ඔන්ලයින් අධ්‍යාපනය ගැන යුනෙස්කෝවේ නවතම ස්ථාවරය ඔබ දන්නවාද?

A schoolgirl studying during her online classes via laptop at home on 19 May, 2020 in Nonthaburi, Thailand.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොවිඩ් වසංගතය අතරතුර අන්තර්ජාලය හරහා ඉගෙනගන්නා තායිලන්තයේ දරුවෙක්

ගුරුවරයෙකු විසින්, මුහුණට මුහුණ හමුවී මෙහෙයවන ඉගැන්වීම් කටයුතු තාක්ෂණය විසින් ප්‍රතිස්ථාපනය නොකෙරෙනු පිණිස, තාක්ෂණය සඳහා විධිමත් නියාමනයක් අවශ්‍යබව එක්සත් ජාතීන්ගේ ආයතනයක් ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන ආයතනය වන යුනෙස්කෝ සංවිධානය, සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා වන එහි ඉල්ලීම ද පුනර්වාචනය කරයි. එය 2023 සඳහා වන එහි ගෝලීය අධ්‍යාපන අධීක්ෂණ වාර්තාව බදාදා (ජුලි 26) නිකුත් කළේ ය.

"ඇතැම් තාක්ෂණයන් ඇතැම් සන්දර්භයන් තුළ දී ඇතැම් අධ්‍යාපන කටයුතු සඳහා සහාය දෙයි," එහි වාර්තාවේ සඳහන් විය. "නමුත් එය අනවශ්‍ය ලෙස භාවිතා කළ විට එය ඉගෙනීමට සහාය නොදෙන අතර, එය ගුරුවරුන්ගෙන් තොරව කිසිසේත් ක්‍රියා නොකරයි."

"ඉගෙනුම ලබන්නාගේ අවශ්‍යතා මුල්කොට ගෙන, ගුරුවරුන්ට ද සහාය දෙන්නැ"යි යුනෙස්කෝවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඔඩ්රි අසූලි පැවසුවා ය. "ඔන්ලයින් සබඳතා මානව අන්තර්ක්‍රියාවන්ට ආදේශකයක් නෙවෙයි."

තාවකාලික පියවරක් පමණ යි

කොවිඩ් වසංගත සමයේ දී 'අධ්‍යාපන බිඳවැටීමක්' වැළැක්වීමට තාක්ෂණය වැඩදායක වීයැ යි යුනෙස්කෝ වාර්තාවෙන් පිළිගන්නාමුත්, බොහෝදෙනා [එමඟින්] අතහැර දැමුණුබව ද එය පැවසීය.

කොවිඩ් සමයේ ඔන්ලයින් ඉගැන්වීම් ලොව පුරා සිසුන් අවම වශයෙන් බිලියන බාගයකට ළඟා නොවීය. දුප්පත් සිසුන්ට හා ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ට මෙය බොහෝදුරට බලපෑවේ ය.

එසේම, ඩිජිටල් තාක්ෂණයේ වාසි තවමත් බොහෝ සිසුන්ට ලැබී නැත්තේ ය. ලොව පුරා සෑම ප්‍රථමික විද්‍යාලයයන් හතරකින් එකකට විදුලි බලය නැතැ යි වාර්තාවේ දැක්වෙයි.

"ජංගම ඉගෙනීම කියන්නේ, සියලු අධ්‍යාපන අවස්ථා සහ සම්පත්වලට ප්‍රවේශය ලබාගන්නට යන ගමනේ එක් තාවකාලික ක්‍රමයක් විතරයි," වාර්තාවේ කතෘ මානොස් ඇන්තොනීනිස් පවසයි.

UNESCO Report Summary

බීබීසීය සමග ඊමේල් මාර්ගයෙන් සිදුකළ පසුවිපරම් සාකච්ඡාවක දී, විශේෂයෙන්ම සරණාගතයින් වැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ජංගම දුරකථන වැනි ඩිජිටල් උපාංගයන් දිවි රකින්නක් විය හැකිබව ඇන්තොනීනිස් පිළිගත්තේ ය.

නමුත් ඔහු මෙය හදිසි පියවරක් මිස, සාම්ප්‍රදායික අධ්‍යාපනයට ආදේශකයක් ලෙස නොදකියි.

"ඕකෙ අන්තයට ගිය සිද්ධියක් තමයි, ඔවුන්ගේම රටේ දී අධ්‍යාපනය බාධා පැමිණිලා තියෙන ඇෆ්ඝන් දැරියන්ගේ දුර්දසාව. ඔවුන්ගෙන් සමහරු රහසිගත පාසැල් හරහා තවමත් අධ්‍යාපනය ලබනවා. ඒ පාසැල්වලින් සුළු ප්‍රමාණයක් ඔන්ලයින් ක්‍රමයට සිදුවෙන්නේ," ඔහු ප්‍රකාශ කළේ ය.

"මේ ව්‍යතිරේකය තිබියේවා, අපි අහන්න ඕන ප්‍රශ්නය තමයි හදිසි අවස්ථාවන්වල අධ්‍යාපනය ලබාදීමේ විසඳුම, ඒ විසඳුම ලබාදෙන සංවිධානයේ අවශ්‍යතාවන්ට නොව වඩාත් පුළුල් සන්දර්භයකට ගැලපෙන්නේ කොහොමද කියන එක."

