BYD සමාගම ඉලෙක්ට්‍රික් වාහන අලෙවියෙන් Tesla අභිබවා යාමට සැරසෙයි

Potential customers inspect a white electric BYD car at a dealership in Germany

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඔස්මන්ඩ් චියා
    • Role, ව්‍යාපාරික වාර්තාකරු

වාර්ෂික ඉලෙක්ට්‍රික් වාහන අලෙවියෙන් ප්‍රථම වරට ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා අභිබවා යමින් චීනයේ BYD ලොව විශාලතම ඉලෙක්ට්‍රික් වාහන (EV) අලෙවිකරුවා බවට පත්වීමට නියමිතව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

බ්‍රහස්පතින්දා, BYD පැවසුවේ එහි බැටරි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ අලෙවිය පසුගිය වසරේ 28%කින් පමණ වැඩිපුර අලෙවි වූ වාහන සංඛ්‍යාව මිලියන 2.25 ඉක්මවා ගිය බව ය.

2025 සඳහා වන මුළු විකුණුම් දත්ත ටෙස්ලා සමාගම සිකුරාදා හෙළි කිරීමට නියමිත අතර, පසුගිය සතියේ විශ්ලේෂකයින්ගේ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින්, අනාවරණය කළේ, ඔවුන් වසර පුරාවට අලෙවි කර ඇත්තේ, වාහන මිලියන 1.65ක් පමණ බවයි.

තම නව නිෂ්පාදන සඳහා මිශ්‍ර ප්‍රතිචාර, ඊලෝන් මස්ක්ගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ කනස්සල්ල සහ චීන ප්‍රතිවාදීන්ගෙන් වර්ධනය වන තරගකාරීත්වය සමගින්, ඇමෙරිකානු සමාගමට දුෂ්කර වසරක් ගත කිරීමට සිදුවිය.

ඔක්තෝබර් මාසයේදී, ටෙස්ලා සමාගම අලෙවිය වැඩි කිරීම සඳහා එක්සත් ජනපදයේ වැඩියෙන් ම අලෙවි වන වාහන මාදිලි දෙකෙහි අඩු මිල මාදිලි දෙකක් දියත් කළේ ය. තරගකාරීව සිටීමට නව සහ වඩා දැරිය හැකි මාදිලි හඳුන්වා දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් සමාගම විවේචනවලට මුහුණ දී තිබිණි.

ලොව ධනවත් ම මිනිසා වන මස්ක්ට ඉදිරි දශකය තුළ ටෙස්ලාහි විකුණුම් සහ කොටස් වෙළෙඳපළවටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමේ කාර්යය පැවරී ඇති අතර එමඟින් වාර්තාගත වැටුප් පැකේජයක් ලබා ගත හැකි ය. නොවැම්බර් මාසයේදී කොටස් හිමියන් විසින් අනුමත කරන ලද මෙම ගනුදෙනුවෙන් ඔහුට ඩොලර් ට්‍රිලියන 1ක් (පවුම් බිලියන 740ක්) දක්වා ගෙවීමක් ලැබෙනු ඇත.

ගිවිසුමේ කොටසක් ලෙස, මස්ක් ඉදිරි වසර දහය තුළ මානවරූපී රොබෝවරු මිලියනයක් අලෙවි කළ යුතු ය. ටෙස්ලා එහි "ඔප්ටිමස්" රොබෝ සහ එහි ස්වයං-ධාවන "රොබෝටැක්සි" තාක්ෂණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ මස්ක්ගේ භූමිකාවට එරෙහි ප්‍රතික්‍රියාවක් හේතුවෙන් 2025 මුල් මාස තුන තුළ ටෙස්ලා වාහන අලෙවිය පහත වැටිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ටෙස්ලා සමාගමට අමතරව, මෙම ප්‍රකෝටිපතියාගේ ව්‍යාපාරික අවශ්‍යතා අතරට සමාජ මාධ්‍ය වේදිකාවක් වන X, රොකට් සමාගමක් වන SpaceX සහ උමං මාර්ග ඉදිකරන බෝරින් සමාගම ඇතුළත් වේ.

ට්‍රම්ප්ගේ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (ඩෝජ්) මෙහෙයවීමත් සමග එම කැපවීම්, මස්ක් ටෙස්ලා කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට සමහර ආයෝජකයින් යෝජනා කිරීමට හේතු විය.

එතැන් සිට මස්ක් එක්සත් ජනපද රජය තුළ ඔහුගේ භූමිකාව "සැලකිය යුතු ලෙස" කපා හැරීමට කටයුතු කර තිබේ.

මෑත වසරවලදී BYDහි වේගවත් ව්‍යාප්තිය තිබියදීත්, එහි විකුණුම් වර්ධනය 2025දී වසර පහකින් දුර්වල ම මට්ටමට පැමිණියේ ය.

XPeng සහ Nio වැනි ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයින් පාරිභෝගිකයින් සඳහා තරග කරන බැවින්, ෂෙන්සෙන් පදනම් කරගත් BYD සමාගමට චීනයේ පීඩනය වැඩි වී තිබේ. මෙම ශක්තිමත් තරගකාරීත්වය තිබියදීත්, BYD ඉලෙක්ට්‍රික් වාහන වෙළෙඳපොළේ ප්‍රධාන ගෝලීය තරගකරුවෙකු ලෙස දිගට ම පවතින්නේ එහි මෝටර් රථ බොහෝ විට තරගකාරී නිෂ්පාදකයින්ගේ මෝටර් රථවලට වඩා අඩු මිලකට අලෙවි වන බැවින් ය.

බොහෝ රටවල් චීනයේ නිෂ්පාදිත ඉඉලෙක්ට්‍රික් වාහන සඳහා ඉහළ තීරුබදු පනවා තිබුණ ද, විශේෂයෙන් ලතින් ඇමෙරිකාව, අග්නිදිග ආසියාව සහ යුරෝපයේ සමහර ප්‍රදේශවල සමාගමේ වේගවත් වර්ධනය අඛණ්ඩව පවතියි.

ඔක්තෝබර් මාසයේදී, BYD පැවසුවේ එක්සත් රාජධානිය චීනයෙන් පිටත ඔවුන්ගේ විශාලතම වෙළෙඳපොළ බවට පත්ව ඇති බව යි. Seal U SUV ප්ලග්-ඉන් දෙමුහුන් අනුවාදය සඳහා ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් සැප්තැම්බර් අවසානය දක්වා වසර තුළ බ්‍රිතාන්‍යයේ විකුණුම් 880%කින් ඉහළ ගොස් ඇති බව සමාගම පැවසීය.