්ෂතා සහ කණ්ඩායමේ ජයග්‍රහණ සම්බන්ධයෙන් තමන් අතිශයින් සතුටට පත්වන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Instagram/Sunrisers Eastern Cape
අහම්බෙන් ලැබුණු අවස්ථාව
තරිඳු රත්නායකට සන්රයිසර්ස් ඊස්ටර්න් කේප් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ, අහම්බයකිනි.
ඒ, එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිටි මොහොමඩ් ඝසන්ෆාර් නමැති ක්‍රීඩකයා ILT20 තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 2ක්
තරිඳු රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 2කට ක්‍රීඩා කර තිබේ.
ඒ, මේ වසරේ ජූනි මාසයේදී බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ය.
එහිදී, එම තරග දෙක තුළදී ඔහු කඩුලු 9ක් දවා ගත්තේ ය.
කවුද මේ තරිඳු රත්නායක?
1996 වසරේ අප්‍රේල් 18 වන දා මාරවිලදී උපත ලැබූ තරිඳු රත්නායක මේ වන විට 29 හැවිරිදි වියේ පසු වෙයි.
ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු දකුණතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
ඔහු SSC, Tamil Union, Dambulla Aura, Colombo Kings, ශ්‍රී ලංකා A ආදී කණ්ඩායම් රැසක් නියෝජනය කර තිබේ.
දක්ෂතා
ටෙස්ට් තරග දෙකකදී කඩුලු 9ක් බිඳ හෙළා ඇත.
පළමු පෙළ තරග 77කදී ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 355කි.
List A තරග 90කදී තරිඳු රත්නායක කඩුලු 130ක් දවා ගැනීමට සමත්ව තිබේ.














