දිනකට පියවර 7,000ක් ඇවිදීම තුළින් සෞඛ්‍ය ගැටලු අවදානම අඩු කරන්නේ මෙහෙමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජොෂ් එල්ජින්
- Role, බීබීසී පුවත්
දිනකට පියවර 7,000ක් ඇවිදීම ඔබේ මොළයේ ශක්තිය වැඩි කිරීමට සහ විවිධ රෝග රැසකින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් වන බව ප්‍රධාන අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
එය දිගු කලක් තිස්සේ මිණුම් ලකුණක් ලෙස සලකනු ලැබූ පියවර 10,000ට වඩා යථාර්ථවාදී ඉලක්කයක් විය හැකි ය.
'ද ලාන්සට් මහජන සෞඛ්‍ය සඟරාවේ' (The Lancet Public Health) ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණයෙන් හෙළි වූයේ අඩු පියවර සංඛ්‍යාව වුව ද එය පිළිකා, ඩිමෙන්ෂියා සහ හෘද රෝග ඇතුළු බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා උපකාරී වන බව ය.
මෙම සොයාගැනීම් මගින් තම සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රමයක් ලෙස තමන් ඇවිදින පියවර ගණන නිරීක්ෂණය කිරීමට වැඩි පිරිසක් දිරිමත් කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
"අපි දිනකට පියවර 10,000ක් ඇවිදිය යුතු බවට අපට මතයක් තියෙනවා," මෙම පර්යේෂණය මෙහෙය වූ ආචාර්ය මෙලඩි ඩිං පවසයි, "නමුත් ඒක සාක්ෂි මත පදනම් වූ දෙයක් නෙවෙයි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දිනකට පියවර 10,000ක් ඇවිදිය යුතු බවට වූ මතය 1960 ගණන්වල ජපානයේ ක්‍රියාත්මක වූ අලෙවිකරණ වැඩසටහනක් දක්වා දිව යයි. එහිදී 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙරාතුව, 'පියවර 10,000 මීටරය' යන අර්ථය ඇති manpo-kei නමින් පයින් ගමන් කරන දුර ගණනය කිරීමේ පෙඩෝමීටරයක් (pedometer) හඳුන්වා දෙනු ලැබිණි.
මෙම අගය "වරදවා වටහා ගැනීමක්" බවත් එය නිල නොවන මාර්ගෝපදේශයක් බවට පත් වූ බවත්, බොහෝ ශරීරික යෝග්‍යතා නිරීක්ෂකයින් මෙන් ම යෙදුම් (apps) මගින් එය දිගට ම නිර්දේශ කරන බවත් ආචාර්ය ඩිංග් පවසයි.
මෙම නව අධ්‍යයනය මගින් ලොව පුරා වැඩිහිටියන් 160,000කට වැඩි පිරිසකගේ සෞඛ්‍යය හා ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කෙරිණි.
දිනකට පියවර 7,000ක් පමණ ඇවිදීම හෘද වාහිනී ආශ්‍රිත රෝග (25%කින්), පිළිකා (6%කින්), ඩිමෙන්ෂියා (38%කින්) සහ විෂාදය ඇති වීමේ අවදානම (22%කින්) අඩු කිරීමට හේතුවන බව එමගින් සොයා ගන්නා ලදී.
කෙසේ වෙතත්, පර්යේෂකයන් පවසන්නේ එම සොයාගැනීම් සමහරක් කුඩා අධ්‍යයන සංඛ්‍යාවක් මත පදනම් වී ඇති බවත් ඒවා කෙතරම් නිවැරදි ද යන්න පැහැදිලි නැති බවත් ය.
ඔවුන්ගේ අධ්‍යයනයෙන් පෙනී යන්නේ දිනකට සාමාන්‍යයෙන් පියවර 2,000ක් ඇවිදීම වැනි ශරීර ක්‍රියාකාරකම් අඩු දිනක් හා සසඳන විට පියවර 4,000ක් පමණ ඇවිදීම වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට හේතු වන බව ය.
බොහෝ සෞඛ්‍ය තත්ත්වයන් සඳහා, පියවර 7,000ට වඩා ඇවිදීම මගින් ප්‍රතිලාභ ගෙන දෙන නමුත් තවදුරටත් ඇවිදීමෙන් හදවත සඳහා අමතර වාසි ඇති බව අධ්‍යයනයේ සඳහන් විණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වර්තමානයේ, නිර්දේශිත දෛනික ව්‍යායාම පිළිබඳව වන බොහෝ නිල මාර්ගෝපදේශ, ඇවිදින පියවර ගණනට වඩා ව්‍යායාම සඳහා ගත කරන මිනිත්තු ගණන කෙරෙහි අවධානය යොමු කරයි.
උදාහරණයක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වැඩිහිටියන් සෑම සතියක ම අවම වශයෙන් මිනිත්තු 150ක් මධ්‍යස්ථ මට්ටමින් ඇරොබික් ක්‍රියාකාරකම් හෝ මිනිත්තු 75ක් දැඩි ලෙස ඇරොබික් ක්‍රියාකාරකම් කළ යුතු බව ය.
වත්මන් මාර්ගෝපදේශ මගින් වැදගත් අරමුණක් ඉටු කළ ද, මෙම උපදේශ නිශ්චිතව මැන ගැනීම මිනිසුන්ට අපහසු විය හැකි බව ආචාර්ය ඩිං පවසයි.
"පිහිනීමට, බයිසිකල් පැදීමට හෝ ඇවිදීමට නොහැකි ශාරීරික ආබාධ තියෙන අය සිටිනවා," ඇය පැහැදිලි කරයි.
නමුත් මිනිසුන් ඇවිදිය යුතු පියවර ගණන පිළිබඳ උපදෙස් ලබා දීම පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට "එකතු කළ හැකි බවත්, එය "දවස පුරා තම ශාරීරික ක්‍රියාකාරකම් සිදු කිරීම ගැන සිතීමට මිනිසුන් පොළඹවනු ඇති" බවත් ඇය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලන්ඩනයේ බෲනෙල් විශ්වවිද්‍යාලයේ ශාරීරික අක්‍රියව සිටීමේ හැසිරීම් පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයෙකු වන ආචාර්ය ඩැනියෙල් බේලි පවසන්නේ මෙම අධ්‍යයනය මගින් දිනකට පියවර 10,000ක් ඇවිදීමට අවශ්‍ය බවට වන "මිථ්‍යාව" අභියෝගයට ලක් කරන බව ය.
වඩාත් ක්‍රියාශීලී අයට එය සුදුසු ඉලක්කයක් වුව ද, පියවර 5,000 සිට 7,000 දක්වා ඇවිදීමේ ඉලක්කයක් තබා ගැනීම අනෙක් අයට "වඩාත් යථාර්ථවාදී සහ අත් කරගත හැකි ඉලක්කයක්" විය හැකි බව බේලි පවසයි.
පෝර්ට්ස්මත් විශ්වවිද්‍යාලයේ සායනික කායික ව්‍යායාම පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඇන්ඩෲ ස්කොට්, නිශ්චිත පියවර සංඛ්‍යාවක් ඇවිදීම වැදගත් නොවන බවට එකඟ වේ.
"වැඩි වැඩියෙන් ඇවිදීම සැමවිට ම හොඳයි" යනුවෙන් ඔහු පවසන අතර, විශේෂයෙන් ක්‍රියාකාරකම් සීමිත දිනවල, නිශ්චිත ඉලක්කයකට යාම ගැන මිනිසුන් ඕනෑවට වඩා කරදර නොවිය යුතු බව ද ඔහු පැවසීය.














