ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය අවසන් කිරීමට අනෙක් රටවලට වඩා වැඩි කාලයක් ගතවෙනවා ද?

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ ළමුන්ගේ අධ්‍යාපන රටාව පවා වෙනස් වීමට එක් හේතුවක් වූ අතර බොහෝ විට මාර්ගගත අධ්‍යාපන රටාවට හුරුවීමට දරුවන්ට සිදුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රටක අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධක වලින් එකක් වන්නේ නිසි අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බව නොරහසකි.

තම දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මව්පියන් ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ඔවුන් දරනු ලබන කාලය, මුදල සහ ශ්‍රමය අතිවිශාලය.

කෙසේ වුවත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින ප්‍රමාදය සහ ගැටළු සහගතභාවය හේතුවෙන් දරුවන් මෙන්ම දෙමව්පියන්ද දැඩි අසීරූතාවයකට ලක්ව ඇති බව වර්තමානයේ ඇසෙන්නට ලැබෙන කරුණක් වී තිබේ.

විභාග කල් යෑම සහ වයස් ගතවීම

2020 වර්ෂයේදී ගෝලීයව බලපාන ලද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටකම අධ්‍යාපන කේෂ්ත්‍රයට දැඩි බලපෑම් එල්ල විය.

ළමුන්ගේ අධ්‍යාපන රටාව පවා වෙනස් වීමට එය එක් හේතුවක් වූ අතර බොහෝ විට මාර්ගගත අධ්‍යාපන රටාවට හුරුවීමට දරුවන්ට සිදුවිය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද තදින් බලපානු ලැබූ අතර ඊට සමගාමිව රට මුහුණ දුන් ආර්ථික කඩා වැටීම හමුවේ නිසි පරිදි පාසැල් සහ විශ්වවිද්‍යාල කටයුතු පවත්වා ගෙන යෑමට ද නොහැකි විය.

මේ හේතුවෙන් පාසැල් අධ්‍යාපනය තුළ ළමුන්ට මුලික වශයෙන් අනිවාර්ය වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කල් දැමුණු අතර එම තත්ත්වය දරුවන්ට මෙන්ම දෙමව්පියන්ට මානසික වශයෙන් බලපෑමක් එල්ල කරන්නට විය.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක් සිය මූලික උපාධිය අවසන් කරන්නේ ‍වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනා ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාවට සමගාමීව ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක අධ්‍යාපන ක්‍රමවේදය සැකසී ඇති ආකාරය පිළිබඳව බීබීසි සිංහල සේවය විසින් කරුණු සොයා බැලීමක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශ්වවිද්‍යාලවරම් හිමිකර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක් සිය මූලික උපාධිය අවසන් කරන්නේ ‍වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනා ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාලවරම් හිමිකර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක් සිය මූලික උපාධිය අවසන් කරන්නේ ‍වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනා ගෙන තිබේ.

ඉන්දියාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාවේ අසල්වැසි රට වන ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහණය සහිත රට වේ.

ඉන්දියාවේ ළමුන්ට වයස අවුරුදු 2කේ සිට 6 දක්වා පෙර පාසැල් අධ්‍යාපන රටාවට ඇතුළත් කිරීමට හැකියාව ලැබේ.

පෙර පාසැල් අධ්‍යාපනයෙන් පසු දරුවෙකුට වයස අවුරුදු 6 වන විට පහළ ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවේ.

දරුවාට වයස වයස අවුරුදු 11 වන විට ඉහළ ප්‍රාථමික අධ්‍යාපන රටාවට ඇතුළත් වීමට අවස්ථාව ලැබේ.

ඉහළ සහ ඉහළ ද්විතීක අධ්‍යාපනය දරුවාට වයස අවුරුදු 13 වන විට ආරම්භ වන අතර අවුරුදු 18 වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළ තරග විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව මුලික අධ්‍යාපන ක්‍රමය අවසන් වේ.

ඉන් පසුව එම තරග විභාගයෙන් සමත්වන දරුවන්ට ඔවුන් ලබා ගන්නා සමාර්ථ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් විය හැක.

ඒ ඒ විෂයන් සඳහා වසර 3 සිට 4ක් දක්වා කාල සීමාවන් තුළදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කිරීමට හැකිවේ.

එසේවුවද වෛද්‍ය පිඨය සඳහා ඇතුළත්වන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වීමට වසර 5ක් ගතවේ.

ඒ අනුව සාමාන්‍යයෙන් ඉන්දියාවේ දරුවෙකු වයස අවුරුදු 21-23 අතර වන වයස් සීමාව වන විට ඔහුගේ හෝ ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබේ.

ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය ජාතික ක්‍රමවේදයක් අනුව සකසා තිබේ.

එහිදී දරුවෙකුට වයස අවුරුදු 4 සිට 6 දක්වා පෙර පාසැල් අධ්‍යාපනය ලබා දෙනු ලැබේ. ඉන් පසුව වයස අවුරුදු 6 සිට 11 දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙනු ලබන අතර වයස අවුරුදු 12 සිට 18 දක්වා ද්විතීක අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කොට ඇත.

