'පාසල් විෂය මාලාවට AI එක් කිරීම' අධ්‍යාපන ඇමතිගේ වහසිබස් දෙඩීමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මොනරාගල දිස්ත්‍රික්කයේ හම්බෙගමුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන කෞෂල්‍යාගේ (සැබෑ නම නොවේ) සිහිනය වූයේ, අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිට ඉංජිනේරුවරියක වීම ය.
එහෙත්, ඇයට උසස් පෙළ ගණිතය විෂය ධාරාව ඔස්සේ හැදෑරීමට අවස්ථාවක් උදා නොවූයේ, ඇගේ වරදින් නොවේ.
ඇය ඉගෙනුම ලැබූ පාසලේ හෝ ආසන්න පාසලක ගණිතය විෂය ධාරාව ඉගැන්වීමට ගුරුවරුන් නොසිටි හෙයින් ඇය හමුවේ විකල්ප දෙකක් තිබිණි. ඉන් එකක් වූයේ, කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ඇඹිලිපිටිය නගරයේ පාසලකට ඇතුළු වීම ය. දෙවැන්න, ගණිත විෂය ධාරාව අතහැර පාසලේ ඇති වෙනත් විෂය ධාරාවක් තෝරා ගැනීම ය.
දරිද්‍රතාවයෙන් පෙළුණු කෞෂල්‍යාට, වන අලි ප්‍රහාරයකින් සිය පියා ද අහිමි වී සිටි හෙයින්, දිනපතා කිලෝමීටර් 30ක් ගෙවා පාසල් යාමට මෙන් ම උපකාරක පන්ති යාමට ද අවශ්‍ය මූල්‍යමය හැකියාවක් නොවී ය.
ඒ අනුව, ඇය හමුවේ ඉතිරි වූ එක ම විකල්පය වූයේ, ඉංජිනේරු සිහිනයට සමුදී කලා විෂය ධාරාව යටතේ අධ්‍යාපනය ලැබීම පමණි.
ඇය මේ වන විට, කලා විෂය ධාරාව යටතේ සිංහල, බෞද්ධ සංස්කෘතිය සහ දේශපාලන විද්‍යාව හදාරමින් සිටී.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව විෂය ධාරා 4ක් යටතේ විෂයයන් 66ක් හඳුන්වා දී තිබේ.
කෙසේ වෙත ත්, නාගරික පාසල් හැරුණුකොට පාසල් රැසක එම විෂයයන් සියල්ල ඉගැන්වීම සිදු නොකෙරෙන බව ගුරු සංගම් පවසයි.
ගුරු සංගම් චෝදනා කරන්නේ, එවැනි තත්ත්වයක් තුළ දරුවන්ගේ කැමැත්ත පරිදි විෂයයන් තෝරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ය.
කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට
මේ වන විට ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තාක්ෂණය පදනම් කර ගත් වෘත්තියාභිමුඛ මට්ටමක පවතී.
ඒ අනුව, කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා විවිධ රටවල් පියවර ගෙන ඇති අතර, තවත් රටවල් ඒ සඳහා සූදානම් වෙයි.
යුනෙස්කෝ සංවිධානය මේ වසරේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 'ඩිජිටල් නවෝත්පාදන අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ සහය හිමි වන,' බව ය.
ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට ද කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කිරීමට මාස 6ක් තුළ පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය ද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කළේ, මෙවැනි පරිසරයක් තුළ ය.