Afghan schoolgirls walk along a path as they return from school in Mazar-i-Sharif on 30 October, 2021.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ඝනිස්ථානයේ දැරියන් අන්තර්ජාලය හරහා රහසේ අධ්‍යාපනයට ප්‍රවේශවන නමුත්, අන්තර්ජාලය අධ්‍යාපනය තාවකාලික විසඳුමක් පමණක්බව යුනෙස්කෝව පවසයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් තවත් අභියෝගයන් ද තිබේ. [අධ්‍යාපනය හා සබැඳි] බොහෝ ඔන්ලයින් සම්පත් ජාතික විෂයය නිර්දේශයට අනුකූල නැතැයි ඇන්තොනීනිස් පැවසීය.

"සම්පත්වලින් අතිබහුතරයක් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. ඒ නිසා, ඔවුන්ගේ මව් භාෂාවෙන් ඉගෙනගන්නා බොහෝදෙනාට ඒ සම්පත්වලට ප්‍රවේශයක් නැහැ," ඔහු කියා සිටියේ ය.

"ඒ වගේම, මේ ඇප්වලින් ඇත්තෙන්ම උචිත මොනවා ද, තත්ත්වයෙන් උසස් මොනවා ද කියන එක ගැන වැඩි මඟපෙන්වීමක් නැහැ."

ඇප් නිර්මාණයේ දී සිසුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් අදහස් ලබා නොගැනීම ද, ඒවා ගැන ප්‍රතිචාර ලබාදීමට අවස්ථාවක් නොමැතිවීම ද සීමාකාරී සාධකයකි.

තාක්ෂණය අනවශ්‍ය ලෙස භාවිතා කළ විට ද, ගුරුවරුන්ගෙන් මඟපෙන්වීමෙන් තොරව භාවිතා කළ විට ද එහි ප්‍රතිලාභ අඩුවනබව වාර්තාවෙන් පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙස, සිසුන්ට පරිගණක ලබාදීමෙන් අධ්‍යාපන ප්‍රතිඵල වැඩි දියුණු නොවේයැ යි වාර්තාව පැවසීය.

තාක්ෂණයේ සීඝ්‍ර වෙනස්වීම් නිසාවෙන්, එහි උපයෝගීතාව පිළිබඳ පැහැදිලි ඇගැයීමක් සිදුකිරීමට අපහසුවනබව ද එහි සඳහන් ය.

එසේම, බොහෝවිට ඉගෙනුම් ප්‍රතිඵල පිළිබඳ බොහෝ පර්යේෂණ පැමිණෙන්නේ එවැනි නිෂ්පාදන අලෙවිකරන සමාගම්වලින්බව ද එහි සඳහන් වේ.

නියාමනයේ මදිකමක්

කණස්සලු ඇතිකරවන අනෙක් අංශය නම් නියාමනයේ මඳිකම ය. පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ නීති ඇත්තේ රටවලින් හයෙන් පංගුවකට පමණි.

සිදුවෙමින් පවතින වෙනසට එරෙහිවන්නැ යි එය රටවලට බල නොකරන නමුත්, සියලු වෙනස්කම් ප්‍රගතියක් ලෙස නොදැකිය යුතුබව ද යුනෙස්කෝව පැවසීය.

A teacher distributes sunflowers to her students to cheer up for them ahead of the 2023 National College Entrance Exam (Gaokao) at a classroom of a high school on 1 June, 2023 in Luoyang, Henan Province of China.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුනෙස්කෝව, පන්ති කාමරය තුළ ගුරුවරුන්ගේ කාර්යයභාරයේ වැදගත්කම ඉස්මතු කරයි

"තාක්ෂණය ගැන උගන්නනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි තාක්ෂණය හරහා උගන්නන්න ඕන කියලා. අධ්‍යාපනය සඳහා තාක්ෂණය යොදවා තියෙන ආකාරය ගැන යුක්තිසහගත ප්‍රශ්න මේ වාර්තාවෙන් මතු කරනවා. ගොඩක් ඩිජිටල් තාක්ෂණයන් අධ්‍යාපනය සඳහා නිර්මාණය කරපුවා නෙවෙයි," ඇන්තොනීනිස් පැවසීය.

නමුත්, "මේ වාර්තාවෙන් කිසිසේත්ම යෝජනා කරන්නේ නැහැ රටවල් තාක්ෂණික පරිණාමණයෙන් ඈත්වී සිටිය යුතු යි හෝ, ඈත්වී සිටිය හැකියි කියලා," ඔහු ඉක්මණින් සඳහන් කළේ ය.

නමුත් ප්‍රවේසම්වීම පිළිබඳ උපදෙස් ලබාදිය යුතුයැ යි ඔහු රජයයන්ගෙන් ඉල්ලා සිටියි.

"වාර්තාව ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා, තාක්ෂණයෙන් ඉගෙනුම වැඩි දියුණු වෙනවා කියන සාක්ෂි ඔවුන් සතුව තියෙනවා ද කියලා හොඳින් හිතලා බලන්න. අවාසනාවකට, මේ සාක්ෂි දුර්වල යි වගේම සමහර අවස්ථාවන්වල දී පක්ෂග්‍රාහීයි," ඔහු ප්‍රකාශ කළේ ය.

"අපේ දර්ශනය තමයි, යමක් කරන්න පුළුවන්වුණු පළියට ඒක කරන්න ඕන නැහැ කියන එක."