අවුරුදු 18 සම්පුර්ණ වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ දරුවන් හට උසස් අධ්‍යාපනයට යොමු වීමට අවස්ථාව උදාවේ.

එහිදී ඔවුන්ට අවුරුදු 4ක කාල සීමාවක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට සිදුවන අතර දරුවෙකුගේ වයස අවුරුදු 22-23 විට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව ඇත.

විභාග

ජපානය

ජපන් අධ්‍යාපන ක්‍රමය පෙර පාසල් අධ්‍යාපනයෙන් ආරම්භ වන අතර ඉන් පසුව වසර 6ක කාලයක් ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරේ.

ඉන් පසුව වසර 6ක කාලයක් ද්විතීයික අධ්‍යාපනය (පහළ ද්විතීයික වසර 3ක් සහ ඉහළ ද්විතීයික අධ්‍යාපනය වසර 3ක්) මගින් පුළුල් පරාසයක උසස් අධ්‍යාපනයකට මග පාදනු ලබයි.

ජපානයේ දරුවෙකු වයස අවුරුදු 18 වන විට සිය පාසැල් අධ්‍යාපනය නිමා කරනු ලබන අතර ඉන් පසුව වසර 03 සිට 05 දක්වා කාලයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනු ලබයි.

ජපානයේ පවතින අධ්‍යාපන ක්‍රමය අනුව වයස අවුරුදු 21 සිට 23 දක්වා කාල පරාසය තුළදී ඔවුන්ට සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමට අවස්ථාව පවතී.

ජපන් අධ්‍යාපන ක්‍රමය පෙර පාසල් අධ්‍යාපනයෙන් ආරම්භ වන අතර ඉන් පසුව වසර 6ක කාලයක් ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපන් අධ්‍යාපන ක්‍රමය පෙර පාසල් අධ්‍යාපනයෙන් ආරම්භ වන අතර ඉන් පසුව වසර 6ක කාලයක් ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරේ.

ෆින්ලන්තය

ලොව සාර්ථකම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රටවල් අතරින් එකක් ලෙස හඳුන්වනු ලබන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 05 කි.

ඒ අනුව,

01. මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය (අනිවාර්ය අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙර සිසුන්ට සපයනු ලැබේ)

02. පෙර ප්‍රාථමික අධ්‍යාපනය (අවුරුදු 6-වයස ළමුන් සඳහා වසර 1ක කාලයක්)

03. මූලික අධ්‍යාපනය (වයස අවුරුදු 7-16 අතර ළමුන් සඳහා අනිවාර්ය අවුරුදු 9 අධ්‍යාපනය)

04. උසස් ද්විතීයික අධ්‍යාපනය (වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව / සාමාන්‍ය උසස් ද්විතීයික අධ්‍යාපනය - වසර 03 ක කාලයක්)

05. උසස් අධ්‍යාපනය (විශ්වවිද්‍යාල / ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන අධ්‍යාපනය - වසර 02 සිට 05 දක්වා)

ෆින්ලන්තයේ වෛද්‍ය පිඨය හැරුණු කොට සෙසු විශ්ව විද්‍යාල පාඨමාලා හදාරනු ලබන සිසු සිසුවියන්ට තමන්ට වයස 21 වන විට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව උදාවේ.

වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වන්නේ වයස අවුරුදු 24 වන විටයි.

ඩෙන්මාර්කය

ලොව හොඳම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රට ලෙස හඳුන්වනු ලබන්නේ ඩෙන්මාරක් රාජ්‍යයයි.

ඩෙන්මාර්කයේ අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 05 කට බෙදා ඇත. පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා පහළ ද්විතියික අධ්‍යාපනය, ඉහළ ද්විතියික අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සහ උසස් අධ්‍යාපනය යනුවෙන් බෙදා තිබේ.

ඩෙන්මාර්ක් හි දරුවන් සිය ඉහළ ද්විතියික අධ්‍යාපනය ඔවුන්ගේ වයස අවුරුදු 17-19ත් අතර වයස් සීමාව වන විට අවසන් කරනු ලැබේ.

ඉන් පසුව ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සහ උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමට අවස්ථාව උදාවේ.

තමන් තෝරා ගනු ලබන එම අධ්‍යාපන ක්‍රමය තුළ ඔවුන්ගේ වයස අවුරුදු 22 සිට 24 දක්වා කාලය තුළදී අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබේ.

ඩෙන්මාර්කයේ අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 05 කට බෙදා ඇත. පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා පහළ ද්විතියික අධ්‍යාපනය, ඉහළ ද්විතියික අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සහ උසස් අධ්‍යාපනය යනුවෙන් බෙදා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෙන්මාර්කයේ අධ්‍යාපන ක්‍රමය පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා පහළ ද්විතියික අධ්‍යාපනය, ඉහළ ද්විතියික අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සහ උසස් අධ්‍යාපනය යනුවෙන් බෙදා තිබේ.