"ජාතික අධ්‍යාපන ආයතනය ත් එක්ක එකතු වෙලා 6න් ඉහළට 6-9 සහ 10 - 13 වශයෙන් සයිකල් දෙකක් හැටියට දැනට තොරතුරු තාක්ෂණ විෂය විකාශනය වෙනවා AI දක්වා. ක්‍රමයෙන් IT අඩු කරමින් AI වර්ධනය කරනවා. ඒ කටයුතු දැන් කෙරීගෙන යනවා. ඊළඟ මාස හයේදී අපි AI ගේනවා," අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගුරු සංගම්වලින් විරෝධයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය ධාරාවට එක් කිරීම වරදක් ලෙස නොදකින නමුත්, මේ වන විට හඳුන්වා දී ඇති විෂයයන් උගන්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිව තිබියදී මෙවැනි "මහ ජනතාව රවටන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන," බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
"උසස් පෙළ විෂයයන් තියෙනවා 66ක්. අද වෙනකොට ප්‍රධාන පාසල් ඇරෙන්න පාසල් ගණනාවක මේ විෂයයන් ගණන අඩු කරනවා. ළමයින්ට කියනවා ගුරුවරු නැති විෂයයන් කරන්න එපා කියලා. තෝරා ගත් පාසල්වල විතරයි ඒ විෂයයන් තියෙන්නේ. ඉතිං මේගොල්ලෝ තවත් විෂයයන් වැඩි කළා කියලා ඒවා උගන්වන්න ගුරුවරු නැත්නම් වැඩක් නෑ. දැනට තියෙන විෂයයන් 66වත් උගන්වගන්න බෑ."
"එහෙම තත්ත්වයක් උඩ ලෝකයේ තියෙන සියලු විෂයයන් කරනවා කියලා විශාල ප්‍රචාරයක් ගෙනියනවා. ඒක නිසා මේක විහිළුවක්. අපි කැමති යි ඒවා උගන්වනවාට. විෂයයන් ගේනවාට අපි අකමැති නෑ. ලෝකෙට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් රටේ තියෙනවා කියලා ජනතාව රවට්ටන ප්‍රකාශයක් පමණ යි මේක. අපි ඒ ගැන කනගාටු වෙනවා," ඔහු වැඩිදුරට ත් පැවසීය.
මේ අතර, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ, "අමාත්‍යවරයා එලෝ විකාරෙන් මෙලෝ දොඩවන," බව ය.
"ගුරුවරු 5000ක් විතර රට අතඇරලා ගිහින්. ගුරුවරු දැන් ඉන්නේ 40,000ක් විතර. කෘත්‍රිම බුද්ධිය ගේන්න කලින් ඉස්සෙල්ලා ම පාසල් පද්ධතියේ ප්‍රශ්න විසඳිය යුතු යි. මේක අලුත් විෂයයක්. අලුත් දැනුමක් අවශ්‍ය යි ඒක උගන්වන්න ගුරුවරු අවශ්‍ය යි. රුපියල් 40,000ක් වගේ සොච්චම් පඩියකට කෘත්‍රිම බුද්ධිය උගන්වන්න එන්නෙ නෑ ගුරුවරු," මහින්ද ජයසිංහ පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අභියෝගය ජය ගත හැකි ද?
ගුරු සංගම් ඉහත සඳහන් කර ඇති පරිදි ආර්ථික මෙන් ම තාක්ෂණික වශයෙන් ශක්තිමත් නැති ශ්‍රී ලංකාව වැනි රටක පාසල් විෂය ධාරාවට කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කිරීම දැවැන්ත අභියෝගයක් වනු ඇත.
ආර්ථික සහ තාක්ෂණික දුර්වලතා පසෙක ලා එම අභියෝගය ජය ගත හැකි ද? එය ජය ගත හැක්කේ කෙසේ ද? යන්න පිළිබඳව ද විමසා බැලිය යුතු ය.
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනෙත් කරුණාරත්නගෙන් අදහස් විමසූ අතර, ඔහු පැවසුවේ, "මේක අතිශය දැවැන්ත අභියෝගයක්," බව ය.
"ඒක දැවැන්ත අභියෝගයක් කියන එක ඉතා පැහැදිලි යි. ඒත්, අභියෝගය භාර ගත්තොත් තමයි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ කව දා හරි දවසක. ඒ නිසා කිසියම් තැනකදී ඒ අභියෝගය ගන්න වෙනවා. අපේ ආර්ථිකය සහ තාක්ෂණය ඒ තැනට ඇවිත් නෑ. ඒත් අපට ආරම්භයක් දෙන්න වෙනවා යම් තැනකදී."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විෂය නිර්දේශය කෙසේ සකස් විය යුතු ද?
