ගැහැණු ළමුන්ට රහසිගත පාසලක් - ඔවුහු බුර්කාව හැඳ පැමිණියෝය

Artistic image of the secret school
    • Author, සුහාල් අහාඩ්
    • Role, BBC Dari

ශහ්ලා ෆරීඩ්, පොත්පත් සඟවා තබන්නට පියවර ගත් පළමු වතාව මෙය නොවේ. ඇය රහසිගත පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කළේ ද පළමු වතාවට නොවේ.

ශාහ්ලාගේ මෙන්ම ඇෆ්ගනිස්ථානයේ සියලුම කාන්තාවන්ගේ දියණියන්ට අධ්‍යාපනය ලබා දීම තවත් වතාවක් තර්ජනයට ලක්වී තිබේ.

ඇමරිකානු සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම දිගටම සිදුවෙමින් පවතින අතරතුර බීබීසිය කාන්තාවන් තිදෙනෙකු සමඟ කතාබහක යෙදුණි. මේ කාන්තාවන් තිදෙනා අයත් වන්නේ පරම්පරා තුනකට ය.

එක් තැනැත්තියක් ගුරුවරියකි. දෙවැන්නිය උපාධිධාරිනියකි. තුන්වැන්නිය ශිෂ්‍යාවකි.

වසංගත කාලය තුළ ඩිජිටල් ගැටලුවලට පමණක් නොව, ස්ත්‍රී පුරුෂ භාවය මත පවතින අසමානතාවට හා සංස්කෘතික ගැටුම් සමඟ ද මොවුන් කළ සටන මේ තිදෙනාම විස්තර කළෝය.

ගුරුතුමිය

ඉස්සර නම් ශහ්ලා ගුරුවරියකි. දැන් අගනුවර කාබුල් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියකි.

ලොක්ඩවුන් කාලය ඇතුළත අන්තර්ජාලය ඔස්සේ ඇයගේ දේශන පැවැත්වූවාය. නමුත් හැම සිසුවෙකුටම අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම පහසු නොවීය. බොහෝ දෙනෙකුට එය දුෂ්කර විය.

"මගෙන් ඉගෙන ගන්න ගැහැණු දරුවන් බොහෝ දෙනෙකුට ස්මාර්ට් ෆෝන් එකක් නැහැ. බොහෝ ගැහැණු දරුවන්ට ජංගම දුරකතනයක් පාවිච්චි කරන්න දෙමාපියන් හෝ වැඩිහිටියන් අවසර දෙන්නේ නැහැ. පවුලේ පිරිමි කෙනෙකුගේ ජංගම දුරකතනයක් ඉල්ලගෙන දේශනවලට සහභාගී වුනත් පවුලේ වැඩිහිටි කෙනෙක් ඇවිත් බලනවා කවුද මේ ෆෝන් එකෙන් කතා කරන්නේ කියල." ශහ්ලා පැවසුවාය.

කාන්තා පාර්ශවයට පස්සට තල්ලුවන එකම කාරණය මේ ඩිජිටල් බෙදීම පමණක් නොවේ.

ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුව සහ තාලිබාන් කැරලිකරුවන් අතර දිගින් දිගටම පවතින ගැටුම දැන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ.

ඇමරිකානු හමුදාව මූලික වූ විදෙස් හමුදා රටින් පිටව යමින් තිබියදී නැවතත් අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් හිස ඔසවනු ඇති බවට බොහෝ දෙනා බිය පළ කරති.

මුදාගෙන තිබූ ඇතැම් පළාත් පසුගිය මාස කීපය ඇතුළත නැවතත් තාලිබාන් අතට පත්වී තිබේ.

පුරුෂ මූලික නීති පැනවීමට කුප්‍රකට වූ තාලිබාන් විසින් මීට පෙර කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කරනු ලැබ තිබුණි. කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කර තිබුණි. සමීප පිරිමි ඥාතියෙකු නොමැතිව නිවසින් බැහැර ගමනක් යාමට පවා තහනම් කර තිබුණි.

නමුත්, ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනයට විරුද්ධ නොවන බව තලිබාන්වරු පසුව ප්‍රකාශ කළහ.

තාලිබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් වරක් බීබීසීයට කතා කරමින් කියා සිටියේ "පිරිමින් මෙන්ම කාන්තාවන් ද අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත්" බවය.

"නමුත් කාන්තාවන්ට ආරක්‍ෂිත සහ විශේෂිත වාතාවරණයක් සුදානම් විය යුතුයි. ඒ වගේම, ඉගැන්වීම සඳහා ගුරුවරියන් පමණක් පත් කළ යුතුයි." ඔහු පැවසීය.

