ඉංග්‍රීසි බැරි නිසා සිසුන් උපාධි අතහැර යන රටක්: 'උපාධි අපේක්ෂකයින්ගෙන් 50%ක් ඉංග්‍රීසි නිසා දුක් විඳිනවා'

Seated at a desk in his residence here is S.W.R.D. Bandaraike, the newly elected Prime Minister of Ceylon.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1956 වසරේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත්කළේ ය

තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මෘදුකාංග ඉංජිනේරු අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබයි. මේ ඔහුගේ සැබෑ නම නොවේ.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ඔහු සිංහල භාෂාවෙන් උසස් පෙළ හදාරා ඉහළ ලකුණු ලබා ඉංජිනේරු පීඨයට ඇතුළත්වූ ශිෂ්‍යයෙකි.

බැලූ බැල්මට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තීක්ෂණගේ වර්තමානය එතරම් දීප්තිමත් නැති බව ඔහු පවසයි.

"මම සිංහලෙන් උසස් පෙළ කළේ. දැන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අලුත් ම විෂයයක් මට හුරු නැති භාෂාවකින් ඉගෙන ගන්න එක ලොකු අභියෝගයක් වෙලා තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලෙ ඉංග්‍රීසි භාෂාව මේතරම් වැදගත් වෙයි කියලා හිතුණේ නෑ. මම ඉතින් ඉංග්‍රීසි පන්තියකට යනවා. බැරි දේවල් යාළුවන්ගෙන් අහගන්නවා. කොහොම හරි මේ අභියෝගය ජය ගන්න උත්සහ කරනවා," ඔහු පැවසීය.

තීක්ෂණ යනු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල මෙම අභියෝගයට මුහුණදෙන සිසුන් දහස් ගණනක් අතරින් එක් අයෙකු පමණි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අකිල ගාල්ලගේ වඩාත් සංවේදී අදහස් දැක්වීමක් කළේ ය.

"උසස් පෙළ විභාගෙදි ගොඩක් ලකුණු අරගෙන කැම්පස් ආව ළමයි ඉංග්‍රීසි බැරිකම නිසා විභාග ෆේල් වෙනවා. සමහර අය උපාධිය අත් ඇරලා ගිහිල්ලත් තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් අය තමයි වැඩි ලකුණු ගන්නේ. මේක ලොකු ඛේදවාචකයක්. ඉංග්‍රීසි භාෂාව අමාරු අයට උසස් පන්ති සාමාර්ථයක් ගන්න එක දුෂ්කර වැඩක්. ඉංග්‍රීසියෙන් උගන්වන එක හොඳයි. ඒත් මුලින් ම ඉංග්‍රීසි ඉගෙනගන්න ක්‍රමයක් හැදෙනවා නම් තමයි හොඳ. නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලොකු අපරාධයක් වෙනවා."

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පවසන පරිදි, විශ්වවිද්‍යාලයයේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 50%කට අධික ප්‍රතිශතයක් මෙම අර්බුදයට මුහුණ පා සිටියි.

ඊට අමතරව, උපාධි ලබාගැනීමෙන් පසු ඉංග්‍රීසි කථන හැකියාව අඩුකමින් සම්මුඛ පරීක්ෂණවලින් සමත්වීමට නොහැකි වී සිටින උපාධිධාරීහු විශාල පිරිසක් ද වෙති. ඒ අතර, කලා විෂයයන් හැදෑරූ උපාධිධාරීන් සුලබ ය.

මේ අතර, ඉංග්‍රීසි බසින් සිදුකෙරෙන ඉගැන්වීම් වටහා ගැනීමට අපහසු බවට මැසිවිලි නගමින් විශ්වවිද්‍යාලයයට යෑමට නොහැකිබව කී යාපනය විශ්වවිද්‍යාලයයේ සිසුවියක ගෙළ වැලලාගෙන මියගිය පුවතක් පිළිබඳව පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

මේ සියදිවි නසා ගැනීමට ඉංග්‍රීසි ගැටලුව ඍජුව බලපෑවේ ද යන්න අනාවරණය වී නැතත්, ඉංග්‍රීසි බසින් කරන ඉගැන්වීම් වටහා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඇය ඇගේ මව සමග අවස්ථා කිහිපයක දී මැසිවිලි නගා තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මෙම සිද්ධියත් සමග ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වන්නට විය.