"මේක පාසල් විෂය නිර්දේශයට ගේනවා කියන එක අමාරු වැඩක් තමයි. අපි බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නෑ පළමු අවස්ථාවේදී ම රොබෝටික් ලෙවල් එකට ගිහින් intelligence brain එකක් හදන මට්ටමක් නෙවෙයි. නමුත්, කිසියම් දුරකට ඒකෙ මූලික දේවල් ටික අපට දෙන්න පුළුවන් නම් පාසල් වයසේ දරුවෙකුට, එතකොට එයා දන්නවා, කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක් ද? මොකක් ද ඒකෙන් කරන්න පුළුවන්? කියලා. එයා කැමති නම් ඊළඟ මට්ටමට යන්න පුළුවන්. මුලින් ම සරල සංකල්ප ටිකක් තමයි ඇතුළත් කළ යුත්තේ," ආචාර්ය සුනෙත් කරුණාරත්න පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, කෘත්‍රිම බුද්ධිය යනු පරිගණකමය විෂයයක් නොවන බව ය. ඊට අවශ්‍ය ගණිතමය පසුබිම සකස් කිරීම පාසල් වියේදී සිදු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
"මේක කම්පියුටර් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේකට හොඳ ගණිතමය පසුබිමක් තියෙන්න ඕනෙ. ස්වාභාවික සංකල්ප සියල්ල මැතමැටිකල් මොඩ්ල් එකකට ගේන්න ඕනෙ. ඒ මොඩ්ල් එක තමයි කම්පියුටර් එකට දාන්න වෙන්නේ. ඒ ගණිතමය පසුබිම, කොහොම ද සංකල්පමය වශයෙන් යාන්ත්‍රික කරන්නේ කියන එක, ඒකට තියෙන සංකල්ප මොනවා ද? කොහොම ද කෘත්‍රිම බුද්ධිය භාවිත කරන්නේ කියන දේවල් ගැන ළමයාට වටහා දෙන එක වගේ හඳුන්වා දීමේ මට්ටමක් තමයි අපට පාසලේදී කරනවා නම් කරන්න වෙන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීම සඳහා ගුරුවරුන් සොයා ගැනීමේ අභියෝගය ජය ගන්නේ කෙසේ ද?
මෙම නව විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. ඔහු පැවසුවේ, අධ්‍යාපන කලාප 100ක ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන හරහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරන බව ය.
කෙසේ වෙතත්, ආචාර්ය සුනෙත් කරුණාරත්න පෙන්වා දෙන්නේ, දැනට සේවයේ සිටින ගුරුවරුන් ඒ සඳහා පුහුණු කිරීම සාර්ථක නොවනු ඇති බව ය.
"දැනට ඉන්න ගුරුවරු අවම වශයෙන් අවුරුදු පහකට විතර කලින් ඉගෙන ගත්ත අය. ඒ අයට මේ පුහුණුව දීලා සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරු යි. ඒ අයට එහෙම නම් බරපතළ පුහුණුවක් දෙන්න වෙයි."
ආචාර්ය සුනෙත් කරුණාරත්න පවසන පරිදි, ඊට ඇති සුදුසු ම ක්‍රියාමාර්ග වන්නේ,
1. කෘත්‍රිම බුද්ධිය හදාරා ඇති වෘත්තිකයින්ගේ ස්වේච්ඡා සේවය ලබා ගැනීම සහ,
2. තොරතුරු තාක්ෂණය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආයතනික පුහුණුව වශයෙන් පාසල්වලට අනුයුක්ත කිරීම යි.
මේ අනුව, කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය මාලාවට හඳුන්වා දීම දැවැන්ත අභියෝගයක් බව පෙනී යයි. කෙසේ වෙතත්, රටේ ඉදිරි පරම්පරාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් එම අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇති අතර නිසි කළමනාකරණයක් පැවතියහොත් එය ජය ගැනීම දුෂ්කර කටයුත්තක් නොවනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනෙත් කරුණාරත්න වැඩිදුරට ත් පැවසීය.