කෙසේ නමුත්, කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීම නැවතත් සම්පුර්ණයෙන් ම ප්‍රතික්ෂේප වනු ඇති බවට, කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ශහ්ලා ඇතුළු බොහෝ දෙනා තුළ විශාල බියක් පවතී.

Artistic image of chasing dreams and ambitions

ශහ්ලා දැන් හැට හැවිරිදි ය. අනූව දශකයේ අග භාගයේ දී සමස්ත ඇෆ්ගනිස්ථානය ම තාලිබාන් පාලනයේ පැවතුනි. එවක ගැහැණු ළමුන් වෙනුවෙන් රහසිගත ඉස්කෝලයක් තමන් පවත්වාගෙන ගිය ආකාරය ශහ්ලා විස්තර කළාය.

මේ රහසිගත ඉස්කෝලයට පැමිණියේ අවුරුදු නවයත් දහයත් අතර වයසැති ගැහැණු දරුවන් ය. ඔවුහු සාම්ප්‍රදායික බුර්කාව හැඳ පැමිණියෝය.

ඔවුන් මේ රහසිගත පාසලට ඉංග්‍රීසි අච්චු පොත් රැගෙන ආවේ ඉස්ලාමීය පොත්වල කවර තුළ සඟවාගෙනය.

ශහ්ලා සිය නිවස පිටුපස පුංචි කුඩාරමක් ගසාගෙන ගල්ලෑල්ලක ආධාරයෙන් මේ දරුවන්ට අකුරු කරවූවාය.

"මම ඉස්කෝලේ පටන්ගත්තේ ගැහැණු ළමයි විසි දෙනෙකුගෙන්. ඒත් අවසාන කරනකොට හිටියේ ළමයි හතර දෙනයි. එයිනුත් දෙන්නෙක් මගේම දියණියන්." ඇෆ්ගනිස්ථානය තුළ ගැහැණු ළමුන් අධ්‍යාපනය සඳහා රඳවා ගැනීම කෙතරම් අපහසු කාර්යයක් ද යන්න ශහ්ලා විස්තර කළාය.

පාසලක් පවත්වාගෙන යන්නේදැයි සොයා බැලීම සඳහා තාලිබාන්වරුන් නිතරම තම නිවාස පරීක්ෂාවට ලක් කළ බව ශහ්ලා පැවසුවාය. නමුත් එය වසා දැමීමට සිදු වූයේ එක වතාවක් පමණි. එයද "තාවකාලික" වූ බව ශහ්ලා පැවසීය.

වසර තිහකට පසුව නැවතත් පොත්පත් එකතු කරන්නට ඇයට සිදුවී තිබේ. යළිත් රහසිගත පාසල ආරම්භ කරන්නට සිදුවේවි යන සැකය ඇයගේ මනසට වද දෙයි.

ශිෂ්‍යාව

16 හැවිරිදි වහිදා ගේ නිවසට ශහ්ලා ගේ නිවසේ සිට වාහනයකින් යන්නේනම් පැය හතක පමණ කාලයක් ගතවේ.

ඇය පාසල් යන්නේ සිය වැඩිමල් සහෝදරයා සමඟය. නමුත්, ඉගෙනීම සඳහා ඇයගේ ඇති කැමැත්ත නිසා පවුලේ සබඳතා බිඳී ගොස්ය.

"තාත්තයි සීයයි දෙන්නම දැන් මාත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා මම ඉස්කෝලේ යන එක නවත්තල කසාදයක් බඳින්න ඕන කියල." වහිදා පැවසුවාය.

Artistic image of pursuing an education

වහිදා සිය දෙමාපියන් සමඟ ජීවත් වන්නේ කන්දහාර් ප්‍රන්තයේය. එය තාලිබාන් සංවිධානය උපන් ස්ථානය යි. එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක බොහොමයක් පවතින්නේ තාලිබාන් පාලනයට නතුවය. ප්‍රාන්තයට අයත් දිස්ත්‍රික්ක 17කි. ගැහැණු ළමුන් සඳහා පාසල් පවතින්නේ ඉන් දිස්ත්‍රික්ක තුනක පමණි.