Skip Facebook post, 1
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 1

1956 රාජ්‍ය භාෂා පනත

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත්විය. මෙය බ්‍රිටැනිකා විශ්ව කෝෂය නම්කර ඇත්තේ Sinhala Only Bill ('සිංහල පමණක්' පනත) යනුවෙනි.

1956 වසරේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් එය ක්‍රියාවට නැංවීය.

මේ හේතුවෙන් රට තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ අතර, මෙරට සිවිල් යුද්ධයට එය ද බලපෑබවට බොහෝ දෙනෙකු අදහස් පළකර තිබේ.

පනත නිසා ඇතිවූ කෝලාහල දැන් සමනයට පත් වී තිබුණ ද, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව පහළ මට්ටමක පැවතීම නිසා විවිධ ගැටලුවලට මුහුණදීමට බහුතර ජනතාවට සිදුව ඇත.

"ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් සාමාන්‍ය පෙළ දක්වා ඉංග්‍රීසි උගන්වනවා. ඒත්, ඉස්කෝලෙන් එළියට ආවා ම ඉංග්‍රීසි වචනයක් කතාකර ගන්න බෑ. මේක කාලාන්තරයක් තිස්සේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ අවුලක්. මේ ප්‍රශ්නය ගැන හැම දා ම අපි පෙන්වල දීලා තියෙනවා. ඒත් කවදාවත් ඒකට පිළියමක් යොදලා නැහැ. බණ්ඩාරනායක ඡන්දය ඉලක්ක කරගෙන තමයි මේ දේවල් රටේ ඇති කළේ. දැන් සිද්ධ වෙන්නෙත් ඒක," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවයට පැවසීය.

Skip Facebook post, 2
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 2

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව

ලෝකයේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මනින ප්‍රධාන දර්ශකයක් වන EF English Proficiency Index පවසන පරිදි, 2022 වසරේ දී ශ්‍රී ලංකාව සිටින්නේ, රටවල් 111ක් අතරින් 71 වන ස්ථානයේ ය.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ප්‍රවීණතාව පහළ (Low) අගයක පවතින බව එම දර්ශකය කියයි.

එම දර්ශකයේ නවතම දත්ත අනුව ආසියානු කලාපයේ රටවල් 24ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 12 වන ස්ථානය යි.

2018 වසරේ දත්තවලට අනුව, වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකිකයින්ගේ ඉංග්‍රීසි සාක්ෂරතාව 22%ක් තරම් පහළ අගයක පැවතිණි.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් හමුවේ දැවැන්ත ප්‍රශ්න නිර්මාණය වී ඇතැ යි විද්වත්හු පෙන්වා දෙති.

'විශාල පරතරයක්'

"ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමය ඇතුළේ ඉංග්‍රීසි කතා කරන සහ ඉංග්‍රීසි කතා කරන්න බැරි කොටස් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කොටස් දෙක අතර ලොකු පරතරයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්ත්වය රටේ සංවර්ධනයට විතරක් නෙවෙයි, සහජීවනයටත් බාධාවක්," ලර්න් ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පවසයි.

"ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂා හැකියාව තියෙන අය සහ ඉංග්‍රීසි බැරි අය අතර විශාල වශයෙන් ආකල්පමය පරතරයකුත් තියෙනවා. මේ රටේ ඡන්දයක් පාවිච්චි කරන්න ගියත්, රැකියාවක් කරන්න ගියත් ගොඩක් අය වැරදි ආකල්ප මත තීන්දු ගන්න තත්ත්වයක් පවතිනවා. මේ තත්ත්වය වෙනස් කරන්න නම් ඉංග්‍රීසි භාෂා අර්බුදයට පිළියම් යොදන එක අත්‍යවශ්‍ය දෙයක්."

