රේගුව රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්: 24) රේගුවට නියම කළේ ය.
රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස් කරනු ලැබීම ඉතා වැදගත් වනවා සේ ම වාහනවල ගැනුම්කරුවන්ගේ මෙන් ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන් ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.
එමනිසා, මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත්, ඒ සඳහා සහය ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයටත් විනිසුරුවරයා දැනුම් දුන්නේ ය.
ජෝන් කීල්ස් CG සමාගමේ පෙත්සම් විභාගය
රේගුව රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් CG සමාගම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ වන විට රඳවාගෙන සිටින වාහන සමාගම් ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බව ය.
මෙම විමර්ශන සඳහා පෙත්සම්සකාර සමාගම සහය දිය යුතු බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ ය.
පෙත්සම්කාර සමාගම මෙරටට ගෙන්වා තිබෙන වාහන ස්කෑන් පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ලබන සඳුදා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
කෙසේ වෙතත්, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, රේගුව විමෙම වාහන රඳවාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බව ය.
කෙසේ වෙතත්, පෙත්සම්කාර පාර්ශවය සහ වගඋත්තරකාර පාර්ශවය අතර දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙරුණත් මෙම වාහන ඇපකරයක් මත මුදා හැරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වූයේ නැත.
ඒ අනුව, මෙම නඩුකරය සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳව ලබන 28 වන දා දැනුම් දෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
අගෝස්තු 07 වන දා අභියාචනාධිකරණයේදී ඇති කර ගත් එකඟතාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය අගෝස්තු 7 වන දා අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කළේය.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් CG සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම එකගතාව පළ කෙරිණි.
ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාළ වන පොළිය පෙත්සම්කාර සමාගම ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.
ඊට අමතරව අදාළ වාහනවල මෝටර් ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්වවිද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුළත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියක් විය.