දිස්ත්‍රික්ක බොහොමයක බාලිකා පාසල් නොමැති වීමට හේතුව කුමක්දැයි බීබීසීය ප්‍රශ්න කළවිට තාලිබාන් සංවිධානය වෙනුවෙන් එහි ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මෙසේ පිළිතුරු දුන්නේය:

"කන්දහාර් සහ හෙල්මන්ඩ් ප්‍රාන්තවල යුද්ධය තදින් පැවතුණා. ඒ නිසා පාසල් වසා දමන්න සිදුවුණා. පිරිමි පාසල් පවා මේ පළාත්වල අඩුයි. ඒ වගේම මිනිස්සු හිතන පතන ආකාරයත් මේකට බලපානවා. දේශීය සහ සංස්කෘතික සම්ප්‍රදායට අනුව දියණියන් පාසල් යවන්නට කැමති වෙන්නේ බොහොම ටික දෙනයි. මේ තත්ත්වය වෙනස් වෙන්න ටික කාලයක් යාවි. නමුත් අපේ පැත්තෙන් ඒකට ප්‍රශ්නයක් නැහැ."

වහිදා පවසන්නේ, තමන්ගේ "අම්මයි වැඩිමල් සහෝදරයයි දෙන සහයෝගයට ස්තුතිවන්නට" සිය අධ්‍යාපනය කරගෙන යාමට හැකිවූ බවය.

වහිදා ගේ මවට පාසල් යාමට කිසිදා අවසර ලැබී නැත. නමුත් ඇය සිය දියණිය ධෛර්යමත් කරන්නීය. ගැටුම් කෙතරම් උත්සන්න වුව ද කාන්තා අයිතීන් වෙනුවෙන් දිගටම සටන් කරන ලෙස ඇය දියණියට පවසන්නීය.

"මගේ අම්මගේ සිහින සැබෑ කරන්නට මට හැකියාවක් ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා. ඒත් දැන් පවතින තත්ත්වය අනුව, මට පාසල් අධ්‍යාපනය නිමා කරලා විශ්ව විද්‍යාලයකට ගිහින් අනෙක් කාන්තාවන් වෙනුවෙන් වැඩක් කරන්න අවස්ථාව ලැබේවිද කියල මට සැකයි."

නමුත් වහිදා බලාපොරොත්තු අතහැර නොමැත. ශාම්සියා අලිසාදා වැනි කාන්තාවන්ගේ ජීවිත දෙස බලා ඇය තවත් ධෛර්යමත් වන්නීය.

උපාධිධාරිනි

ස්ත්‍රී පුරුෂභාවය මත විඳින්නට සිදුවන අසමානතා, රටේ දිගටම පවතින ගැටුම්, ඩිජිටල් තාක්ෂණය අහිමිවීම සහ කොවිඩ් 19 ආදී සියලු බාධකවලට මුහුණ දෙන්නට සිදුවුනත් සියලු කාන්තාවන්ට ආදර්ශමත් වීමට ඇතැම් තරුණියන්ට හැකිවී තිබේ.

පසුගිය වසරේ සරසවි වරම් ලබා ගැනීම සඳහා පැවති ප්‍රවේශ විභාගය සඳහා අයදුම්කරුවන් 170,000ක් සිටියහ. ඒ සියලුදෙනා අතරින් වැඩිම ලකුණු ලබා ගැනීමට ශාම්සියා සමත් වූවාය.

ඇය ගල් අඟුරු පතලක කම්කරුවෙකුගේ දියණියකි. හැදී වැඩුණේ කාබුල් පළාතේ පහසුකම් අවම වූ පීඩිත ප්‍රදේශයකය.

2018දී ශාම්සියා ගේ පාසල ISIS ප්‍රහාරයකට ලක්විය. ඇය සමඟ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවන් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇය වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් පාසල් යාමට පටන් ගත්තාය. 2020 දී එම පාසලටත් ISIS ප්‍රහාරයක් එල්ල විය.

"ඇෆ්ගනිස්ථානයේ ඉගෙන ගන්න එක හරිම අමාරු දෙයක්. මම හරිම බයෙන් ඉන්නේ. අපේ අධ්‍යාපන ආයතනය ආරක්ෂාව සලසා ගැනීම සඳහා යම්යම් පියවර ගෙන තියෙනවා. ඒක තරමක සහනයක්. කොහොම වුනත් අධ්‍යයන කටයුතු සඳහා කාර්යබහුල වෙනකොට ආරක්ෂාව ගැන හිත හිතා ඉන්න වෙලාවක් නැහැ." ශාම්සියා පැවසුවාය.

කෙසේ හෝ ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට සමත් වූ ශාම්සියා දැන් වෛද්‍යවරියක් වීම සඳහා පුහුණුව ලබන්නීය.

Artistic image of the attack upon the Kabul university

ISIS - අලුත් තර්ජනයක්

නැවතත් ශහ්ලා කියූ කතාවකට යොමු වෙමු.