ඉංග්‍රීසි භාෂා අර්බුදය හේතුවෙන් විශාල පිරිසකට විදේශ රැකියා අවස්ථා අහිමිවන බව ඇය පෙන්වා දෙයි.

"ලෝකයේ ගොඩක් රටවල තියෙනවා විවිධ රැකියා අවස්ථා. ඒවාට ශ්‍රී ලාංකිකයින්ට යන්න තියෙන අවස්ථා මේ භාෂා ප්‍රශ්නය නිසා අවහිර වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට, හෙද හෙදියන් විශාල සංඛ්‍යාවකට විදෙස් රැකියා අවස්ථා තියෙනවා. ඒත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් කිහිප දෙනෙකුට විතර යි."

කළ යුත්තේ කුමක් ද?

තවත් වසර 10ක් පමණ වන විට යම් ආකාරයකට මෙම තත්ත්වයේ වෙනසක් සිදුවනු ඇතැ යි යන්න ආචාර්ය සුජාතා ගමගේගේ අදහස ය.

"දැන් ගොඩක් දරුවන් ජාත්‍යන්තර පාසල් හරහා ඉංග්‍රීසි භාෂාවෙන් විෂයයන් ඉගෙන ගන්නවා. ඊට අමතරව, ඉංග්‍රීසි භාෂාවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය බොහෝවිට ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය නිසා තවත් අවුරුදු 10ක දී අපට වෙනස් ම තත්ත්වයක් දැකගන්න හැකි වේවි."

පාසල් දරුවන්ට ඉංග්‍රීසි බස කතා කිරීම සහ ඉංග්‍රීසි බසින් සිතීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කළ යුතු බව ද ඇය පෙන්වා දෙයි.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි විෂය පිළිබඳ මතුගම කලාපීය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ බර්ටි රණවීරගේ ද බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

"පාසල් අධ්‍යාපන ක්‍රමය හරහා ඉංග්‍රීසි භාෂාව සාර්ථක ලෙස දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු යි. ඊට පස්සෙ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් ගන්නා දරුවන්ට පමණක් උසස් පෙළ හදාරන්න අවස්ථාව දිය යුතු යි. උසස් පෙළ විභාගයේ දීත් ඉංග්‍රීසි විෂය සමතුන්ට සරසවි වරම් ලබා දෙන්න පුළුවන්. මේක එක පාරට ම කරන්න බැහැ. මොක ද ඒක ක්ෂණිකව කළොත් ගොඩක් දරුවන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා පළමුවෙන් පාසල් දරුවන් අතර ඉංග්‍රීසි සාක්ෂරතාව වැඩි දියුණු කරලා මේ ක්‍රමය ආරම්භ කරන්න පුළුවන්," ඔහු පැවසීය.

ඔවුන් බලයට පත්වුවහොත් පළමු වසරේ සිට ම පාසල් දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නා බව මෑතක දී ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ ය.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්, කාලීන මෙන් ම ගෝලීය අවශ්‍යතාවක් වන ඉංග්‍රීසි භාෂාව නිසි ලෙස ඉගැන්වීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පවසයි.

"අධ්‍යාපන ඇමති මේ ළඟදි කිව්වා පාසල් විෂය මාලාවට ජපන්, චීන, හින්දි වගේ භාෂා ඇතුළත් කරනවා කියලා. යකෝ ඊට කලින් මේ ලෝකෙ ම පාවිච්චි වෙන ඉංග්‍රීසි උගන්වලා ඉන්න එපායැ. ඒ ගොල්ලෝ හිතට එන ඔලමොට්ටල කතා කියනවා. ප්‍රායෝගික කිසි ම දෙයක් වෙන්නෙ නෑ මෙතන."