'ක්‍රමවේදයේ වෙනසක් කිරීමට අවධානය යොමු කර තිබෙනවා'

මේ වන විට පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කිරීම සඳහා අවධානය යොමු කර ඇති බවත් ඊට අදාළ සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපතිනි පද්මිණි රණවීර බීබීසි සිංහල වෙත පැවසුවාය.

ඇය සඳහන් කළේ මේ වන විට 13 වන ශ්‍රේණියේදී පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 12 වසරේදී පැවැත්වීමට අවධානය යොමු කර ඇති බවත් ඊට අදාළ සාකච්ඡා මේ වන විට සිදුකරමින් පවතින බවය.

“අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක 13 ශ්‍රේණියේ විභාගය 12 ශ්‍රේණියට ගේන්න සාකච්ජා කරමින් යනවා. අදහස් එහෙම ඇවිත් තියෙනවා. තවම ඒ ගැන අවසන් තීරණයක් අරන් නැහැ." ඇය සඳහන් කළාය.

මෙරට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇතිවන ප්‍රමාදය හේතුවෙන් මෙම ගැටලුව පැන නගින බව ඇය සඳහන් කළාය.

" සාමාන්‍ය පෙළ විභාගය කරලා මාස ගානක් බලන් ඉන්න ඕන උසස් පෙළ කරන්න. උසස් පෙළ කරලා මාස ගානක් බලන් ඉන්න අවශ්‍යයි ප්‍රතිඵල එනකම් විශ්ව විද්‍යාලයට යන්න. මේ විදිහට විභාගවලට පෙනී ඉඳලා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ඇතිවන ප්‍රමාදය වළක්වා ගන්න අවශ්‍ය පියවර යොදන්න අවධානය යොමු කරලා තියෙනවා." ඇය සඳහන් කළාය.

විභාග

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත පරික්ෂා කිරීමට ළමුන් යොමු වීම හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය Z - අගය නිකුත් කිරීමට ප්‍රමාද වන බවද ඇය පෙන්වා දුන්නාය.

ඊට පිළියමක් ලෙස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ වහාම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අදාළ Z - අගයන් නිකුත් කොට නැවත උත්තර පත්‍ර පරීක්ෂාවෙන් සරසවිවරම් හිමිවන සිසු දරු දැරියන්ට සහනයක් ලබා දීමේ වැඩපිළිවලක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බව ද ඇය සඳහන් කළාය.

පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් එකවර කිරීම අපහසු බවත් එය ක්‍රමයෙන් සිදුකිරීමේ වැඩ පිළිවෙල ලබන වසරේ සිට ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බවත් ඇය පැවසුවාය .

'මේක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්'

ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව මුලික අධ්‍යාපනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තුළ දී අධික කාලයක් ගතවීම රටේ ආර්ථිකයට මෙන්ම ජන සමාජයට ද ඇති කරන බලපෑම සුළුපටු නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය යසාන්ජලි දේවිකා ජයතිලක බීබීසි සිංහල වෙත පැවසුවාය.

ඇය පැවසුවේ මෙරට පවතින අධ්‍යාපන රටාව හේතුවෙන් තරුණ තරුණියන්ට සිය මූලික උපාධිය අවසන් කිරීමට අවුරුදු 26 -27 ක් වත් ගතවන බවයි.

"හොඳම උදාහරණය මම පශ්චාත් උපාධිය කරන්න ඉන්දියාවට ගියා. එහෙදි මට හම්බ වුන ළමයි අවුරුදු 27-28 වෙද්දී තමන්ගේ පශ්චාත් උපාධියට සුදානම් වෙනවා. නමුත් අපේ රටේ ළමයින් තමන්ගේ පළමු උපාධිය සම්පුර්ණ කරන්නේ අවුරුදු 26දි." ඇය පැවසුවාය.

" අපි රටේ ආර්ථිකය ගැන කතා කරනවා. නමුත් වෛද්‍ය උපාධිය හදාරන කෙනෙක්ට පමණයි විශ්ව විද්‍යාලයෙන් පිටවෙද්දීම රස්සාවක් ලැබෙනවා කියලා ස්ථිරව කියන්න පුළුවන්. අනිත් අය අවුරුදු 4-5 බලන් ඉන්නවා තමන්ගේ සුදුසුකම් අනුව රැකියාවක් ලැබෙනකම්. මේකෙන් වෙන්නේ රටේ ශ්‍රම බලකායට තරුණ පරපුරේ දායකත්වය ලැබෙන්නේ හොඳටම ප්‍රමාද වෙලා. අපේ රටේ එහෙම වෙද්දී අනිත් දියුණු රටවල වැඩියෙන්ම ශ්‍රම බලකායට දායකත්වය දෙන්නේ තරුණ පරපුරයි. අපිට වැරදුණු තැන එතැනයි. නමුත් ඒකට කාගෙන්වත් නිසි පිළියමක් නැහැ." ඇය සඳහන් කළාය.