පසුගිය නොවැම්බරයේදී, කාබුල් විශ්ව විද්‍යාලයට තුවක්කුකරුවන් පිරිසක් කඩා වැදුණි. තුවක්කුකරුවන් හිස හැරුණු අතේ වෙඩි තබන්නට විය. කාබුල් සරසවියේ කථිකාචාර්යවරියක වන ශහ්ලා ඒ මොහොතේ සිටියේ වෙඩි ප්‍රහාරය එල්ලවූ පන්ති කාමරයට යාබද ශාලාවේය.

"එක පාරටම වෙඩි සද්දය ඇහුණා. දිගටම වෙඩි තියනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලබල වෙලා දුවන්න පටන් ගත්තා. සමහරු අඬනවා. සමහරු ගේට්ටුව පැත්තට දිව්වා." ශහ්ලා එම සිද්ධිය සිහිපත් කළාය.

ටික වේලාවකින් රජයේ හමුදා කණ්ඩායමක් එම ස්ථානයට සේන්දු විය. අනතුරුව දෙපාර්ශවය අතරේ හටගත් වෙඩි හුවමාරුව පැය කීපයක් ම පැවතුණි.

22 දෙනෙකු මරණයට පත් විය. ඊට වැඩි පිරිසකට තුවාල සිදු විය.

"වැඩියෙන්ම මේකට ගොදුරු වුණේ ගැහැණු ළමයින්. තුවාල වෙලා ඉන්න ශිෂ්‍යාවන්ට උදව් කරන්න පොලිසියවත් ඉදිරිපත් වුණේ නැහැ. ස්ත්‍රීයක් අල්ලන එක 'හරාම්' (ඉස්ලාම් ආගමින් තහනම් කරන ලද) කියල ඔවුන් විශ්වාස කරනවා."

"නමුත් ඊට ටික වෙලාවකට පස්සේ විශේෂ කාර්ය බලකාය ඇවිත් ඒ ගැහැණු ළමයින්ව එලියට ගත්ත."

මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගත්තේය. ඔවුන් කියා සිටියේ "ඇෆ්ගන් ආණ්ඩුවට සේවය කරන අධිකරණ විනිසුරුවරුන්ගේ සහ පරීක්ෂකවරුන්ගේ උපාධි ප්‍රදානෝත්සවය" ඉලක්ක කොට එම ප්‍රහාරය දියත් කළ බවය.

ISIS සංවිධානයේ ශාඛාවක් ලෙස ISIS-K නමින් ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයක් ඇෆ්ගනිස්ථානයේ පිහිටවූයේ 2014දීය.

එවක් පටන් එරට අගනුවර සිදු වූ ප්‍රහාරයන් බොහොමයක වගකීම මෙම සංවිධානය භාරගත්තේය. එම ප්‍රහාර අතර පාසල් සහ වෙනත් අධ්‍යාපනික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර ද විය.

පසුගිය වසරේ සිදු වූ අතිශය සාහසික ප්‍රහාරයක වගකීම ද ISIS සංවිධානය භාරගෙන තිබුණි. කාන්තාවන් සහ ළමුන් පමණක් නොව අලුත උපන් ළදරුවන් ද එම ප්‍රහාරයට ගොදුරු විය. රෝහලක මාතෘ සායනයකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 16 දෙනෙකු මරා දැමුණි. තවත් එවැනිම ප්‍රමාණයකට තුවාල සිදුවිය.

Artistic image of the struggle for female education in Afghanistan

ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී සිටින ශහ්ලා වැනි උදවිය නැවතත් හොර රහසේ පොත්පත් ඒකරාශී කරන්නට පටන් ගෙන ඇත්තේ ISIS වැනි ඉස්ලාමීය කණ්ඩායම් හිස ඔසවමින් සිටින සහ තාලිබාන්වරුන් අතට තවත් ප්‍රදේශ නතුවෙමින් පවතින වාතාවරණයක් යටතේය.

"කුඩාරමක් ඉදිකර ගැනීමට, පොත්පත්, පෑන් පන්සල් සහ අභ්‍යාස පොත් ගැනීමට සල්ලි ටිකක් කොහොම හරි සූදානම් කර ගන්න ඕන. තාලිබාන්වරු ගැහැණු ළමුන්ට ඉගෙන ගන්න ඉඩ නොදෙන බව මම දන්නවා." ශහ්ලා පැවසුවාය.

"දිස්ත්‍රික්කයක් යටත් කර ගත්ත ගමන් දැනටත් ඒගොල්ලෝ මුලින්ම කරන දේ තමයි බාලිකා පාසල් වසා දැමීම."

(සිත්තම්: ජිලා දාස්ත්මල්චි)